මිනිස් ඇස නොගැටුණු මරියානා අගාධ ජීවීන්ගේ වතගොත

ලෝකයේ ගැඹුරුම ස්ථානය පැසිෆික් සයුරේ ඇති මරියානා අගාධය බව ඔබ ආසා ඇති.එය කෙතරම් ගැඹුරු ද යත් එයට හිමාල කඳුවැටිය ඇතුල් කළ ද මුහුදු මට්ටමින් සැතපුමක් පහළින් හිමාල කඳු මුදුන පිහිටයි. එහි ජලය ඇති කරන අධික පීඩනය, හිරු එළිය නොමැතිකම හා අධික සීතල යන ජීවයට නුසුදුසු පාරිසරික තත්ව ඇති නිසා ආන්තික පරිසරවල දිවිගෙවීමට අනුවර්තන ඇති බැක්ටීරියා හැර වෙනත් ජීවීන් කිසිවෙක් නොමැති ලොවක් බව සමහර විද්‍යාඥයන්ගේ ද අදහස විය.නමුත් මෙම හිරු නුදුටු ලොවෙහි අභියෝගවලට අභියෝග කරමින් විවිධ අපූර්ව අනුවර්තන සහිත ජීවීන් වෙසේ.මරියානා අගාධයට මෑත දී සිදුකරන ලද ගවේෂණ චාරිකාවල දී කැමරා කාචයන්ට හසුවී තිබුණේ පෙර නොදුටු විරූ සත්වයන්ය.
ගැඹුරු සයුරේ
දිවිගෙවන ජීවීන්ට ඇති ගැටලු හා ඔවුන් පොදුවේ දක්වන අනුවර්තන කිහිපයක් පළමුව සලකා
බලමු.
සාගර පතුලේ අධික
පීඩනය හා අධික සීතල හේතුවෙන් සෛල පටලවල මේදය ඝනවේ. ඔවුන්ට එය වලක්වා ගැනීමට හැකි
වී ඇත්තේ බොහෝ ජීවීන් මෙන් සංතෘප්ත මේද ප්‍රතිශතය වැඩි ප්‍රතිශතයකින් නොපිහිටා
අසංතෘප්ත මේද ප්‍රතිශතය ස්වභාවිකව වැඩිපුර පිහිටා ඇති බැවිනි.අසංතෘප්ත මේදයේ ද්‍රවාංකය
සංතෘප්ත මේදයට වඩා අඩු බැවින් අඩු උෂ්ණත්වවලදී ද මේදය ද්‍රව ලෙස පවතියි.
තවත් ගැටලුවක් වන්නේ අධි පීඩනය නිසා සෛල ප්‍රෝටීනවල හැඩය වෙනස්
වීමයි.එවිට ප්‍රෝටීනවල කාර්යයන් කිරීමට නොහැකිවේ. මෙය වලකා ගැනීමට මොවුන්ගේ සෛලවල
ට්‍රයිමෙතිල්ඇමයින් N-ඔක්සයිඩ්(TMAO)
යන කාබනික අණු එක්රැස් කරගනියි. TMAO,
ජල අණුවලට තදින් බැඳීම නිසා ජල අණු ප්‍රෝටීන
තුලට තල්ලු වී ඒවා විකෘති කිරීම වළකයි.
නමුත් මෙයට සීමාවක්
ඇත.සතුන් ට්‍රයිමෙතිල්ඇමයින් N-ඔක්සයිඩ්(TMAO)
සෛලවල එකතුවන තරමට සෛලවල ලවණතාව වැඩිවේ.
8200m පමණ ගැඹුරක දී සෛල,
අවට මුහුදු ජලය තරමට ලවණතාවක් සහිත වන
බැවින් මුහුදු ජලය සෛල තුලට ඇතුල් වී සෛල පිපිරවීමට ලක්කළ හැකිය.
එයට සාක්ෂි දරමින්
මරියානා අගාධයේ මත්ස්‍යයකු සොයා ගත් උපරිම ගැඹුර වන්නේ 8145 m කි.එලෙස සොයාගත් මත්ස්‍යයා වන්නේ ගොළුබෙලි
මත්ස්‍යයා(snailfish) යි.
![]() |
snailfish |
අධික ගැඹුර නිසා
හිරු එළීය සාගර පත්ලට ලගා නොවීම ද ගැඹුරු සයුරේ ඇති අභියෝගයකි.හිරු කිරණේ පහස
නොලැබෙන අඩවියක ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේ ද?ප්‍රභාසංස්ලේෂණයට අත්‍යවශ්‍ය සාධකයක් වන හිරුඑළිය
නොමැති නිසා ඇල්ගී හෝ ශාක ගහණයකට මෙම අඳුරු ලොවෙන් ඇරයුමක් නැත.මරියානා අගාධයේ දී
මීට විසඳුම ලෙස සිදුවන්නේ විශේෂිත බැක්ටීරියා මගින් රසායනික සංස්ලේෂණයෙන් ආහාර
නිපදවීමයි.
