කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?

No comments
කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?


ඔබත් කදුවැටි තරණයට කැමති කෙනෙක් ද?එසේනම් ඔබගේ ශරීර සෞඛ්‍ය පිණිස මෙය කියවීම යෝග්‍ය වේ.
කදුවල දී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවේ.එකක් වන්නේ අධික සුළග නිසා විජලනයට ලක්වීමයි.මෙය වලකා ගැනීමට නිතර ජලය පානය කිරීම සුදුසු වේ.

ඉතා උස් ප්‍රදේශවලදී  ස්වසන අපහසුතා ඇතිවිය හැකිවීම තවත් ගැටලුවකි .මෙයට ප්‍රධාන හේතුව වන්නේ උස්බිම්වලදී අවට වායු පීඩනය අඩුවීමයි.එවිට අපට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීම නිසා එලෙස ස්වසන අපහසුතා ඇතිවේ.

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?



මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2458 (අඩි 8000) පමණ උසකට හෝ ඊට වැඩි උසකට ඉක්මණින් ගිය විටදීය.ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද මීටර් 2524 වන බැවින් මුදුනට ආසන්න වන විට ප්‍රවේශම් විය යුතුය.ලංකාවේ අනෙක් කදු ඉහත මට්ටමට වඩා පහතින් තිබුණ ද ඒවා නැගීම ද ප්‍රවේශමෙන් සිදුකිරීම ඇගට ගුණවේ.


කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
දිය හොල්මන

මෙය සිදුවීමට හේතුව පැහැදිළි කරගැනීමට ඔක්සිජන් ශරීරගත වීම සිදුවන ප්‍රතික්‍රියාව සලකා බලමු.

                                  Hb (aq) + 4O 2 (g) ⇋ Hb(O 2 )4 (aq)

              හිමොග්ලොබින් (aq) +  4 ඔක්සිජන් අණු (g) ⇋ ඔක්සිහිමොග්ලොබින් (aq)

ඉහත ප්‍රතික්‍රියාව සමතුලිත ප්‍රතික්‍රියාවකි.එනම් ප්‍රතික්‍රියකවලින් ප්‍රතිඵල සෑදෙන වේගයට සමාන වේගයකින් ප්‍රතිඵලවලින් ප්‍රතික්‍රියක සෑදේ.මෙම ප්‍රතික්‍රියා ලෙ චැටලියර් මූලධර්මය පිළිපදියි.
ලේ චැටලියර් මූලධර්මය යනු සමතුලිත පද්ධතියක උෂ්ණත්වය නියත තාක් ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයවල ගුණිතයට දරන අනුපාතය නියතබවයි.

ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය  ÷  ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයවල ගුණිතය  =  නියතයකි

මෙම පද්ධතිවලට බාහිර බලපෑමක් ඇති වූ විට පද්ධතිය එම බලපෑම අවම කරගෙන නැවත සමතුලිතතාවයට පත්වේ.
උදා- කුඹුරුවල දී යොදාගන්නා  දිය හොල්මන නම් උපකරණය.මෙහි ඇලවී ඇති බටයට ජලය මගින් බලපෑම් වූ විට(ජලය වැඩි වූ විට) බටය කැරකී එම ජලය ඉවත් කර නැවත මුල් පිහිටුමට පැමිණේ.

             
ඔක්සිජන් හිමොග්ලොබින් හා බැදෙන සමතුලිතතාව සදහා සමතුලිතතාව සලකා බලමු.      

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
      

 මෙහිදී O2 හිමොග්ලොබින් හා බැදී  ඔක්සිහිමොග්ලොබින්  සාදන වේගයට සමානව ඔක්සිහිමොග්ලොබින් බිද වැටී O2 හා හිමොග්ලොබින් සදයි.එබැවින් ඉහත අනුපාතය නියතව පවති.

උස් බිම්වල වායු පීඩනය අඩුය.එවිට පද්ධතියේ O2 වායුවේ පීඩනය අඩුවේ.එනම් ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය අඩු වේ.ඉහත ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය  ÷  ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණවල ගුණිතය යන අනුපාතය වෙනස්වේ (වැඩි වේ).




කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
නමුත් සමතුලිත පද්ධතියක් සදහා යම් උෂ්ණත්වයක දී එම අනුපාතය නියතයක් නිසා පද්ධතිය නැවත එම අනුපාතය ලබෙන අයුරට සැකසේ.එය සිදුවන අයුරු පහත පරිදිය.
O2 වායුවේ පීඩනය අඩු නිසා මෙවිට O2 හිමොග්ලොබින් හා බැදෙන වේගය අඩුවේ (ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩුවේ).නමුත් ඔක්සිහිමොග්ලොබින් බිදවැටී O2 හා හිමොග්ලොබින් සෑදීම ජයටම සිදුවේ.එවිට O2 වායුවේ පීඩනය නැවත වැඩිවී අනුපාතය හරි අගය දක්වා අඩුවේ.




කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?



එහෙත් පටක කරා O2 පරිවහනය කරන ඔක්සිහිමොග්ලොබින් අඩු වීම නිසා ශරීරයට ඔක්සිජන් හිගයක් දැනේ.
 වහාම ක්‍රියාත්මක වන පරිදි ශරීරය මගින් ඔක්සිජන් සැපයුම යථා තත්වයට පත්කිරීමට වේගයෙන් හුස්ම ගැනීම උත්තේජනය කෙරෙයි.එහෙත් බොහෝවිට එයින් ඉල්ලුමට සරිලන සැපයුම ලබාගත නොහැකි වන නිසා ක්ලාන්තය,හිසේ රුදා,අධික තෙහෙට්ටුව ආදි අපහසුතා ඇතිවේ.

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?

නමුත් ඔබ උස්බිමක වෙසෙන පුද්ගලයෙකු නම් ඔබ උත්පත්තියෙන්ම මෙම තත්වයන්ට අනුවර්තනය වූ වාසනාවන්තයෙකු විය හැකිය. කිම ද යත් උස්බිම්වල ස්ථිර පදිංචි කරුවන් පරම්පරා ගණනාවක් තිස්සේ එහි දිවිගෙවීම නිසා ඔවුන් අතර තිබූ ප්‍රයෝජනවත් ජානවලට ප්‍රමුඛතාව ලැබී ඇති බැවිනි.ටිබෙට් ජාතිකයන් ,ඇන්දීස් කදුවල වෙසෙන්නන්,ඉතියෝපියානුවන් ආදි කොට්ඨාසයන්ට ඇති අපූරු අනුවර්තන නිසා උස්බිම්වල ඇති පාරිසරික අභියෝග ඔවුන්ට කෙස් ගහක් තරම්වත් බලපෑම් නොකරයි.

සමහරුන්ට ඇති එක් අනුවර්තනයක් වන්නේ වැඩි හිමොග්ලොබින් සාන්ද්‍රණයක් තිබීමයි.එවිට හිමොග්ලොබින් O2 වායුව සමග වැඩියෙන් බැදී වැඩියෙන් ඔක්සිහිමොග්ලොබින් සදයි.එවිට පටකවලට වැඩියෙන් ඔක්සිජන් ලැබේ. සමහරුන්ට වැඩි ධාරිතාවක් සහිත පෙනහලු පිහිටයි(එයට වගකියන ජාන ඇති නිසා).සමහරුන්ගේ ස්වසන වේගය වැඩිවීම ද වාසි සහගත තත්වයකි.

කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
හිමාල වැසියෙක්

මෙවන් සුපිරි හැකියාවන් ඔබට පිහිටා නැත්නම් අවදානම මගහරවා ගැනීමට, සෙමින් කදු තරණය කර ශරීරයට වෙනස හුරුවීමට කාලය ලබාදෙන්න. මද උස්බිම්වල දිනක් පමණ ගතකර සිරුරට හුරුවක් ලබාදෙන්න.උස්බිම්වලදී ව්‍යායාම ආදි ඇග වෙහෙසන වැඩ මගහැරීම ද අවශ්‍ය වේ.වෛද්‍ය උපදෙස් මත බෙහෙත් භාවිතා කිරීමද සිදුකළ හැකිය.

සමහර මලල ක්‍රීඩකයන් තම දක්ෂතා වැඩිකර ගැනීමට උස්බිම්වලට පැමිණෙන බව ඔබ දන්නවා ද?උස්බිම්වල දී මුහුණ පාන ඔක්සිජන් හිගයට පිළියම ලෙස සිරුරේ හිමොග්ලොබින් සාන්ද්‍රණය වැඩිවේ. නැවත පහත් බිමකට ගියවිට දින කීපයක් යන තුරු එම හිමොග්ලොබින් සාන්ද්‍රණය පවති.ඔවුන්ගේ අරමුණ වන්නේ තම රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය වැඩිකර ගැනීම මගින් ධාවනයේ දී හොද ඔක්සිජන් සැපයුමක් ලබා ගැනීමයි.

අවසන් වශයෙන් කිව යුත්තේ, ඔබ කදු තරණයට යන්නේ නම් සූදානම් ශරීරයෙන් යන්නට කියායි.ඔබට සුබ ගමන්!

(අන්තර්ජාලය ඇසුරින් සැකසූ ලිපියකි)
විනුරි ආටිගල
කණිෂ්ඨ පර්යේෂණ සහකාර,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.



No comments :

Post a Comment