පාට මාරු කරන ගස් එහෙම කරන්නේ ඇයි?

No comments
picture courtesy:http://all4desktop.com/data_images/original/4245359-autumn.jpg
වසන්තය ගිම්හානය පසුකර සරත් සමය, සීත ඍතුව එළැඹෙන බව අපට කියන්නේ කාලයත් සමඟ එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් සැරසෙන සොබාදහමයි. මේ අතුරෙන් ගිම්හානයේ ඇති හරිත වර්ණ තුරුවැල් සරත් සමයේදී රතු කහ පැහැයට හැරෙන අයුරු කැපී පෙනේ. ගහකොළ වලට මේ අපූරු පැහැයන් ලැබෙන්නේ කෙසේ ද? අවශ්‍ය විටෙක ඔවුන් එම පැහැයන් වෙනස් කරගන්නේ කොහොම ද? මේ සිදුවීම් සියල්ල පසුපස අප නොසිතූ අරුමයක් සැඟව ඇත්ද? 

No comments :

Post a Comment

පොලිතින් තහනම විද්‍යාත්මක ඇසින්..

No comments
පොලිතින් තහනම සහ ඒ ආශ්‍රිත නොයෙකුත් මතවාදයන් වර්තමාන සමාජ පසුබිමෙහි නොයෙකුත් ආකාරයෙන් කතාබහට ලක්වෙමින් පවතී. පාරිසරික වශයෙන් බැලූ කළ මෙවන් ප්‍රයත්නයන් අනර්ඝ නමුත් නුදුරු ඉතිහාසය දෙස බැලූ කළ පෙනී යන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙය අළුත් තත්වයක් නොවන බවයි. මීට පෙර අවස්ථා දෙකකදී රජය මෙම නීතිය රට තුල ස්ථාපනය කිරීමට උත්සහ කළද ඒවා ව්‍යර්ථ වී ගියේ ඇතැම් ජන කොටස් සතුව මේ සම්බන්ධව තිබූ දැනුම, උනන්දුව මඳකම සහ කාලයත් සමඟ රජය සතු වූ අනවධානයයි.

polythene-ban-sri-lanka
image source:
http://www.hindustantimes.com/world-news/sri-lanka-bans-plastic-after-garbage-crisis/story-PfM1zsZUDPcYdPmTlafHSM.html
කසල කලමනාකරණය පිලිබඳ දැවැන්ත ගැටළු මතුවීම සහ දිවයින පුරා ඩෙංගු වැනි රෝග පැතිරීමත් සමඟ පොලිතින් නිසා වන හානිය වැඩි වශයෙන්ම දැනෙන්නට වූ අතර මෙවැනි නීතියක අවශ්‍යතාවය නැවතත් මතුවන්නට විය. මේ අනුව සැප්තැම්බර් පළමු වනදා සිට මෙම නීතියට අදාල කරුණු බලපැවැත්වෙන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන්පසු මෙම කාලය ජනවාරි පළමු වන දා තෙක් දීර්ඝ කර සහන කාලයක් ලබාදෙන ලදි. මේ වන විට බොහොමයක් ජනතාව සහ සුපිරි වෙලඳසැල් මීට අනුගත වෙමින් පවතින බවක් දක්නට ලැඛෙන නමුත් තවමත් ඇතැම් පිරිස් මේ සම්බන්ධ නිසි අවධානයක් යොමු නොකර ඇති සේයාවක් දක්නට ලැබේ.

සරලව ගත්කල පොලිඑතිලීන් (Polyethylene - PE) යනු බහුඅවයවීකරණය වූ කාබන් දාමයකි.

polythene-ban-sri-lanka
එතීන් ⟶ පොලිඑතිලීන් බවට පත්වීම (Ethene ⟶ Polyethylene) 

ඇතැම් අවස්ථාවල මෙයට H (හයිඩ්‍රජන්) පරමාණු වෙනුවට වෙනත් කාබන් දාම සමග බහුඅවයවීකරණය වීමෙන් ශාඛනය වූ දාම සහිත පොලිඑතිලීන් නිර්මාණය වේ. අඩු ඝනත්ව පොලිඑතිලීන් (Low Density Polyethylene -LDPE ) යනු මෙයයි.

polythene-ban-sri-lanka

ශාඛනය වූ එනම් අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE) නිර්මාණය වීමකට උදාහරණයක් ලෙස මෙම ප්‍රතික්‍රියාව හඳුනාගත හැකිය.
එසේම ශාඛනය නොවූ රේඛීය (Linear) කාබන් දාමයන් වැඩි ඝනත්ව පොලිඑතිලීන් (High Density Polyethylene- HDPE) ලෙස හදුන්වයි.

අප දන්නා පරිදී පොලිතීන් ජෛව හායනයට (Bio-degrade) ලක් නොවන අතර මෙය ලක්වන්නේ ප්‍රකාශ හායනයටයි (Photo-degrade). එනම් කාලයත් සමග මේවා විෂ සහිත අතිශය කුඩා අංශු බවට කැඩීයාම සිදුවේ (Petro -Chemicals). පස සහ ජලයත් සමඟ ඉන්පසු මෙම ඉතා කුඩා අංශු මුසුවන අතර පහසුවෙන් ජීවීදේහ වලට ඇතුළුවීම සිදුවේ. ජලජ පරිසර වලදී මෙය ඉතා සුලභ අතර ප්ලාස්ටික් ඇතුලු මෙවන් කාබනික අංශු ශරීරගත වීම කාබනික ද්‍රව්‍ය ජෛව සමුච්චනයට (Bio Accumulation) ලක්වීමට පවා බලපායි.

polythene-ban-sri-lanka
image source:
https://lankainformation.lk/news/business-news/item/confusion-reigns-over-new-polythene-ban
ශ්‍රී ලංකාවේ රජය මගින් භාවිත කලහැකි පොලිතින් වල අවම ඝනකම ලෙස 20μm ලෙස සීමා පනවා ඇත. ඝනකම ඉහල වීම මගින් නැවත නැවත අදාල පොලිතින් බෑගය භාවිතා කල හැකිවන අතරම ප්‍රකාශ හායනයට ලක්වීමට ඇති හැකියාවද යම්තාක් දුරකට පාලනය වේ. තමා භාවිතා කරන පොලිතින් වල ඝනකම 20μm ඉක්මවූ පමණින් එම පොලිතින් භාවිතය වැඩි වශයෙන් සිදුකිරීම හෝ එය පරිසර හිතකාමී යැයි සිතීම සාවද්‍ය වේ. ඝනකම වැඩි පොලිතින් පරිසරයට මුදාහැරීමෙන් පෙරටත් වඩා පොලිතින් පදාර්ථ ප්‍රමාණයක් පරිසරයට එකතු වන අතර මෙම පියවර පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය ගත් මූලික පියවරක් බව තේරුම් ගතයුතුය. මෙයින් පරිසරයට පොලිතින් මුදාහැරීමේ සහ පරිසරය දූෂණය වීමේ යම් අවම වීමක් රජය බලාපොරොත්තු වන අතර ඉන්දියාව වැනි රටවල මෙම අවම ඝනකම් සීමාවේ අගය 40μm - 50μm දක්වා වර්ධනය කර ඇත.

ඒ සමගම ශ්‍රී ලංකාවේ මෙම නීතියට අනුව විවෘත භූමි වල පොලිතින් ප්ලාස්ටික් හෝ ප්ලාස්ටික් අන්තර්ගත ද්‍රව්‍ය දහනය කිරීම තහනම් වේ.

polythene-ban-sri-lanka
image source:
http://dailynews.lk/2017/07/17/local/122195/burning-polythene-plastics-open-places-be-banned

බොහොමයක් පොලිතීන් දහනය කිරීම පහසු කටයුත්තක් නොවන අතර දහනය කරන විට පොලිතින් ද්‍රව බවට පත්වී බොහෝ වේලාවක් පවතී. සම්පූරණයෙන්ම දහනය කිරීමට නම් වැඩි වේලාවක් තාපය සැපයිය යුතු වේ. බොහෝ අවස්ථා වලදී මෙම දහනයේදී කර්කෂ දුගන්ධයක් අත්විදිය හැකි අතර බොහෝසෙයින් විෂවන සංඝටකයන් මේ දුම තුල අන්තර්ගත වේ. ඒ සමග මීට හේතුවන මෙම ප්ලාස්ටික් අන්තර්ගතයන් ලෙස හයිඩ්‍රොකාබන, සයනයිඩ් සංඝටකයන් Polychlorinated biphenyls (PCBs), ක්ලොරිනීකෘත පොලිඑතිලීන් (Chlorinated Polyethylene), Chlorinated polyvinyl chloride (CPVC), Chlorosulfated polyethylene (CSPE), Polyvinyl Chloride (PVC) ආදිය හඳුනාගත හැක.

මෙම ප්ලාස්ටික් වර්ග දහනයෙන් ඩයොක්සීන් (Dioxin ) නිපදවෙන අතර වායුගෝලයට මුදාහැරේ. මෙය දරුණු පිලිකා කාරකයක් (Carcinogenic) වන අතර ඇමරිකාවේ ජාතික ප්‍රමිති හා තාක්ෂණ ආයතනය (National Institute of Standards and Technology) මගින් අංශුමාත්‍ර මූලද්‍රව්‍යයක් වන ආසනික් (As) වලට වඩා අර්ධ මිලියන ගුණයක පිලිකාකාරක හැකියාවක් මෙහි පවතින බව සනාථ කර තිබේ. මෙය ජීවීදේහ තුලට ඇතුළු වී මේදය තුල ද්‍රාවණය වී අතිශය ඉහල ස්ථායීතාවයක් සහිතව රඳා පවතින අතර මෙය ජෛව සමුච්චනයටද ලක්වේ.
polythene-ban-sri-lanka
image source: https://en.wikipedia.org/wiki/Carcinogen
ඒ සමගම පොලිස්ටයරීන් (Polystyrene) දහනය කිරීමෙන් තවත් විෂවායුවක් වන ස්ටයරීන් (Styrene) වායුව මුදාහැරෙන අතර මෙම වායුව මිනිස් සම හා පෙනහළු මගින් අවශෝෂණය කරගනී. මෙය මධ්‍යම ස්නායු පද්ධතියට දරුණු බලපෑම් එල්ල කරන අතර පෙනහළු ආබාධ, හිසරදය ඇතුළු සිරුර දුර්වල කිරීමට සමත් නොයෙකුත් විභවයන් මේ තුල අන්තර්ගත වේ.

