පාට මාරු කරන ගස් එහෙම කරන්නේ ඇයි?

No comments
picture courtesy:http://all4desktop.com/data_images/original/4245359-autumn.jpg
වසන්තය ගිම්හානය පසුකර සරත් සමය, සීත ඍතුව එළැඹෙන බව අපට කියන්නේ කාලයත් සමඟ එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් සැරසෙන සොබාදහමයි. මේ අතුරෙන් ගිම්හානයේ ඇති හරිත වර්ණ තුරුවැල් සරත් සමයේදී රතු කහ පැහැයට හැරෙන අයුරු කැපී පෙනේ. ගහකොළ වලට මේ අපූරු පැහැයන් ලැබෙන්නේ කෙසේ ද? අවශ්‍ය විටෙක ඔවුන් එම පැහැයන් වෙනස් කරගන්නේ කොහොම ද? මේ සිදුවීම් සියල්ල පසුපස අප නොසිතූ අරුමයක් සැඟව ඇත්ද? 

ශාක පත්‍ර වල විවිධ වර්ණක අඩංගු වෙනවා. හරිතප්‍රද, කැරොටින්, සැන්තොෆිල්, ඇන්තොසයනින් ඒවායින් කිහිපයක්.
• හරිතප්‍රද Chlorophyll - වඩාත්ම වැදගත් වර්ණකය යි. ශාක වල ප්‍රභාසංස්ලේෂණයේ දී අත්‍යවශ්‍ය වේ.
• කැරොටිනොයිඩ Carotenoids - කැරොටින් හා සැන්තොෆිල් පොදුවේ කැරොටිනොයිඩ ලෙස හඳුන්වයි. ඉදුණු පලතුරු හා එළවලු වලට ආවේණික කහ, තැඹිලි පැහැයන් ගෙන දෙන වර්ණකයයි.
• ඇන්තොසයනින් Anthocyanin - චෙරි, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි වල ඇති රතු පැහැයට හේතු වේ.

picture courtesy:http://sf.co.ua/id133096
හරිතප්‍රද හා කැරොටිනොයිඩ ශාකයක වර්ධක කාලය පුරාම අඩංගු වෙනවා. එයින් ද ප්‍රමුඛ වෙන්නේ හරිතප්‍රද හෙවත් chlorophyll වර්ණකයයි. Chlorophyll දෘශ්‍ය වර්ණාවලියේ කොළ පැහැය පරාවර්තනය කරමින් අනෙකුත් කිරණ අවශෝෂණය කරයි. හිතකර කාලගුණයක් පවතින කාල වලදී ගස්, කොළ පාටින් දිස්වන්නේ මේ නිසාවෙනි.

සාමාන්‍යයෙන් ශාකයක ඇති ශාක පත්‍ර ක්‍රියා කරන්නේ හරියට ආහාර නිපදවන සක්‍රිය කර්මාන්තශාලා විදිහට. ප්‍රභාසංස්ලේෂණය ලෙස අපි හඳුන්වන ගසට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය, හරිතප්‍රද වර්ණකය අඩංගු වන සෛල දහස් ගණනක සිදුවෙනවා.
කාබන්ඩයොක්සයිඩ් හා ජලය ආධාරයෙන් සරල සීනි නිෂ්පාදනය කර වායුගෝලයට ඔක්සිජන් මුදා හරින මෙම ක්‍රියාදාමයට අවශ්‍ය සූර්ය කිරණ කාර්යක්ෂමව තිර කරගන්නට හරිත වර්ණ හරිතප්‍රද වර්ණකය අත්‍යවශ්‍ය වෙනවා.

ඒ කොහොම වුනත් ග්‍රීෂ්මය අවසන් වනවාත් සමඟම ක්‍රමයෙන් පලා පැහැති ගස්, ප්‍රභාවත් රඹ පැහැ වර්ණ ධාරාවකට පිවිසෙන්නේ නව ඍතුවක උදාව අප හ‍ට කියා පාන්නට පමණක්ම නම් නොවේ... 
picture courtesy:https://pixabay.com/en/autumn-tree-trees-leaves-leaf-220110/
සරත් ඍතුව එළැඹෙත්ම දහවල් කාලය කෙටි වී රාත්‍රිය දිගු වේ. මේ තත්වය හමුවේ වෙනදා තරම් කාර්යක්ෂමව ප්‍රභාසංස්ලේෂණය කිරීමට නොහැකි වේ. මෙලෙස දහවල කෙටි වී සූර්යාලෝකය අඩු වීමත් සමඟ හරිතප්‍රද නිෂ්පාදනය ක්‍රමයෙන් අවම වෙමින් අවසානයේ දී නතර වී යයි. ඒ සමඟම ශාකයේ දැනට තිබෙන හරිතප්‍රද අණු ද බිඳ වැටෙන නිසා ශාකයේ හරිතප්‍රද නොමැති තත්වයක් උදා වෙනවා. මේ නිසාවෙන් ප්‍රභාසංස්ලේෂණය ද ක්‍රම ක්‍රමයෙන් නතර වේ. ප්‍රශස්ත තත්වයන් නොමැති කල, ශාක සිය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට මෙසේ තාවකාලිකව මද විරාමයක් තබන්නේ හැල්මේ දුවනවාට වඩා සුදුසු විටෙක උපක්‍රමශීලීව පසු බැසීම තමාගේම යථා කාලීන හිත සුව පිණිස හේතුවන බව පසක් කර දෙන්නාක් මෙනි.

