අපට නැතුවම බැරි අදෘශ්‍යමාන ද්‍රව්‍යයක්
ඔබ ඉහත ඇති මාතෘකාවට ගැලපෙන ද්‍රව්‍ය කුමක් කියාද සිතන්නේ. ඔබ අසල ජනේලයක්
ඇත්නම් එය තුලින් බලන්න. ඔබට කුමක් පෙනේද? ඔබලා බොහෝ දෙනෙකු පරිසරය විස්තර කරාවි. එනමුත් සුළු
පිරිසක් පමණක් ජනේලය සාදා ඇති වීදුරුව පිළිබඳව සිතාවි.
![]() |
ලෝකයේ සිටින මිනිසුන්ගෙන් විශාල ප්‍රතිශතයක් වීදුරු භාවිතා කරයි. උදෑසන
ඔබ මුහුණ බලන කණ්ණාඩිය, පලදින ඇස් කණ්ණාඩි,
කැමරා, ජනෙල් ආදිය විදුරුවල ප්‍රතිඵලය. වර්තමාන ලෝකයේ
විදුරු නොමැතිව තමන්ගේ රැකියාව කිරීමට පවා අපහසු වෘත්තිකයන්ද සිටී. දුරදක්නයන්,
අන්වීක්ෂ, ඇස් කණ්ණාඩි, මුහුණ බලන කණ්ණාඩි ආදී උපකරණ නිපදවීමට වීදුරු
භාවිතා වන නමුත් ඒවාගෙන් සිදුකරන කාර්යයන් ඉතාමත් වෙනස්ය. මෙලෙස නානාප්‍රකාර
කාර්යයන් කිරීමට හැකිවන්නේ විදුරුවල ඇති විශේෂිත ගුණාංග නිසාය. මේ ඒ පිළිබඳවයි.
![]() |
විදුරු
ඔබ සිතන හැටියට ඝනයක්ද, ද්‍රවයක්ද? විදුරුවලට ඝනවල ගුණාංග මෙන්ම ද්‍රවවල
ගුණාංගද ඇත. විදුරු අස්ඵටික ඝනයක් වේ. ඝනවල පරමාණු නිශ්චිත අනුපිලිවෙලකට පිහිටා
ඇති නමුත් අස්ඵටික ඝන හා ද්‍රව වල මෙලෙස පරමාණුවල නිශ්චිත අනුපිලිවෙලක් නැත.
එනමුත් අස්ඵටික ඝනවල පරමාණු ද්‍රවවලට වඩා සංවිධානයක් දක්වයි.
ඔබ වාහනයේ ගමන් ගන්නා විට ඔබේ ඉදිරිපස ඇති
වීදුරුවෙන් හෝ දෙපස ඇති වීදුරුවෙන් පිටත නිරීක්ෂණය කරයි. ඔබේ වාහනයේ ඇති වෙනත්
කිසිදු ඝන දෙයක් තුලින් මෙතරම් පැහැදිලිව නිරීක්ෂණය කල නොහැක. එත් ඇයි වීදුරු
පාරදෘශ්‍ය වන්නේ? මේ සදහා අපිට
විදුරුවල පරමාණුව සෑදී ඇති ද්‍රව්‍ය පිලිබදව සෙවිය යුතුය.
![]() |
සියලු පරමාණු සෑදී ඇත්තේ මධ්‍යයේ න්‍යෂ්ටියක්
සහිතව වටේ ඉලෙක්ට්‍රෝන වලින්ය.ඉලෙක්ට්‍රෝන පවතින්නේ විවිධ ශක්ති මට්ටම්වලය. මෙම
ඉලෙක්ට්‍රෝනවලට ශක්තිය අවශෝෂණය කරමින් ඉහල ශක්ති මට්ටම් වලටත් ශක්තිය පිටකරමින්
පහල ශක්ති මට්ටම්වලටත් ගමන් කල හැක. න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතර ඉතා විශාල දුරක්
තියෙනවා. මෙහි පවතින ඉඩ ප්‍රමාණය සිතාගැනීමට පාපන්දු පිට්ටනියක් මවාගෙන ඒකේ මැද
කුඩා කඩල ඇටයක් මවාගන්න. එම කඩල ඇටය න්‍යෂ්ටිය වේ.එවිට ඉලෙක්ට්‍රෝන පිට්ටනියේ
පවතින පුටුවල ඇති වැලි ඇට මෙනි. ඒ අනුව න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතර ඉතා විශාල
හිදැසක් ඇත. මෙලෙසින් පරමාණුව සකස් වී තිබීම සෑම වීදුරු පමණක් නොව සියලු ද්‍රව්‍යවලට
පොදුය.
වීදුරු පාරදෘශ්‍ය වන්නේ න්‍යෂ්ටිය
හා ඉලෙක්ට්‍රෝන අතරින් ආලෝකය ගමන් කිරීම මගින් නොවේ. සරලව පැවසුවොත් වීදුරු
පාරදෘශ්‍ය වීමට හේතු වන්නේ වීදුරුවල පරමාණු මගින් ආලෝකය අවශෝෂණය නොකිරීම
නිසාය.