පාලිත තත්වයන් යටතේ දහනය කිරීම මගින් විෂ ද්‍රව්‍ය වායුගෝලයට මුසුවීම යම්තාක් දුරකට අවම කරගත හැකි අතර විවෘත දහනය මගින් විශාල විෂ වායූන් ප්‍රමාණයක් වායුගෝලයත් සමග එකතු වේ. මේ නිසා දහනය සිදු කරන පුද්ගලයාත් ඇතුළුව ඒ අවට වෙසෙන සියල්ලන්ටම මෙම අවධානමට ලක් වීමට සිදුවේ. මේ නිසා සිදුකල හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ඉවත් කිරීමට අවශ්‍ය පොලිතීන් හා ප්ලාස්ටික් එකතුකර ඝන අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයක් වෙත භාර දීමය.

polythene-ban-sri-lanka
image source: https://cornware.co.uk/recycling-2/
නිවෙස්‌ හෝ ආයතන තුළ වෙන් වෙන් කසල බදුන් තබා ගැනීමෙන් අපද්‍රව්‍ය වෙන් කිරීමේ කාර්ය පහසු කරගන්න පුළුවන්

ඒ සමගම උත්සව කටයුතු වලදීද පොලිතීන් භාවිතය තහනම් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය පැසසිය යුතු අතර විශාල වශයෙන් පොලිතීන් පරිසරයට මුදාහරින අවස්ථා ලෙස මෙම උත්සව අවස්ථා හදුනාගත හැකිය.

ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් මෙම පොලිතීන් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඇතැම් රටවල් එය සාර්ථක කර ගෙන ඇති නමුත් ඇතැම් රටවල එය අසාර්ථක වී ඇත. උදාහරණයක් ලෙස රුවන්ඩාව මෙම පොලිතීන් භාවිතය අවම කිරීම ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර බංග්ලාදේශය 2002 වසරේ පොලිතීන් තහනමක් ප්‍රකාශ කලද වර්තමානය වනවිට එය අභාවයට ගොස් තිබේ. මේ ආකාරයෙන් ඇතැම් රටවල් මෙම නීති ස්ථාපිත කිරීම සාර්ථක කරගන්නේද ඇතැම් රටවල් අසාර්ථක වන්නේද මේ කෙරෙහි ජනතාවගේ ක්‍රියාකලාපය අනුව බව ජනතාව වටහාගත යුතුය.

polythene-ban-sri-lanka
image source:
www.mynewsdesk.com/swedbrand/blog_posts/which-are-the-benefits-of-choosing-jute-bags-59291
සිලි මලු වෙනුවට බංගලාදේශයේ සුලබව ශාවිතා කෙරෙන හණ වලින් සෑදු මලු හෙවත් ගෝනි බෑග්


polythene-ban-sri-lanka
image source:
http://www.aliexpress.com/store/product/Magic-Kitchen-Creative-Bento-box-Korean-Style
හැමදාමත් ලන්ච් ෂීට් හාවිතා කරනවා වෙනුවට මෙවැන්නකට යොමු වන්න අපටත් පුළුවන්
ශ්‍රී ලංකාව වැනි රටක් තුල නම් ප්ලාස්ටික් මලූ හෝ වෙනත් ප්ලාස්ටික් භාවිතයන්ට විකල්ප විසදුම් නැතැයි රජයට දොස් පැවරීම අනුමත කල නොහැකි කරුණකි. ඇති කරගත යුත්තේ ආකල්පමය වෙනසක් වන අතරම බිය ඇතිකරගත යුත්තේ නීතිය කෙරෙහි නොව පොලිතින්, ප්ලාස්ටික් භාවිතය සහ අක්‍රමවත් කසල කලමනාකරණය හේතුවෙන් ඇතිවිය හැකි භයානක අතුරු ප්‍රතිඵලයන් කෙරෙහි බව ජනතාව තේරුම් ගත යුතුය.

ඉන්ද්‍රජිත් අත්තනායක,
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

No comments :

Post a Comment

අභ්‍යවකාශ ජනාවාසකරණය සහ මානව පැවැත්ම

No comments
මිහිතලය මත වෙසෙන සාර්ථකම ජීවීන් කොට්ඨාසය වන මානව සංහතියේ ආරම්භය මීට වසර මිලියන ගණනාවකට පෙර ප්‍රයිමේටාවන්ගේ පටන් සිදුවූ අතර එතැන් පටන් මේ දක්වා එනම් එහි දියුණුතම අවස්ථාව වන Homo sapiens sapiens දක්වා පරිණාමය වීම නොයෙකුත් වූ වාසිදායක සහ සුවිශේෂීකරණය වූ ලක්ෂණ හඳුන්වාදෙමින් සිදුවිය. මීට උදාහරණ කිහිපයක් ලෙස මොළයේ වර්ධනය සහ පුළුල් නළලක් ඇතිවීම, ප්‍රාථමික වක්‍ර 2ක් සහ ද්විතීක වක්‍ර 2ක් සහිතව කොඳුඇට පෙල සමගින් සෘජුකාය විලාසය ඇතිවීම, මහපට ඇඟිල්ලේ පිලිමල් ස්වභාවය හා මුහුණ පැතලි වීම ගත හැකිය. මෙම සුවිශේෂී වූ ලක්ෂණ වල හඳුන්වාදීම සහ ඒවායේ වර්ධනය මානව ජීවියාට මිහිතලය මත ජනිත වී ඇති අනෙකුත් ජීවීන් අභිබවා ජීවිත සටන ජයගනිමින් මිහිමත තම පැවැත්ම තහවුරු කරගැනීමට මනාම වූ පිටිවහලක් වන්නට ඇති බව ඉතා පැහැදිලිවම සිතිය හැකි කරුණකි.

space colonization
image source:http://www.bbc.co.uk/programmes/p0022nyy
ප්‍රථමාවධියේදී මානවයාගේ මූලික අවශ්‍යතාවයන් ආහාර ලබාගැනීම සහ ආරක්ෂාව පමණක් වුවත් කල්ගතවත්ම එය මීට අමතරව ඇඳුම් පැලඳුම් වාසස්ථාන අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු විශාල මූලික අවශ්‍යතාවයන් රැසක් බවට පත්විය. මෙහිදී මෙයට වැඩි වශයෙන්ම හේතුවූවා යැයි සැලකිය හැකි කරුණ වන්නේ මිනිසාට ඉගෙනගැනීමට ඇති සුවිශේෂී වූ හැකියාවයි. මිහිමත වෙසෙන බොහොමයක් ජීවීන්ට ඉගෙනගැනීමට හැකියාව තිබුනත් එය අත්දැකීම් වලට පමණක් සීමාවන අතර මිනිසා සුවිශේෂී වන්නේ ඔවුන්ට බුද්ධිමත්ව කරුණු විමසා බලමින් තාර්කිකව ඉගෙනුම ලැබීමට ඇති හැකියාවෙනි. මෙය අනෙක් ජීවීන්ට සාපේක්ෂව මානවයා ප්‍රමුඛ වීමට ලක් වූ ප්‍රධාන හේතුව ලෙස සැලකිල්ලට භාජනය කලහැකි අතර ගින්දර සොයාගැනීම, රෝදය සොයාගැනීම සහ ට්‍රාන්සිස්ටරය සොයාගැනීම වැනි සන්ධිස්ථානයන් තුලින් එය සාර්ථකව පසක් කර තිබේ. මේ අනුව බලන කළ මේ වනවිට මිනිසාට ජීවිත සටන සඳහා අනෙකුත් ජීවීන් සමඟ පවතින්නේ නිතරඟයක් බව පැහැදිලි වේ.

මෙලෙසින් කාලයත් සමග මිනිස් ගහණය වර්ධනය වූ අතර සංක්‍රමණ, ආක්‍රමණ ආදී ක්‍රම සහ භූ විද්‍යාත්මක හේතූන් පදනම් කර ගනිමින් පෘතුවිය පුරා මානව ගහණය වර්ධනය වීමට ලක්විය. වර්තමානය වනවිට මෙම මානව ගහණය බිලියන 7.5කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී පවතින අතර වර්ධන වේගය 1.1% පමණ අගයක් ගනී. මෙම සංඛ්‍යාත්මක අගය මිහිමත වෙසෙන අනෙකුත් ඇතැම් ජීවීන් සමඟ සසඳා බලන කළ කුඩා අගයක් වුවත්, සියලූම ජීවීන්ට අයිතිව පවතින භූමි ප්‍රමාණය සහ සීමිත සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගත් කල මෙම අගය සීමා ඉක්මවා යාමක් බව පැවසීම සාවධ්‍ය නොවේ.

මෙම සාර්ථක මානව පරිණාමයත් වර්ධනයත් සමඟ මිනිසා භාවිතා කරන තාක්ෂණයද ඊට සමගාමීව ඉතා ඉහළ වේගයක් සහිතව වර්ධනය වීමට ලක් වූ අතර මෙලෙසින් වර්ධනය වී වර්තමානය වන විට එය සාපේක්ෂව ඉතා ඉහළ ස්ථානයකට සපැමිණ තිබේ. තොරතුරු තාක්ෂණික, වෛද්‍ය හා ජෛව විද්‍යාත්මක, රසායනික විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක ක්ෂේත්‍ර මීට ඇතුළත් කළ හැකි වැදගත් ක්ෂේත්‍රයන් වේ.
මේ අතරින් අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන්ද ප්‍රධාන පෙලේ ස්ථානයක් හිමිකර ගන්නා අතර වර්තමාන තාක්ෂණික මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් බොහොමයක්ම පාහේ සපුරාලීමට මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන් භාරගෙන තිබීම නිරීක්ෂණය කලහැකි කරුණකි.