රසායනික සංස්ලේෂණය
යනු ශක්ති ප්‍රභවය ලෙස අකාබනික රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් අකාබනික රසායනික ද්‍රව්‍යවලින්
කාබනික සංයෝග නිපදවීමයි.මෙය සිදුකරන බැක්ටීරියා හමුවන්නේ අගාධයේ ගිනිකඳු සහිත
පෙදෙසෙනි.එය ආශ්‍රිතව ඛනිජවලින් පොහොසත් උණුසුම් ජල ධාරා නිකුත්වේ. එම ඛනිජ උපයෝගි කරගෙන බැක්ටීරියා මගින් කාබනික
අණු නිපදවයි. අවට ජීවීන් එම බැක්ටීරියා සමඟ සහජීවී සංගම් සාදාගෙන ආහාර හිඟයට
විසඳුමක් ලබා ගෙන තිබේ.
තවත් සමහර ජීවීන්
සාගරයේ ඉහළ ස්ථරවලින් කිඳා බසින මළ ජීවී කොටස් ආහාරයට ගනියි.විලෝපිකතාව ද මරියානා
අගාධයේ දක්නට ඇත.ඒ අයුරට ආහාර ප්‍රශ්නය
මරියානාවේ ජීවීන් විසඳගෙන ඇත.නමුත් මෙහි ජීවීන් කළුවරේ තම එදිනෙදා ජීවිතය ගෙන
යන්නේ කෙසේද?
සමහරක් තමන්ගේ
පහනෙන් එළිය බලති. ඒ සඳහා තම ශරීරයෙන්ම ආලෝකය නිපදවා ගැනීම හෙවත් ජෛව සන්දීප්තිය
යන සංසිද්ධිය භාවිතා වේ. උදා- ලැන්ටන් මත්ස්‍යයා(lanternfish),ඩ්‍රැගන්ෆිෂ්(dragonfish).
![]() | ||
Lanternfish |
![]() |
Dragonfish |
එවන් හැකියාවක්
නැති ස්ටවුට් බ්ලැක්ස්මෙල්ට්(stout blacksmelt) වැනි මසුන්ට ලැබෙන ඉතා කුඩා ආලෝකයක් හෝ ග්‍රහණයට විශාල ඇස් පිහිටා තිබේ.
නමුත් සමහර
ජීවීන් ජීවිතය “එළිය” කරගැනීම අත්හැර වෙනත් සංවේදන දියුණු කරගනිති. උදාහරණයක් ලෙස ට්‍රයිපොඩ්
මසුන්(tripodfish) ගත හැක.මොවුන්ට දිගු වරල් පිහිටයි.
ඒවායේ උපකාරයෙන් මුහුදු පත්ලේ ලැග පොළවෙන් සම්ප්‍රේෂණය වන කම්පන මගින් ගොදුරු
පිළිබඳ තොරතුරු ලබාගනියි.
![]() |
Tripodfish |
මරියානා අගාධයේ
තවත් බොහෝ අමුතු ජීවීන් වෙසේ. ක්ෂුද්‍ර ජීවීන් ගහණය මෙහි අධිකය. එක් කාණ්ඩයක්
වන්නේ ෆොරමිනිෆෙරා යන තනි සෛලික ජීවීන්ය. මොවුන් පියවි ඇසට පෙනෙන තරම් විශාල,
යෝධ ඒකසෛලිකයන්ය.
![]() |
ෆොරමිනිෆෙරාවන් |
ඇම්ෆිපොඩ්(amphipods)
ලෙස හඳුන්වන ක්‍රස්ටේෂියාවන්(crustaceans)
ද මෙහි වෙසේ.මෙම කූනිස්සන් පෙනුමැති සතුන්
සාමාන්‍යයෙන් 3cm පමණ වුව ද මරියානා
අගාධයේ දී හමුවූවන් අඩියකටත් වඩා ලොකු වේ.මෙලෙස හුදකලා පෙදෙස්වල දී කුඩා සතුන්
අතිශයින් විශාල වීම ජයිගැන්ටිසම්(gigantism)
ලෙස හඳුන්වයි.
හැග්ෆිෂ් (Hagfish),
පිං-පොං ගස් ස්පන්ජියන්(ping-pong tree sponge),ජෙලිෆිෂ් වර්ග(benthocodon), ඔසිඩැක්ස් පණුවන්(osedax ) හා කකුළු වර්ග(vent
crab) ආදින් ද මෙහි කටුක ජීවිතයට හුරු වූ
තවත් ජීවීන් කීපවර්ගයකි.
![]() |
benthocodon |
මීට අමතරව, කැමරා කාචයන්ට හසු නොවී මෙම අඳුරු ලොවේ
රහසිගත ජීවිත ගත කරන තවත් බොහෝ ජීවීන් වෙසෙනවා ඇති.
විනුරි ආටිගල
අන්තර්ජාලය ඇසුරින් සැකසූ ලිපියකි
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment