තෙල් පැල්ලම නිසා කඩදාසියට සිදුවන අපූරු වෙනස

No comments
කඩදාසියක් මත තෙල් සහිත ආහාරයක් තබා බලන්න. ඔබට අඩ වශයෙන් පාරදෘශ්‍ය තෙල් පැල්ලමක් පෙනෙනු ඇත. තෙල් ගෑවුණු විට මෙවන් පැල්ලම් ඇතිවන්නේ ඇයිදැයි ඔබ දන්නවාද? කඩදාසි සෑදී ඇත්තේ සෙලියුලෝස් තන්තු සහ ඒවා අතර ඇති කුඩා වාත කුහර වලිනි. ඒ නිසා කඩදාසිය හරහා යෑමේදී ආලෝකයට මාරුවෙන් මාරුවට සෙලියුලෝස් තන්තු සහ වාතය හරහා ගමන් කිරීමට සිදුවේ.
එවිට ආලෝකය වර්තනය සහ ප්‍රකිරණය වැනි සංසිද්ධිවලට භාජනය වෙයි. එනම් ආලෝකයේ ගමන් මග වෙනස් වේ. මේ හේතුවෙන් කඩදාසිය හරහා අනෙක් පසට ගමන් කරන්නේ පතනයවූ ආලෝකයෙන් කුඩා කොටසකි. ඒ නිසා කඩදාසිය පාරාන්ධව(හරහා නොපෙනේ) දිස්වේ.

තෙල් ගෑවුණු විට, කඩදාසියේ වාත කුහර තෙල්වලින් පිරෙයි. තෙල් සහ කඩදාසිවල වර්තනාංක එකිනෙකට ආසන්නව සමානය. දැන් සිදුරු සහ තන්තු අතර වර්තනාංක වෙනස අඩුය. ඒ නිසා කඩදාසිය තුළදී සිදුවන වර්තනය සහ ප්‍රකිරණය අඩුවෙයි. එවිට වැඩි ආලෝක ප්‍රමාණයකට කඩදාසිය හරහා ගමන් කිරීමට හැකිවේ. ඒ නිසා අපට කඩදාසිය අඩ වශයෙන් පාරදෘශ්‍යව දිස්වේ. 


සැකසුම - තිළිණ විජේතුංග.
කනිෂ්ඨ පර්යේෂණ සහකාර,
ජාතික මූලික අධ්‍යයන ආයතනය. 

No comments :

Post a Comment