මෙහි සුවිශේෂ කෘත්‍යයක් ලෙස විශ්වය පිලිබඳ සිදු කෙරෙන අධ්‍යයනයන් සැලකිය හැකි වේ. ඉතිහාසයේ පටන් මේ දක්වා විශ්වය පිලිබඳ පැවති දුර්මතාන්ත දුරු කරමින් ආගමනයෙන් පසු වර්තමානය වන විට සාපේක්ෂව ප්‍රශස්ථ මට්ටමක අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින අතර නාසා ආයතනය (NASA-The National Aeronautics and Space Administration) සමගින් හබ්ල් දුරේක්ෂය(Hubble Space Telescope)- සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයද (International Space Station) මෙහිලා ඉහළ දායකත්වයක් දක්වනු ලබයි. මේ සමඟ චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක්ද පෘතුවිය එපිටින් පවතින තාරකා ග්‍රහලෝක මෙන්ම ජීවයන් පිලිබඳ ගවේෂණයන්හි නියැලෙමින් පවතී.

space colonization
image source:
https://www.space.com/20657-stephen-hawking-humanity-survival-space.html

මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවේ නවමු වූ මානයක් ලෙස අභ්‍යවකාශ ජනාවාසකරණ (Space Colonization) සංකල්පය හැඳින්විය හැකි වේ. සරලව ගත් කළ අභ්‍යවකාශ ජනාවාසකරණය යන්නෙහි මූලික සංකල්පය වන්නේ පෘතුවියෙන් බැහැරව, ස්ථීර සහ ස්වතන්ත්‍ර ලෙස වාසය කළ හැකි පරිදි වාසස්ථාන පිහිටුවා ගැනීමයි. ලොව සුප්‍රකට භෞතික විද්‍යාඥයෙකු සහ අජටාකාශ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙපන් හෝකින් මහතා (Theoretical Physicist and Cosmologist Professor Stephan Hawking) මත පලකරන්නේ මිනිසාට පෘතුවියෙන් එපිටට තම ජීවය ව්‍යාප්ත කළ නොහැකි නම් තවත් වසර දහසක් තුල පෘතුවිය මිනිසාට ජීවත්විය නොහැකි ස්ථානයක් බවට පත්වන අතර ඔහු පවසන්නේ තනි ග්‍රහලොවක ජීවය පැවතීම අවධානම් කටයුත්තක් බවයි. මෙම ප්‍රකාශනයට උදාහරණයක් ලෙස ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වීම ගත හැක. ඔහු පවසන්නේ පෘතුවිය භංගුර වස්තුවක් වන අතර ඇස්ටරොයිඩ හෝ එවැනි වෙනත් අභ්‍යවකාශ වස්තුවක ඝට්ටනයකින් පහසුවෙන්ම පෘතුවිය විනාශ වී යාහැකි බවයි.


මීට අමතරව මිනිස් ගහණය පාලනය කිරීමට නොහැකි තරමටම වර්ධනය වූ පසු අභ්‍යන්තර ගැටුම්, එනම් යුධ කටයුතු සහ හදිසි අනතුරු මගින් මිනිසුන් විනාශ වී යාහැකි බවත් මෙම ගැටලූ වලට හොදම විසඳුමක් ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ පෘතුවියට පමණක් සීමාවී ඇති ජීවය අභ්‍යවකාශය දක්වා ව්‍යාප්ත කලයුතු බවයි.

නාසා ආයතනයේ විද්වත් නිලධාරියෙකු ලෙස කටයුතු කරන මයිකල් ග්‍රිෆින් මහතා (NASA Administrator - Michael Griffin) පවසන්නේ වර්තමානයේ සිදුකරනු ලබන මෙම පර්යේෂණයනගේ සහ ව්‍යාපෘතීන්ගේ අග්‍ර අරමුණ අභ්‍යවකාශ ජනාවාසකරණය බවයි. යම් දිනෙක මිනිසුන් සඳ ඇතුලත්ව බ්‍රහස්පතී, අගහරු ඇතුළු අනෙකුත් ග්‍රහලෝක දක්වා ජීවය වර්ධනය කරනු ඇතැයි ඔහු මත පලකරයි. මෙය හුදු මනස්ගාතයක් නොවන බවත් වර්තමාන තාක්ෂණික දැනුම ඔස්සේ එවැනි ඉලක්කයන් කරා මිනිසාට ගමන් කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
නාසා ආයතනය ප්‍රමුඛ මෙම පර්යේෂණයන්හි නියැලෙන විද්වතුන් ඉදිරිපත් කරන මෙහි අරමුණු කිහිපයක් ලෙස,
1. ජීවය විශ්වය පුරා ව්‍යාප්ත කිරීම.
2. මානව ජීවී විශේෂයේ පැවැත්ම තහවුරු කිරීම.
3. සූර්ය බලශක්තිය සහිත චන්ද්‍රිකා ඇස්ටරොයිඩ වැනි ආකාශ වස්තූන්හි සිදුකරන කැණීම් අභ්‍යවකාශ වස්තූන්ගෙන් සිදුකරන නිෂ්පාදන ආදීන් වාණිජකරනයට ලක් කරමින් වාසි ලබාගැනීම.
4. මිනිසුන් සහ කර්මාන්තශාලා අභ්‍යවකාශයට ඇතුලත් කිරීම මගින් පෘතුවිය ආරක්ෂා කරගැනීම.
හඳුනාගත හැකි වේ.

ඒ සමඟම මෙහිදී පැන නැගිය හැකි ප්‍රධාන ගැටලු කිහිපයක් ලෙස ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සාධක ප්‍රශස්ථ මට්ටමකින් ලබා ගැනීම, බල ශක්තිය ලබා ගැනීම, ගුරුත්ව බල රහිත බැවින් ඊට විසඳුම් සෙවීම හා අභ්‍යවකාශයේ පවතින අධිකතර විකිරණශීලීතාවයෙන් ආරක්ෂා වීම ආදීන් ගත හැකිය.

ජීවීන්ට තම ජීවය පවත්වාගැනීමට අවශ්‍ය මූලද්‍රව්‍ය C, H, O, N, P, Mg, K, S වැනි අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස සහ Cl, Fe, B, Mn, Zn, Cu, Mo, Ni ආදී අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස පවතින අතර මිහිතලය මතදී නම් ආහාරදාමයක මුලින්ම සිටින ශාක විසින් බොහෝවිට මෙම අවශ්‍යතාවය සපුරා දෙනු ලබයි. ප්‍රභාසංස්ලේෂණය මගින් ශාක C කාබන් තිර කරනු ලබන අතර බැක්ටීරියාවන්ගේ උපකාරයෙන් හෝ සංයෝගමය වශයෙන් පවතින හෝ එවැනි වෙනත් ආකාරයකින් හෝ අධි මාත්‍ර හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ශාක තුලට ඇතුළත් කර ගනී. ඉන්පසු සතුන් මගින් එය අධිග්‍රහනය කර ආහාරදාමයන් ඔස්සේ ගමන් කරනු ලබයි. එනම් මිනිසාද එම ජෛව පද්ධතියේ පුරුකක් බවට පත් වෙමින් තම අවශ්‍යතාවය සපුරාලනු ලබන අතර අභ්‍යවකාශය තුලදී ද මෙය යථාර්තයක් බවට පත් කිරීම මිනිසාගේ වෑයම බවට පත්වී තිබේ. මේ සඳහා ඇරිසෝනා ප්‍රාන්තයේ (Arizona) පිහිටි ඇරිසෝනා විශ්වවිද්‍යාලය (Arizona University) මගින් පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබන අතර මෙහි එක් ව්‍යාපෘතියක් ලෙස ‘Biosphere 2’ ව්‍යාපෘතිය හැඳින්විය හැක. මේ වන විට වසර 2ක් සඳහා මිනිසුන් 8 දෙනෙකුට ප්‍රමාණවත් වන තරම් කෘත්‍රිම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත.

මෙහිදී විශාල සතුන් ආදිය මෙයට ඇතුලත් කරන්නේ නම් මේ සියල්ලටම අවශ්‍ය තරම් වාතාශ්‍රය නිපදවීම තවමත් ගැටලුවක්ව පවතින අතර ඒ සඳහා ද පර්යේෂණ බොහොමයක් ක්‍රියාත්මක වෙමින් පවතී. අභ්‍යවකාශය තුල පෘතුවියේ මෙන් වායුගෝලයක් නොමැති වීම ජීවීන්ට අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය පවත්වාගැනීමට නොහැකි වීමටද හේතු වේ. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ පාරිසරික උෂ්ණත්වය ඉතා දැඩි විචලනයන්ට ලක් වන අතර මෙය ජීවීන්ගේ පැවත්මට සුදුසු නොවේ. මෙයද මිනිසාට මෙම අභ්‍යවකාශ ජනාවාසකරණ අභියෝගය ජයගැනීමට බාධාවක්ව තිබේ.

එමෙන්ම අභ්‍යවකාශය යනු විකිරණ බහුල කලාපයකි. කොස්මික් කිරණ සහ සූර්යයාගෙන් පැමිණෙන බොහෝ කිරණ ජීවීන්ට දැඩි බලපෑම් එල්ල කළහැකි ඒවා වේ. මීට විසදුමක් ලෙස විද්‍යාඥයන් විසින් විකිරණාවශෝෂක මතුපිටක් සහිත ආවරණ නිර්මාණය කෙරෙහි තම පර්යේෂණ මානයන් යොමුකරමින් පවතී.

මීට පෙර මෙම අභ්‍යවකාශ වටපිටාව තුල භාවිතා කරන ශක්ති ප්‍රභවය කුමක්ද යන්න නොයෙකුත් මතවාද පැවතුනත් සූර්යශක්තිය සහ තවත් ආකාශ වස්තූන් භාවිතාකර ශක්තිය නිපදවිය හැකි නොයෙකුත් ක්‍රමවේදයන් මේ වන විට සොයාගනිමින් පවතී. විද්වතුන්ගේ තොරතුරු අනුව ඔවුන් පවසන්නේ පෘතුවියේ මෙන් ඊට වඩා දසදහස් ගුණයකින් වැඩි සම්පත් ප්‍රමාණයක් අභ්‍යවකාශය තුල ගැබ්වී පවතින බවයි.