වීදුරු පාරදෘශ්‍ය වීම සදහා ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් හේතුවේ. ආලෝකය
ෆොටෝන වලින් සමන්විතය. ආලෝකයේ තරංග ආයාමය අනුව ෆොටෝනයක ඇති ශක්ති ප්‍රමාණය වෙනස්
වේ. ඉලෙක්ට්‍රෝන මගින් ශක්තිය අවශෝෂණය කරන විට ඊලඟ ශක්ති මට්ටමට ගමන් කිරීමට අවශ්‍ය
ශක්තිය ෆොටෝනයේ අඩංගු විය යුතුය, නැතිනම් ෆොටෝනය කිසිදු බාධාවකින් තොරව ගමන් කරයි. බොහෝ ද්‍රව්‍යවල ඇති
පරමාණුවල ඉලෙක්ට්‍රෝන මගින් ෆොටෝනවල ශක්තිය අවශෝෂණය කර ඉහල ශක්ති මට්ටම් වලට සංක්‍රමණය
වේ. බොහෝ ද්‍රව්‍යවල ඇත්තේ මෙම සැකසුමයි.
එනමුත් වීදුරුවල ඇති ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ඉතා ඈතින් පිහිටයි.
එබැවින් දෘශ්‍ය ආලෝකයේ ඇති උපරිම ශක්තියක් ඇති ෆොටෝනයත් අවශෝෂණය කර ද පහල මට්ටට්මේ
ඇති ඉලෙක්ට්‍රෝනයකට ඉහල මට්ටමකට ගමන් කල නොහැක. එනිසා ආලෝකයේ ඇති සියලු ෆොටෝන
කිසිදු බාධාවකින් තොරව වීදුරුව හරහා ගමන් කරයි.
![]() |
Credit - |
සමහරවිට ඉහත විස්තරය ඔබට සංකීර්ණ වැඩි විය හැක. පහත නිදසුන මගින් එය
පැහැදිලි කර ගත හැක. පෙර පාසලක විවිධ උස
සහිත ළමුන් සිටිනවා යැයි සිතන්න.සෑම ළමයෙකු ලඟම පොතක් ඇත. එම කාමරයේ දොර අසල මදක්
උස රාක්කයක් ඇත. ළමුන් ගමන් කරන විට ඔවුන් ලඟ ඇති පොත මෙම රාක්කයේ තැබිය යුතුය.
රාක්කයට වඩා උසින් වැඩි අයට පහසුවෙන් පොත් රාක්කයේ තබමින් එලියට ගමන් කල හැක.
එනමුත් උසින් අඩු අයට පොත රාක්කයේ තැබිය නොහැකි වේ. ඔවුන් පොතත් සමග එලියට යයි.
මෙම තත්වය විදුරුවල තත්වයට සසඳා බැලු විට ළමයා සමග පොත ෆොටෝනයට සමාන කල හැකි අතර
ළමයාගේ උස මගින් ෆොටෝනයේ ශක්තිය නිරූපණය කල හැක. පොළොව හා රාක්කයේ උස ඉලෙක්ට්‍රෝන
අතර ශක්ති මට්ටම් පරතරයට සංසන්දනය කල හැක. බොහෝ ද්‍රව්‍යවල මෙම රාක්කයේ උස අඩුය.
එනමුත් වීදුරු සැලකුවහොත් මෙම රාක්කය කාමරයේ සිටින උසම ළමයාට වඩා උසින් වැඩිය.
එබැවින් සියලු ළමුන් ඔවුන්ගේ පොතත් රැගෙන දොරෙන් පිටව යයි.
![]() |
Credit - |
UV කිරණ වීදුරු හරහා යන විට එහි අඩංගු ෆොටෝන වල
ශක්තිය දෘශ්‍ය ආලෝකයේ ෆොටෝනවල ශක්තියට වඩා වැඩි බැවින් එහි ෆොටෝන විදුරුවල ඇති
ඉලෙක්ට්‍රෝන මගින් අවශෝෂණය කර ඉහල ශක්ති මට්ටමකට සංක්‍රමණය වේ. ඔබට නොපෙනුනද UV
කිරණ වලට වීදුරු හරහා ගමන් කල නොහැක. ඉහත
ජේද වලින් දිගහැරීමට ලක්වූයේ වීදුරු වල ඇති සුවිශේෂී ගුණාංග විද්‍යාත්මක ඇසකිනි.
ඔබට වීදුරු පිලිබඳව යම් අවබෝධයක් ලැබුවායැයි මා සිතනවා.
ඈත අතීතයේ සිටම වීදුරුවලින් අප ලද ප්‍රයෝජන ඉමහත්ය. ආලෝකය ගෙතුලට
පැමිණීමට ඉඩ දෙන වීදුරු අපව වැස්සෙන් ආරක්ෂා කරයි. අභ්‍යවකාශයේ ඇති වස්තු
නිරීක්ෂණය කිරීමේ සිට ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජිවීන් නිරීක්ෂණය කිරීමටද වීදුරු යොදා
ගනී. වීදුරු වලින් තොර ලොවක් මවා ගැනීමටද අපහසුය. මෙලෙස ඉතා අගනා ද්‍රව්‍ය කෙරෙහි
අප දක්වන සැලකිල්ල ඉතාමත් අඩුය. එහි මූලික හේතුව විය හැක්කේ වීදුරු වල පවතින
විශේෂම ලක්ෂණය වන ආලෝකයට පාරදෘශ්‍ය වීමෙන් එය අදෘශ්‍යමාන වීමයි.
සැකසුම -
සඳරුවන් මානවඩුගේ
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යයන ආයතනය
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යයන ආයතනය
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment