අප කවුරුත් අසා තිබෙන මොකක්ද මේ VPN?

No comments

මෙදිනවල නිතර නිතර ඇසෙන මාතෘකාවක් වන්නේ VPN ය. VPN පිළිබඳව කතාවට ලක්වුවද VPN යනු කුමක්ද හා එහි කෘත්‍යය පිළිබඳව ඔබට හොඳ දැනුවත්භාවයක් තිබේද? මේ ඒ පිළිබඳවයි.
VPN යන අකුරු තුනේ තේරුම වනුයේ Virtual Private Network. VPN ඉතිහාසයේ සමාරම්භය සිදු වුයේ 1996 දීය. මෙහි අරමුණ වූයේ එය පරිශීලකයාට ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසැරීමට සැලැස්වීමය. මුල් කාලයේදී VPN භාවිතා කරන ලද්දේ තමන්ගේ තොරතුරු ආරක්ෂා කිරීමට උත්සහ දරන විශාල ව්‍යාපාර හෝ සංවිධාන වේ. එනමුත් වර්තමානයේ මිනිසුන් තමන්ගේ නිර්නාමිකත්වය ආරක්ෂා කරගැනීමට VPN භාවිතා කරයි. වර්තමානයේ ලෝකයේ අන්තර්ජාල පහසුව අත්විදින පුද්ගලයන් 4 දෙනෙකුගෙන් 1 අයෙකු VPN භාවිතා කරන බව සොයාගෙන ඇත. මෙහිදී VPN භාවිතා කරන රටවල් අතරින් වියට්නාමය, සෞදි අරාබිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්යය හා තායිලන්තය ඉදිරියෙන් සිටී.


VPN වලින් කුමක් කරන්නේද කියා තේරුම් ගැනීමට පෙර ඔබ අන්තර්ජාලයේ සැරිසරන්නේ කෙසේද යන්න දැන ගත යුතුය. අපි අන්තර්ජාලයට එක්වී විවිධ වෙබ් අඩවි වලට පිවිසෙන්නේ සේවා ලබා ගැනීමේ අරමුණින්ය. මෙනිසා අප සේවාලාභීන්(Clients) නම් වේ. මෙහිදි විවිධ වෙබ් අඩවි වලින් කරන්නේ අපට සේවා සැපයීමයි. ඔවුන් සේවා දායකයින්(Servers) නම් වේ. මෙම සේවාදායකයන්ගෙන් සේවා ලබාගැනීමට ඔබ සේවාදායකයාට සම්බන්ධ විය යුතුය. මෙලෙස සම්බන්ධ වීමට ඔබ එම සේවාදායකයාගේ IP address දැන සිටිය යුතුය. IP address එක අපේ ගෙදර ලිපිනය මෙන්ය. IP address වර්ග 2ක් පවතින අතර ඔබලාට බහුලවම හමුවන IP address වර්ගය වන්නේ IPv4 ය. IPv4 Address එක සමන්විත වන්නේ තිත් තුනකින් වෙන් කල අංක 4ක්ය. (උදාහරනයක් ලෙස 192.168.0.1 වැනිය). එනමුත් සාමාන්‍යයෙන් ඔබට මෙලෙස අංක මතක තබාගැනීම අපහසු බැවින් ඒවට වෙනත් නමක් යොදයි. එම නම ඉංග්‍රීසී අකුරින් ලියන නමක් වේ.මෙය ඩොමේන් නම(Domain name) නම් වේ.

ඔබ මෙම බ්ලොග් පිටුව කියවීමට උත්සහ දරනවා යැයි සිතන්න. එ සදහා මෙහි IP Address එක ඔබ ඇතුලත් කළ යුතුය. එනමුත් සාමාන්‍යයෙන් ඔබට මෙලෙස අංක මතක තබාගැනීම අපහසු බැවින් ඔබ මෙම පිටුවේ ඩොමේන් නම ඇතුලත් කරයි. මෙම බ්ලොග් පිටුවේ එම නම http://blog.vidunenahawula.com/ වේ. මෙහිදී ඔබ මෙම පිටුවේ ඩොමේන් නම ඇතුලත් කරන විට එම ඉල්ලීම විශේෂ Server පරිගණක වෙතට යැවේ. මෙම විශේෂ Server පරිගණක DNS හෙවත් Domain Name Server ලෙස හැදින්වෙනවා. මෙම server පරිගණක මගින් අප යවන ඩොමේන් නමට අදාල IP address එක අපට නැවත එවීම සිදු කරයි. මෙම ක්‍රියාවලිය ඉතා කෙටි කාලයක් ඇතුලත සිදුවේ. එනමුත් මෙලෙස අප වෙබ් අඩවියට පිවිසීමට ඉල්ලීම යැවූ විට එ සමගම අපේ IP address එක Operating System එක, Device එකේ වර්ගය වැනි තොරතුරු රැසක්ද අපට නොදැනුවත්ව යැවීම සිදුවෙනවා.මෙලෙස යැවෙන IP address එක තුලින් ඔබ භාවිතා කරන උපාංගයේ පිහිටීම සොයාගත හැක. මෙම යැවෙන තොරතුරු බොහොමයක් යැවෙන්නේ ඔබට එම පිටුවේ ඇති තොරතුරු ලබා ගැනීම පහසු කිරීමටය. වෙබ් අඩවියේ භාෂාව ඔබට ගැලපීමටත්, ඔබේ පරිගණකයට අදාලව ගැළපෙන පරිදී දිස්වීමටත් මෙම තොරතුරු භාවිතා කෙරේ.

දැන් VPN එකකින් කුමක් සිදුවේද යන්න සොයාබලමු. ඔබ VPN පරිගණක මෘදුකාංග භාවිතා කරනවා යැයි සිතන්න. ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබේ තොරතුරු DNS එකෙන් යෑමට පෙර VPN මෘදුකාංගයේ server වෙතට ගමන් කෙරේ. ඉන්පසු මෙම තොරතුරු VPN server වල සිට DNS servers වලට යොමු වේ. එවිට DNS servers මගින් එම ඩොමේන් නමට අදාල IP address එකට අදාල වෙබ් අඩවිය VPN servers වෙතට යොමු කරයි. VPN servers මගින් එම තොරතුරු නැවත අපට එවීම සිදුකරයි.  ඊට අමතරව මෙයින් වන වාසිය වන්නේ DNS සමග තොරතුරු හුවමාරු කරගන්නේ VPN servers මගිනි. එවිට DNS servers මගින් ලබගන්නා තොරතුරු වලදී අප සිටින ස්ථානය ලෙස ලබාගන්නේ VPN servers තියෙන ස්ථානයේ පිහිටීමයි. මෙනිසා අප එම රටේ සිටින ලෙස අන්තර්ජාලයට එක් විය හැක.

   VPN ක්‍රියාකරනුයේ කෙලෙසදැයි ඔබට දැන් යම් හැඟිමක් පවතිනවා යැයි මා සිතනවා. එවිට නැගෙන ඉලඟ ගැටළුව වන්නේ VPN වල ප්‍රයෝජන කුමක්ද යන්නය. VPN වල ඇති මුල්ම ප්‍රයෝජනය වන්නේ ඔබට ඔබේ අනන්‍යතාවය සුරක්ෂිතව පවත්වා ගැනීමට හැකිවීමයි. ඔබ යම් වෙබ් අඩවියකට පිවිසිමේදී ඔබ පිළිබඳව තොරතුරු රැසක් ලබාගන්නා බව ඔබට මතක ඇති. VPN මගින් මෙය වැලැක්වීම සිදුවේ. මෙම ප්‍රයෝජනයට අමතරව හැකර්ස්ලාගෙන් යම් තාක් දුරට ආරක්ෂාවක්ද ලැබේ. ඔබ යම් පොදු WiFi එකකට සම්බන්ධ වී අන්තර්ජාලයෙන් ඔන්ලයින් ගණුදෙනු කරන විට ඔබේ තොරතුරු පහසුවෙන් හැකර්ස්ලා අතට පත්විය හැක. එනමුත් ඔබ VPN මෘදුකාංගයක් භාවිතා කලහොත් VPN මගින් ඔබ යවන තොරතුරු encrypt කරන බැවින් හැකර්ස්ලාට මෙය වඩාත් අපහසු වේ.

ඊට අමතරව යම් රටක රජයකට එම රටේ ඇති ඔබට අන්තර්ජාල පහසුකම් සපයන ISP සමග එක්වී යම් යම් වෙබ් අඩවිවලට ඇතුල් වීම තහනම් කිරීම සිදුකර හැක. ඔබ VPN මෘදුකාංගයක් භාවිතා කලහොත් ඔබේ පිහිටීම ලෙස ගැනෙනුයේ VPN servers හි පිහිටීම බැවින් ඔබට එවැනි තහනම් කරන ලද වෙබ් අඩවිවලටද ප්‍රවේශ වීමට හැකියාව ඇත.

දැනට පවතින වෙබ් අඩවි අතරින් සමහර වෙබ් අඩවි යම් යම් රටවලට පමනක් සීමා කර ඇත. මෙම වෙබ් අඩවි වෙනත් රටක සිටින මිනිසුන්ට භාවිතා කළ නොහැකි අතර එවැනි පුද්ගලයන්ට VPN භාවිතා කර මෙවැනි වෙබ් අඩවි වලටද පිවිසිය හැක. Netflix, Hulu, Spotify, වැනි වෙබ් අඩවි මෙලෙස යම් රටවලට සීමා කර ඇති සමහර වෙබ් අඩවි වේ.

මෙලෙසින් VPN මගින් අන්තර්ජාලයට සම්බන්ධ වීමෙන් පවතින වාසි අතර අවාසිද නැතුවම නොවේ. VPN භාවිත කිරිමේ එක් අවාසියක් වන්නේ ඔබට වැඩි මුදලක් ලබා දීමට සිදුවීමයි. ඔබ නොමිලේ VPN සේවාව ලබාදෙන මෘදුකාංගයක් භාවිතා කලහොත් ඔබේ අන්තර්ජාල වේගය අඩුවිය හැකි අතර විවිධ ප්‍රචාරක නැරඹීමට සිදුවේ.

මෙලෙසින් දිග හැරීමට ලක්වූයේ VPN යනු කුමක්ද, එහි කාර්යභාරය හා එහි වාසි අවාසිය.
සැකසුම - සඳරුවන් මානවඩුගේ
               කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
               ජාතික මුලික අධ්‍යයන ආයතනය

No comments :

Post a Comment

අවදානම පිණිසයි, දියවැඩියා රකුසාගේ මීළඟ ගොදුර ඔබ විය හැක.

No comments

සීනි වැඩිය කන්න එපා දියවැඩියාව හැදෙයි යන ප්‍රකාශය ඉතාමත් ජනප්‍රිය වේ. ලෝකයේ ජීවත් වන ජනතාවගෙන් මිලියන 400 කටත් වැඩි පිරිසක් දියවැඩියාව මගින් පීඩා විදී. දියවැඩියාව හේතුවෙන් හෘද රෝග, වකුගඩු රෝග, අන්ධභාවය ඇතිවිය හැකිය. මිනිසුන් විශාල පිරිසකගේ අවධානමට ලක්වු දියවැඩියාව පිළිබඳව ඔබේ දැනුවත් භාවය කෙලෙසද?   


දියවැඩියාව මගහරවන්නේ කෙලෙසද කියා දැනගැනීමට පෙර එහි සුලමුල පිළිබඳව දැන සිටිය යුතුය. දියවැඩියාව යනු කුමක්ද? රුධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම නියමිත අගයකට වඩා වැඩි වු විට ඇති වන තත්වය දියවැඩියාව ලෙස හදුන්වයි. සාමාන්‍ය අගය ලෙස හැදින්වෙන්නේ ආහාර නොගෙන පැය 8 ක් ගත වු විට රුධිරයේ ග්ලුකෝස් මට්ටම 100mg/dlට වඩා අඩු වීමද, ආහාර ගෙන පැය 2 කට පසු රුධිර ග්ලුකෝස් මට්ටම් 140 ට වඩා අඩු වීමය.
ඔබ ආහාරයට ගන්නා පිෂ්ට සහිත ආහාර(උදා- බත්,පාන්,) මෙන්ම සිනී සහිත ආහාර (උදා- පැණි රස ) මගින් ඔබේ ග්ලුකෝස් මට්ටම ඉහල යාහැක. මෙලෙසින් ඔබ දිනපතා සුළු ආහාර ප්‍රමාණයක් ගත් විටද තමාගේ ග්ලුකෝස් මට්ටම ඉහල ගොස් දියවැඩියා ඇතිවිය හැකි බව ඔබ සිතනවා ඇති. එනමුත් ඔබේ රුධිර ග්ලුකෝස් මට්ටම පාලනයට අග්න්‍යාශයෙන් සහයක් ලැබෙනවා.  අග්න්‍යාශය තුල ඉන්සුලින් හා ග්ලුකගන් නම් හොමෝන දෙකක් නිපදවෙනවා. මෙම හොමෝන දෙකෙන්ම රුධිර ග්ලුකෝස් මට්ටම පාලනය කෙරේ. රුධිර ග්ලුකෝස් මට්ටම නියමිත අගයට වඩා අඩු වූ විට ග්ලුකගන් මගින් රුධිර ග්ලුකෝස් මට්ටම නියමිත අගයට රැගෙන එනවා. එමෙන්ම රුධිර ග්ලුකෝස් මට්ටම වැඩි වූ විට ඉන්සියුලින් මගින් වැඩි ග්ලුකෝස් අක්මාව තුල ග්ලයිකොජන් ලෙස තැන්පත් කර නැවත ඔබේ රුධිර ග්ලුකෝස් මට්ටම නැවත නියමිත මට්ටමට අඩු කරනවා.    
Type 1 Diabetes හා Type 2 Diabetes ලෙස දොස්තරවරු කියනවා ඔබ සමහරවිට අසා තිබෙනවා ඇති. Type 1 Diabetes හා Type 2 Diabetes යනු කුමක්ද?  
Type 1 Diabetes හි සිදුවනුයේ අග්න්‍යාශය මගින් ඉන්සුලින් නිපදවීම අඩුවීම හෝ නිපදවීමක් නොමැති වීමය. බොහෝ විට මෙම තත්වය ඇති වන්නේ කුඩා දරුවන්ට හෝ තරුණ අයටය. Type 1 Diabetes ඇතීවීමට බොහෝවිට ජාන විකෘති, Type 1 Diabetes සහිත පවුලේ සාමාජිකයින් සිටීම වැනි හේතු බලපායි. Type 1 Diabetes හි සිදුවනුයේ ඇඟ මගින් ඉන්සියුලින් නිපදවීමක් නොමැති වීමයි. මෙයට ප්‍රතිකාර ලෙස බොහෝවිට සිදු කරනුයේ පිටින් ඉන්සුලින් සැපයීමයි.
දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් බොහෝදෙනෙකුට පවතිනුයේ Type 2 Diabetes වේ. Type 2 Diabetes යනු ඉන්සුලින් ශරීරයේ නිපදනු ලැබුවද සෛල මගින් නිසියාකාරව භාවිතා නොකිරීමය. Type 2 Diabetes ඇතිවීමට බලපානුයේ අපට එදිනෙදා ජිවීතයේදී පාලනය කර ගත හැකි සාධකය. තරබාරුකම, ව්‍යායාම වලින් තොර කායිකව අක්‍රීය පුද්ගලයකු වීම, අධික වශයෙන් ආහාර පරිභෝජනය වැනි සාධක Type 2 Diabetes සදහා හේතු වේ.
දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම මගින් ශරීරයට සිදුවන හානිය ඉමහත්ය. හෘදයාබාධ ඇතිවීම, අංශභාගය ඇතිවීම, ඇසේ සුද ඇතිවීම, වකුගඩු අක්‍රීය වීම, දෙපා වල ඇති වන තුවාල වැඩි දියුණු වී, ඇඟිලි සහ දෙපා කපා දැමීමට සිදු වීම, ස්නායු දුර්වලතා ඇතිවීම වැනි රෝග එම සිදුවන හානි වලින් කිහිපයකි.එනම් දියවැඩියාව යනු ඔබේ සිරුර තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වන පරිදි සියලුම අවයව වල මෙන් ලෙඩ ඇතිකරයි.

ඉහතින් සදහන් වන දියවැඩියාව නිසා ඇතිවන රෝග වලින්, දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීමේ භයානකකම පිළිබඳව ඔබට හොදින් තේරුම් යයි. එම තේරුම් ගත් මොහොතේහිම ඔබට නැගෙන දැවෙන ප්‍රශ්නය වන්නේ දියවැඩියාවෙන් වැළකෙන්නේ කෙසේද යන්නය. දියවැඩියාවෙන් මිදීමට පවතින හොදම උපදෙස වන්නේ ආහාර පාලනය හා ව්‍යායාම කිරීමයි. බොහෝ අය සිතන්නේ සීනි කෑමෙන් පමණක් බේරී සිටිය යුතු බවය. පිෂ්ඨ සහිත ආහාර, මේද තෙල් සහිත ආහාර වැඩියෙන් ගැනීමද දියවැඩියාව සදහා අතවැනීමක් වැනිය. 
පිෂ්ඨ සහිත ආහාර ගැනීමේදි සැලකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ එහි අඩංගු සරල සීනි ප්‍රමාණයයි. පිෂ්ඨ සහිත ආහාරයක පවතින ග්ලුකෝස්/ සරල සීනි ප්‍රමාණය Glycemic Index නම් ඒකකයකින් මැනේ. Glycemic Index අගය වැඩි වන විට එහි අඩංගු සරල සීනි ප්‍රමාණය වැඩිවන අතර, Glycemic Index අගය අඩුවන විට අඩංගු සරල සීනි ප්‍රමාණය අඩුවේ. පාන්, සුදු බත්, පාන් පිටි සහිත ආහාර, වල ඉහල Glycemic Index අගයක් ඇත. නාඩු සහල්,ආටා පිටි,කුරක්‌කන් පිටි සහිත ආහාරවල පහල Glycemic Index අගයක් ඇත. 

ආහාර පාලනයක් සිදුකරනුයේ කෙසේද? අපට නිතර දෙවේලේ ඇසෙන එනමුත් බොහෝ පිරිස් අනුගමනය නොකරන පිළිවෙතකට මාරුවිය යුතුය. එනම් සමබල ආහාර වේලක් ගත යුතුය.මෙම ආහාර වෙලෙහි පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය,ඛනිජ ලවණ , විටමින අඩංගු විය යුතුය. එහිදීද සමබල ආහාර වේලෙහි ප්‍රධාන අංගය වන පිෂ්ඨ ආහාර ගැනීමේදී කෙදි සහිත ආහාර වන නිවුඩු හාල්, කුරක්කන් තිබීම වඩාත් වැදගත්ය. 
මෙහිදී එක් ආහාර වේලකට අධික පිටි ගැනීමෙන්ද වැලකිය යුතුය. පිෂ්ඨ ආහාර අඩු කිරීමෙන් ආහාර පිඟානේ ඇතිවන ඉඩ ප්‍රෝටීන මගින් පිරවිය යුතුය. මුං ඇට, කඩල කව්පි, පරිප්පු, මාළු වැනි ආහාර වලින් ඔබේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගත හැක. මේද ආහාර සැලකුවහොත් ඔබ දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම මේද වර්ගයද පිලිබඳව සැලකිලිමත් විය යුතුය. මෙහිදි එලවළු තෙල්, සුරියකාන්ත තෙල් වැනි තෙල් භාවිතා කිරීම සුදුසුය. පොල් තෙල් භාවිතය සුදුසු නමුත් එය භාවිතා කළ යුත්තේ අඩු ප්‍රමාණ වලිනි.

දියවැඩියා රකුසාව පරාජය කිරීමට ආහාර පාලනය මගින් පමණක් සිදු කළ නොහැක. ඊට හොඳ ශාරිරික සුවතාවයක් හා මානසික යහ පැවැත්මද තිබිය යුතුය. තමන්ට ගැලපෙන තමන් කැමැති ව්‍යායාමයක් දිනකට මිනිත්තු 20ක් කිරීමෙන් දියවැඩියාවෙන් මිදීමේ මග පාදා ගත හැක. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් වල යෙදිය හැක. මෙහිදි හෘදයාබාධ හෝ වෙනත් අනතුරු වලට ගොදුරු වීමේ අවදානමක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මෙම ක්‍රියාකාරකම් වල යෙදීම වඩාත් සුදුසුය.
ලෝකයේ ජීවත් වන මිනිසුන් ලෙස ඔබලාට කාලය සමග තරගයක් පවතී. එබැවින් ඔබට විවේකයකට වෙලාවක් නොමැති තරම්ය. මෙයද දියවැඩියාව ඇතිවීම සදහා වක්‍රාකාර බලපායි.මෙනිසා ඔබ හැකි පමණ මානසික පීඩා ගෙන දෙන කටයුතු වලින් ඉවත්වීම සිදු කළ යුතුය. ඔබට පවතින පීඩාකාරී ගැටළු සමීපතම මිතුරෙකු සමග සාකච්ඡා කිරීම වඩාත් සුදුසුය. එමෙන්ම එදිනෙදා කටයුතු එදිනම සිදු කර අනවශ්‍ය අවිවේකී බවින් මිදී වැඩ කිරීම වඩාත් සුදුසුය.
Credit- https://www.israel21c.org/israel-launches-social-impact-bond-to-prevent-diabetes/
Photo Credit- https://www.israel21c.org/israel-launches-social-impact-bond-to-prevent-diabetes/
මෙලෙසින් දිගහැරුණු ලැබුවේ දියවැඩියාව පිළිබඳ තතු හා එයින් වැලකෙන ආකාරයයි. මෙහි දක්වන ලද තොරතුරු භාවිතා කර තමන්ගේ සෞඛ්‍ය පවත්වාගැනීම ඔබ සතු කාර්යභාරයකි.
       
සැකසුම - සඳරුවන් මානවඩුගේ
                         කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
                         ජාතික මුලික අධ්‍යයන ආයතනය

No comments :

Post a Comment

අපට නැතුවම බැරි අදෘශ්‍යමාන ද්‍රව්‍යයක්

No comments

ඔබ ඉහත ඇති මාතෘකාවට ගැලපෙන ද්‍රව්‍ය කුමක් කියාද සිතන්නේ. ඔබ අසල ජනේලයක් ඇත්නම් එය තුලින් බලන්න. ඔබට කුමක් පෙනේද? ඔබලා බොහෝ දෙනෙකු පරිසරය විස්තර කරාවි. එනමුත් සුළු පිරිසක් පමණක් ජනේලය සාදා ඇති වීදුරුව පිළිබඳව සිතාවි.
Credit- https://teamworkglass.com/product-category/residential/glass-windows/
ලෝකයේ සිටින මිනිසුන්ගෙන් විශාල ප්‍රතිශතයක් වීදුරු භාවිතා කරයි. උදෑසන ඔබ මුහුණ බලන කණ්ණාඩිය, පලදින ඇස් කණ්ණාඩි, කැමරා, ජනෙල් ආදිය විදුරුවල ප්‍රතිඵලය. වර්තමාන ලෝකයේ විදුරු නොමැතිව තමන්ගේ රැකියාව කිරීමට පවා අපහසු වෘත්තිකයන්ද සිටී. දුරදක්නයන්, අන්වීක්ෂ, ඇස් කණ්ණාඩි, මුහුණ බලන කණ්ණාඩි ආදී උපකරණ නිපදවීමට වීදුරු භාවිතා වන නමුත් ඒවාගෙන් සිදුකරන කාර්යයන් ඉතාමත් වෙනස්ය. මෙලෙස නානාප්‍රකාර කාර්යයන් කිරීමට හැකිවන්නේ විදුරුවල ඇති විශේෂිත ගුණාංග නිසාය. මේ ඒ පිළිබඳවයි.
            විදුරු ඔබ සිතන හැටියට ඝනයක්ද, ද්‍රවයක්ද? විදුරුවලට ඝනවල ගුණාංග මෙන්ම ද්‍රවවල ගුණාංගද ඇත. විදුරු අස්ඵටික ඝනයක් වේ. ඝනවල පරමාණු නිශ්චිත අනුපිලිවෙලකට පිහිටා ඇති නමුත් අස්ඵටික ඝන හා ද්‍රව වල මෙලෙස පරමාණුවල නිශ්චිත අනුපිලිවෙලක් නැත. එනමුත් අස්ඵටික ඝනවල පරමාණු ද්‍රවවලට වඩා සංවිධානයක් දක්වයි.
                ඔබ වාහනයේ ගමන් ගන්නා විට ඔබේ ඉදිරිපස ඇති වීදුරුවෙන් හෝ දෙපස ඇති වීදුරුවෙන් පිටත නිරීක්ෂණය කරයි. ඔබේ වාහනයේ ඇති වෙනත් කිසිදු ඝන දෙයක් තුලින් මෙතරම් පැහැදිලිව නිරීක්ෂණය කල නොහැක. එත් ඇයි වීදුරු පාරදෘශ්‍ය වන්නේ? මේ සදහා අපිට විදුරුවල පරමාණුව සෑදී ඇති ද්‍රව්‍ය පිලිබදව සෙවිය යුතුය.
                සියලු පරමාණු සෑදී ඇත්තේ මධ්‍යයේ න්‍යෂ්ටියක් සහිතව වටේ ඉලෙක්ට්‍රෝන වලින්ය.ඉලෙක්ට්‍රෝන පවතින්නේ විවිධ ශක්ති මට්ටම්වලය. මෙම ඉලෙක්ට්‍රෝනවලට ශක්තිය අවශෝෂණය කරමින් ඉහල ශක්ති මට්ටම් වලටත් ශක්තිය පිටකරමින් පහල ශක්ති මට්ටම්වලටත් ගමන් කල හැක. න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතර ඉතා විශාල දුරක් තියෙනවා. මෙහි පවතින ඉඩ ප්‍රමාණය සිතාගැනීමට පාපන්දු පිට්ටනියක් මවාගෙන ඒකේ මැද කුඩා කඩල ඇටයක් මවාගන්න. එම කඩල ඇටය න්‍යෂ්ටිය වේ.එවිට ඉලෙක්ට්‍රෝන පිට්ටනියේ පවතින පුටුවල ඇති වැලි ඇට මෙනි. ඒ අනුව න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතර ඉතා විශාල හිදැසක් ඇත. මෙලෙසින් පරමාණුව සකස් වී තිබීම සෑම වීදුරු පමණක් නොව සියලු ද්‍රව්‍යවලට පොදුය.
 වීදුරු පාරදෘශ්‍ය වන්නේ න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතරින් ආලෝකය ගමන් කිරීම මගින් නොවේ. සරලව පැවසුවොත් වීදුරු පාරදෘශ්‍ය වීමට හේතු වන්නේ වීදුරුවල පරමාණු මගින් ආලෝකය අවශෝෂණය නොකිරීම නිසාය. 
වීදුරු පාරදෘශ්‍ය වීම සදහා ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් හේතුවේ. ආලෝකය ෆොටෝන වලින් සමන්විතය. ආලෝකයේ තරංග ආයාමය අනුව ෆොටෝනයක ඇති ශක්ති ප්‍රමාණය වෙනස් වේ. ඉලෙක්ට්‍රෝන මගින් ශක්තිය අවශෝෂණය කරන විට ඊලඟ ශක්ති මට්ටමට ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය ෆොටෝනයේ අඩංගු විය යුතුය, නැතිනම් ෆොටෝනය කිසිදු බාධාවකින් තොරව ගමන් කරයි. බොහෝ ද්‍රව්‍යවල ඇති පරමාණුවල ඉලෙක්ට්‍රෝන මගින් ෆොටෝනවල ශක්තිය අවශෝෂණය කර ඉහල ශක්ති මට්ටම් වලට සංක්‍රමණය වේ. බොහෝ ද්‍රව්‍යවල ඇත්තේ මෙම සැකසුමයි.
එනමුත් වීදුරුවල ඇති ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ඉතා ඈතින් පිහිටයි. එබැවින් දෘශ්‍ය ආලෝකයේ ඇති උපරිම ශක්තියක් ඇති ෆොටෝනයත් අවශෝෂණය කර ද පහල මට්ටට්මේ ඇති ඉලෙක්ට්‍රෝනයකට ඉහල මට්ටමකට ගමන් කල නොහැක. එනිසා ආලෝකයේ ඇති සියලු ෆොටෝන කිසිදු බාධාවකින් තොරව වීදුරුව හරහා ගමන් කරයි.
Credit -
සමහරවිට ඉහත විස්තරය ඔබට සංකීර්ණ වැඩි විය හැක. පහත නිදසුන මගින් එය පැහැදිලි කර ගත හැක.  පෙර පාසලක විවිධ උස සහිත ළමුන් සිටිනවා යැයි සිතන්න.සෑම ළමයෙකු ලඟම පොතක් ඇත. එම කාමරයේ දොර අසල මදක් උස රාක්කයක් ඇත. ළමුන් ගමන් කරන විට ඔවුන් ලඟ ඇති පොත මෙම රාක්කයේ තැබිය යුතුය. රාක්කයට වඩා උසින් වැඩි අයට පහසුවෙන් පොත් රාක්කයේ තබමින් එලියට ගමන් කල හැක. එනමුත් උසින් අඩු අයට පොත රාක්කයේ තැබිය නොහැකි වේ. ඔවුන් පොතත් සමග එලියට යයි. මෙම තත්වය විදුරුවල තත්වයට සසඳා බැලු විට ළමයා සමග පොත ෆොටෝනයට සමාන කල හැකි අතර ළමයාගේ උස මගින් ෆොටෝනයේ ශක්තිය නිරූපණය කල හැක. පොළොව හා රාක්කයේ උස ඉලෙක්ට්‍රෝන අතර ශක්ති මට්ටම් පරතරයට සංසන්දනය කල හැක. බොහෝ ද්‍රව්‍යවල මෙම රාක්කයේ උස අඩුය. එනමුත් වීදුරු සැලකුවහොත් මෙම රාක්කය කාමරයේ සිටින උසම ළමයාට වඩා උසින් වැඩිය. එබැවින් සියලු ළමුන් ඔවුන්ගේ පොතත් රැගෙන දොරෙන් පිටව යයි.   
Credit -
UV කිරණ වීදුරු හරහා යන විට එහි අඩංගු ෆොටෝන වල ශක්තිය දෘශ්‍ය ආලෝකයේ ෆොටෝනවල ශක්තියට වඩා වැඩි බැවින් එහි ෆොටෝන විදුරුවල ඇති ඉලෙක්ට්‍රෝන මගින් අවශෝෂණය කර ඉහල ශක්ති මට්ටමකට සංක්‍රමණය වේ. ඔබට නොපෙනුනද UV කිරණ වලට වීදුරු හරහා ගමන් කල නොහැක. ඉහත ජේද වලින් දිගහැරීමට ලක්වූයේ වීදුරු වල ඇති සුවිශේෂී ගුණාංග විද්‍යාත්මක ඇසකිනි. ඔබට වීදුරු පිලිබඳව යම් අවබෝධයක් ලැබුවායැයි මා සිතනවා.
ඈත අතීතයේ සිටම වීදුරුවලින් අප ලද ප්‍රයෝජන ඉමහත්ය. ආලෝකය ගෙතුලට පැමිණීමට ඉඩ දෙන වීදුරු අපව වැස්සෙන් ආරක්ෂා කරයි. අභ්‍යවකාශයේ ඇති වස්තු නිරීක්ෂණය කිරීමේ සිට ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජිවීන් නිරීක්ෂණය කිරීමටද වීදුරු යොදා ගනී. වීදුරු වලින් තොර ලොවක් මවා ගැනීමටද අපහසුය. මෙලෙස ඉතා අගනා ද්‍රව්‍ය කෙරෙහි අප දක්වන සැලකිල්ල ඉතාමත් අඩුය. එහි මූලික හේතුව විය හැක්කේ වීදුරු වල පවතින විශේෂම ලක්ෂණය වන ආලෝකයට පාරදෘශ්‍ය වීමෙන් එය අදෘශ්‍යමාන වීමයි. 


සැකසුම - සඳරුවන් මානවඩුගේ
                         කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
                         ජාතික මුලික අධ්‍යයන ආයතනය
      

No comments :

Post a Comment