ඒ සමඟ වසර 71ක පමණ කෙටි ආයු අපේක්ෂාවක් සහිත මිනිසාට පවතින තවත් ගැටලූවක් නම් මෙම ග්‍රහලෝක අතර සිදුකරන ගමනාගමන ක්‍රියාවලියයි. මේ සදහා ආලෝකයේ වේගය හෝ එය අභිබවා යාහැකි යානා (Space Ships – FTL: Faster than Light Engines) නිර්මාණය කළ යුතුව තිබේ. මේ ආශ්‍රිත පර්යේෂණ කටයුතුද ක්‍රියාත්මක තත්වයේ පවතින අතර තවමත් ඒවා මූලික අවධි පසුකරමින් සිටී.

space colonization
image source:https://en.wikipedia.org/wiki/Space_colonization
මෙවැනි භෞතික ගැටලූ වලට මිනිසා විසඳුම් සෙවූවද උසස් හා අතිශය සංකීර්ණ මනසකින් හෙබි මිනිසාට ඇතිවිය හැකි මානසික ගැටලු වලට විසඳුම් තවමත් සොයාගෙන නොමැත. මෙවන් ඒකාකාරී සහ පීඩාකාරී බවකින් යුත් පරිසරයක් තුල මානව ජීවියාට සාර්ථක විය හැකිවේද යන්න තවමත් ගැටලුකාරී තත්වයක් මතු කරමින් තිබේ.

මෙකී ගැටලුන් ඇතුලත්ව තවත් දහසකුත් එකක් ගැටලු තවමත් මිනිසා ඉදිරියේ මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා පවතින නමුදු මිනිසා විසින් මෙම සියලූම ගැටලු වලට පිලිතුරු සපයමින් මෙම සන්ධිස්ථානය කරා ගමන් කරන බව විද්වතුන්ගේ ප්‍රබල මතය වේ. මීට හොඳම උදාහරණයක් ලෙස ලෝ ප්‍රකට විද්‍යාඥ ආතර් සී ක්ලාක්(Arthur C. Clarke) මහතා හදුනාගත හැකි අතර මෙම අධ්‍යයනයන් සඳහා ආලෝකයක් වූ මෑත කාලීන සොයාගැනීම ලෙස මිනිස් වාසයට සුදුසුයැයි සැක පලකෙරෙන ආලෝක වර්ෂ 39ක් එපිටින් පිහිටි TRAPPIST-1 සෞරග්‍රහ මණ්ඩලය හැදින්විය හැකි වේ.

ඒ අනුව මෙලෙසින් වසර මිලියන ගණනක් පෙරුම් පුරමින් සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණය ලෙස මිහිමත ජනිත වූ මෙම මිනිස් ජීවී විශේෂය ආරක්ෂා කිරීම ප්‍රධාන අරමුණ කොටගත් මෙම දැවැන්ත පර්යේෂණයන් හා ව්‍යාපෘතීන්ගේ සාර්ථක අවසානය, නව මානව ශිෂ්ටාචාරයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

ඉන්ද්‍රජිත් අත්තනායක.
විද්‍යා පීඨය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. 

(ප්‍රධාන වශයෙන් Stephan Hawking මහතාගේ අදහස් ඇසුරු කරගෙන සැකසූ ලිපියකි)

No comments :

Post a Comment

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

No comments
අද වන විට ලොව පුරා විවිධ සමාගම් නානාප්‍රකාර රසායනික ක්‍රම භාවිතා කර පානීය ජලය නිෂ්පාදනය කරයි. ඒත් කණගාටුවට කරුණ වන්නේ මේ ක්‍රම වලදී ජලයට හිමි සමහර අද්විතීය ගුණ අභාවයට ලක්වෙන එකයි. ඒ නිසාම අපි හැමදාම බොන සාමාන්‍ය ජලය, අයනීකරණ ක්‍රියාවලියකට ලක් කරලා සාදන “Alkaline Water” වඩාත් සෞඛ්‍යාරක්ෂිත ජල මාදිලියක් විදිහට දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා.

මොනවද ඇත්තටම මේ Alkaline Water කියන්නේ?

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය


සරලවම කිව්වොත් Alkaline water කියන්නේ ක්ෂාරීය ජලය. සාමාන්‍ය ජලය නම් උදාසීනයි. ඒ කියන්නේ pH අගය 7ක් වගේ. නමුත් උල්පත් වලින් පැන නගින ජලය නම් බොහෝ වෙලාවට ස්වභාවිකවම ක්ෂාරීයයි. ක්ෂාරීය ජලයේ pH අගය 9ක් පමණ වේ. තවද කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් හා සෝඩියම් වැනි ක්ෂාරීය අයන වලින් ප‍ොහොසත්. එ්ත් මෙම උල්පත් ජලය ගංගා දිගේ පහළට ගලාගෙන යනකොට ක්ෂාරීය ගුණ නෂ්ට වෙලා ආම්ලිකතාව වැඩි ‍වෙනවා.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය
ඒ නිසා ස්වභාවික ක්ෂාරීය ජලය සොයාගන්න එක නම් ගොඩාක් අමාරු ද‍ෙයක්. එහෙනම් අපි කොහොමද කෘත්‍රිමව ක්ෂාරීය ජලය නිපදවා ගන්නේ? ඒකට භාවිතා කරන්නේ අයනීකාරක යන්ත්‍රයක්. සාමාන්‍ය ජලය මෙම යන්ත්‍රයට ඇතුළු කරලා විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා. මෙහිදී ආම්ලික හා ක්ෂාරීය ලෙසට ජලය ප්‍රවාහ දෙකකට වෙන්වනවා.

මෙම ක්‍රියාවලියේදී සිදු‍ව‍ෙන තවත් අපූරු සිදුවීමක් තමයි micro-clustering හෙවත් ක්ෂුද්‍ර ජල පොකුරු සෑදීම. ජලය කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ H2O. ඔව් ජලයේ රසායනික සූත්‍රය H2O. ඒ වුණත් ලුණු ස්ඵටික ආකාරයටත්, දියමන්ති දැලිස් ආකාරයටත් පවතිනවා වගේ ජලයත් පවතින විශේෂ ආකාරයක් තිබෙනවා. එනම් පොකුරු ලෙස. සාමාන්‍යයෙන් ජලය පවතින්නේ අණු 13-16ක් අතර ප්‍රමාණයකින් වටවී පවතින විශාල ජල පොකුරු විදිහට. micro-clustering වලදී සිදුවන්නේ මේ විශාල ජල පොකුරු, අණු 6කින් පමණ යුත් ක්ෂුද්‍ර ජල පොකුරු බවට පත්වීම. මේ ක්ෂුද්‍ර ජල පොකුරු සෛල හා පටක මගින් අවශෝෂණය කරගැනීමේ හැකියාව සාමාන්‍ය ජලයට වඩා වැඩියි.

Alkaline water අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි නේද? පිරිසිදු කළ ක්ෂාරීය ජලය පානය කිරීම සෞඛ්‍යමත් ජීවිතයකට අවැසි වාසි රැසක් ගෙන ද‍ෙනවා. මේවාට තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ, වියපත්වීම ප්‍රමාද කරයි. සම රැලි වැටීම, හිස කෙස් පැසීම වාගේ අපි කවුරුත් පතන්නේ නැති වියපත්වීමේ ලක්ෂණ පහළ වන්නේ කාබනික අම්ල හා සක්‍රිය ඔක්සිජන් ඇතුළු මුක්ත ඛණ්ඩක මගින් ශරීරයේ පටක වලට හානි කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ කාබනික අම්ල උදාසීන කිරීමටත්, හානිකර මුක්ත ඛණ්ඩක ඉවත් කිරීමටත් ක්ෂාරීය ජලය සමත්.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

වර්තමානයේ අප හුරුවී සිටින මස්, මාළු, පැණි බීම ආදියෙන් පොහොසත් නවීන ආහාර සංස්කෘතිය නිසාම සිරුරට ඇතුළු වන අම්ල ප්‍රමාණය අධිකයි. මෙම අධික ආම්ලිකතාව හමුවේ නිරෝගී පටක විනාශ වී යාමේ ඉඩකඩ වැඩියි. ඒ නිසාවෙන්ම එය මැඩපවත්වන්නට ඝන මේද තට්ටුවක් තැන්පත් කර ගන්නට අපේ සිරුර පෙළඹ‍ෙනවා. මෙහි අත්‍යන්ත ඵලය වන්නේ ශරීරයේ මේද සංචිතය උග්‍ර වෙලා තරබාරු වෙන එක! ක්ෂාරීය ජලය, අතිරික්ත අම්ල උදාසීන කරලා සංචිත වෙලා තිබෙන වැඩිපුර මේදය මුදා හරිමින් ඉහත තත්ව වලින් අපව ආරක්ෂා කරනවා.

එමෙන්ම ඔස්ටියෝපොරෝසිස්, පර්වදාහය හා දියවැඩියාව වැනි රෝග වලට ගොදුරු වීමේ අවදානමත් අවම කරයි. රුධිර පීඩනය යාමනයට හා විෂ හරණයටද ඉවහල් වේ.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

මුළුතැන්ගෙයි කටයුතු වලට ද ක්ෂාරීය ජලය ඉස්තරම්. පිසීමට පැය බාගයකට පමණ කලින් මස්, මාළු හා එළවලු ක්ෂාරීය ජලයේ ගිල්වා තැබීම ඒවායේ ඇති අප්‍රසන්න දුර්ගන්ධයන් දුරුකරලා නියම රසය ඉස්මතු කරවනවා. තවද එළවලු හා පලතුරුවල ස්වභාවික දිදුලන කොළ පැහැයත් රැකදේ. කොටින්ම කිව්වොත් ක්ෂාරීය ජලය ආහාර වල රස ගුණ හා පෙනුම ද ආරක්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරයි.

හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය

කෙසේ වෙතත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැති බව ඔබ අසා ඇති. එපරිදිම ක්ෂාරීය ජලය ද ප්‍රමාණය ඉක්මවා පානය කිරීම ශරීරයේ pH අගය ඕනෑවට වඩා ඉහළ නංවා පරිවෘත්තීය ක්‍රියා සඳහා අහිතකර තත්ව ඇති කරන්න පුළුවන්. ඒ නිසා පුරුද්දක් ලෙස Alkaline Water පානය කරනවා නම් නිරතුරුවම දේහ pH අගය ගැන සැලකිලිමත්වීම නුවණට හුරුය.

සචිනි හෙට්ටිආරච්චි,
කනිෂ්ඨ පර්යේෂණ සහකාර,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.
Benefits of Alkaline Water by Dr Peter. L. Kopko, D.C., and other contributors ඇසුරින් සැකසූ ලිපියකි.
විශේෂ ස්තූතිය - ආචාර්ය මෙතිකා විතානගේ.

No comments :

Post a Comment