picture courtesy:http://freedesignfile.com/261789-autumn-covered-with-red-maple-leaves-on-the-ground/
දැන් ඉතින් මෙතෙක් වේලා හරිතප්‍රද අණු වල හරිත වර්ණය හමුවේ යටපත්ව තිබූ, කැරොටිනොයිඩ වල මනරම් කහ තැඹිලි පැහැයන් ඉස්මතු වී දිස්වන්නට පටන් ගනියි. මේ අතරට රතු දම් පැහැ මුසු කර දෙන්නේ ඇන්තොසයනින් වර්ණකයයි. වෙනස් වන කාලගුණික තත්වයන් යටතේ ශාක ඇන්තොසයනින් වර්ණකය නිපදවයි. 
දහවල් කාලයේ දී ශාක සුළු වශයෙන් හෝ ආහාර නිපදවුවත්, රාත්‍රියේ දී අතු, මුල් හා කඳන් කරා ඒවා නිසි පරිදි පරිසංක්‍රමණය කළ නොහැකි වන්නේ මේ අවධියේ පවතින ඉතා අඩු උෂ්ණත්වය ඊට බාධාවක් වන නිසාය. මේ සංසිද්ධීන් හමුවේ සමහර ශාක තමා සතු ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා වලට සදහටම සමුදීමට හෙවත් පත්‍ර පතනයට පවා යොමු වෙනවා. ඇන්තොසයනින් නිපදවීමේ වාසිය පසක් වන්නේ මෙතැනදීය. 
picture courtesy:http://www.hdwallpaperup.com/autumn-little-girl/
පත්‍ර පතනයට පෙර ඒවායේ අඩංගු පෝෂක ප්‍රතිශෝෂණය කරගන්නට ඇන්තොසයනින් හරහා හැකි වෙනවා. අමුද්‍රව්‍ය හා ශක්තිය වැය කර නිපදවනු ලැබූ ආහාර අහක යාම වළක්වා, මීළඟ වර්ධක සමයට සාර්ථකව මුහුණ දීමට ශාකයට මෙය ඉවහල් වෙනවා. බිමට වැටෙන පත්‍ර ද ගැඩවිලන්, දිලීර, බැක්ටීරියා හා අනෙකුත් කුෂුද්‍ර ජීවීන් මගින් වියෝජනයට ලක් කෙරේ. එලෙසින් මේ හරහා පතනය වූ පත්‍ර වල උරුමකරුවන් වන ගස්වලට, උපස්තරය තනන පස පොහොසත් කරයි. සොබාදම සිය තන්ත්‍රය තුළ කිසිවිටෙක කිසිවක් අපතේ යා නොදී නිහඬව අප ඉදිරියේ ගෙනහැර පානා පාඩම් බොහෝමයි.

picture courtesy:
http://maxpixel.freegreatpicture.com
ඍතු වෙනස්වීමත් සමඟ ශාකවල පැහැය වෙනස් වන්නේ උෂ්ණත්ව විචලනයන් නිසාවෙන් යැයි සමහර විටෙක ඔබ අසා ඇති. මෙහි ද සත්‍යතාවක් නැතුවාම නොවේ. කිමද යත් රාත්‍රිය හා දහවල පවතින කාල සීමාවන්ගේ වෙනස්වීම අනුව වර්ණක නිපදවීම රඳා පවතින මුත්, එම වර්ණයන්ගේ තීව්‍රතාව සඳහා පරිසර උෂ්ණත්වය, ආලෝකය, ජල සැපයුම ආදී සාධක ද බලපායි.

නිවර්තන කලාපික රටක වෙසෙන අපිට ඍතු විපර්යාසයන් සමඟ සිදුවන මේ මනරම් වර්ණ විපරිණාමයට සියැසින් සාක්ෂ්‍ය දරන්නට ලැබෙන්නේ නැහැ. එනමුත් ඇතැම් කාල වලදී සමහර ගස්වැල් වල පැහැය සුළු වශයෙන් වෙනස්වන ආකාරයත්, ඇතැම් වෘක්ෂ පත්‍ර පතනය කරන අන්දමත් ඔබ දැක ඇති. එසේම ඔවුන් එසේ කරන්නේ අහේතුකව විය නොහැකි බව සිතන්නට ඇති. පාරිසරික වෙනස්කම් හමුවේ අහිතකර කාල තරණය කරන්නට ඔවුනට ද මෙය උපකාරී වන බව ඔබ දැන සිටියා ද? අප අවට ඇති දෑ දෙස නැවුම් නවමු කෝණයකින් බැලුවොත් නිරාවරණය වන අරුමයන් අපමණයි නේද?
picture courtesy:
https://media.mnn.com/assets/images/2015/09/creative-kids.jpg.653x0_q80_crop-smart.jpg
මිනිසුන් වන අපටත් තුරුවැල් මෙන් පරිසරයට සංවේදී ‍වන්න පුළුවන් වූවා නම් එය අපටත් පරිසරයටත් යන දෙපිරිසටම ගෙන දෙන්නේ යහපතක්. පරිනාමිකව මිනිසා දියුණුවත්ම සිදුවිය යුත්තේ සොබාදහමෙන් දුරස් වීම නොව, මනා අවබෝධයකින් යුතුව ස්වභාවික පරිසරය‍ට තව තවත් සමීප වීමයි. වචන වලට සීමා නොවී අප එය ක්‍රියාවට නැංවීමට දායක වත්ම අදට වඩා හෙට, මිනිසා ද ඇතුළු සමස්ත ස්වභාවධර්මයට සුබදායක වනු නොඅනුමානයි! 

සැකසුම - සචිනි හෙට්ටිආරච්චි.
කනිෂ්ඨ පර්යේෂණ සහකාර,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.

No comments :

Post a Comment