ලොව ප්‍රථම ක්වොන්ටම් චන්ද්‍රිකාවේ වගතුග
![]() |
අද වනවිට තාක්ෂණයෙන් ඉතා දියුණු තත්වයක ඇති අප ලෝකය තුළ, විවිධාකාරයේ තොරතුරු සන්නිවේදන ක්‍රම භාවිතා කරනවා. අතීතයේදී මිනිසුන් භාවිතා කළේ, තැපෑල, ටෙලිග්‍රෑම් වැනි ක්‍රම වුවත්, අදවනවිට “රැහැන් රහිත” දත්ත සම්ප්‍රේෂණ ක්‍රම තමයි මුල්තැන ගෙන තිබෙන්නේ. එහෙත්, එදත් අදත් මිනිසා මෙහිදී මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් වූයේ, දත්ත වල සුරක්ෂිතභාවය පිලිබඳ ගැටළු ඇතිවීමයි. විශේෂයෙන්, රැහැන් රහිත සුලභ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වන “විද්‍යුත් චුම්බක තරංග” ඔස්සේ සිදු කරන තොරතුරු හුවමාරුවේදී ද වෙනත් පිටස්තර පාර්ශවයකට මොනයම් හෝ ක්‍රමයකින්, ඒ දත්ත වලට ප්‍රවේශ වීමේ ඉඩකඩක් තිබෙනවා (Hack කිරීම් වැනි ක්‍රම මඟින්). මෙවැනි තත්ත්වයන්, ලොව බලවත් රටවල් වල සිදුකරන ආරක්ෂක, රාජ්‍ය තාන්ත්‍රික හා විද්‍යාත්මක කටයුතු වලදී විශාල අවදානමක් ඇති කරන බව නොරහසක්. මෙයට පිළියමක්, එනම් Hack Proof දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් නිපදවීමට බොහෝ කාලයක සිට විද්‍යාඥයන් පර්යේෂණ වල නිරත වුණා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස, “ක්වොන්ටම් ටෙලි ප්‍රවාහනය” යන සංකල්පය ඔස්සේ ඔවුන්ගේ පර්යේෂණ දිවුණු අතර, මෙම තාක්ෂණය රැගත් චන්ද්‍රිකාවක් නිපදවීමේ තරඟයක් ලොව බලවත් රටවල් අතර ඇතිවුණා. ඇමරිකාව, රුසියාව වැනි අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් පරදවමින්, පසුගිය දිනෙක චීනය ජය ලැබුවා.. අද අප ඔබට පවසන්නට යන්නේ, මෙම මෙහෙයුම සහ තාක්ෂණයේ පසුබිම පිලිබඳ තොරතුරු බිඳක්.
නූතන
ලෝකයේ දැවැන්තයා වීමට යන ගමනේ තවත් එක් යෝධ පියවරක් තබමින් චීනය ලොව ප්‍රථම “ක්වොන්ටම් චන්ද්‍රිකාව” පසුගිය අගෝස්තු 16 දින සාර්ථකව ගුවන්ගත කළා. වයඹදිග චීනයේ ගෝබි කාන්තාරයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ
දී මෙම 600kg කට ආසන්න බරකින් යුත් මෙම චන්ද්‍රිකාව
ගුවන්ගත කෙරුණු අතර, මෙය නම් කර ඇත්තේ “Micius” ලෙසයි. මෙලෙස එම නම යොදාගෙන තිබෙන්නේ.
“විශ්වීය ආදරය(Universal Love)” පිලිබඳ වූ දර්ශනය ලොවට හෙළිකළ ශ්‍රේෂ්ඨ
චීන දාර්ශනිකයෙකු හා විද්‍යාඥයෙකු වූ Micius සිහිපත් වීම උදෙසායි,
මෙම ලොව ප්‍රථම ක්වොන්ටම් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව, විද්‍යාඥ Pan Jianwei සහ අභ්‍යවකාශ ඉංජිනේරු Wang Jiangu දෙපළ අත්වැල් බැඳ ගත්තේ මීට වසර 8 කට පෙරයි. මෙම චන්ද්‍රිකාව මුලින් හැඳින්වූයේ QUESS (Quantum Experiments at Space Scale) අතර , පසුව QSS ලෙසද හඳුන්වා තිබෙනවා. ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥ Pan පවසන පරිදි, ඔවුන්ට මේ සඳහා සුදුසු නමක් තැබීම ද කලක් තිස්සේ මොළයට වද දුන් කාරණාවක්.
බොහෝ මාධ්‍ය විසින් මෙය “Hack Proof” හෙවත් පරිගණක හකර්වරුන්ට ලඟා වීමට නොහැකි දත්ත හුවමාරු තාක්ෂණයක් ලෙස අරුත් ගැන්වුවද, කිසිවක්ම Hack Proof නොවන තත්ත්වයක් තුළ මේ තාක්ෂනය කෙරේ වන නිවැරදිම විග්‍රහය වන්නේ, “ළඟා වීමට අපහසු” දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් යන්න වන බවයි Fortune සඟරාවේ සඳහන් වෙන්නේ. චීන ක්වොන්ටම් චන්ද්‍රිකාව විසින් සිය දෙවසරක මෙහෙයුම් කාලය තුළදී මෙම “ආරක්‍ෂිත දත්ත සන්නිවේදන ක්‍රමය වර්ධනය කෙරෙනු ඇත්තේ, ආලෝකයට වඩා වැඩි වේගයකින් හා වඩා සුරක්ෂිත වූ පණිවිඩ හුවමාරුවක් ලොව පුරා ඇති කරනු පිණිස බව ෂින්-හුවා පුවත් සේවය සඳහන් කොට තිබෙනවා.
ක්වොන්ටම් කේත ක්‍රමය සම්බන්ධ පළමු පරීක්ෂණය මෙය නොවුණත්, එය අභ්‍යවකාශ මට්ටමට ගෙන ආ පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය, යුරෝපය හා චීනය දැනටමත් භූමි මට්ටමේ සිදු කරන ප්‍රකාශ තන්තු (Fiber Optics) ජාලයන්හි මේ ක්වොන්ටම් කේත ක්‍රමය භාවිතා කරන බවයි සඳහන් වෙන්නේ.
චීනය මේ QUESS ව්‍යාපෘතියට නායකත්වය දුන්නද, ඔස්ට්‍රියාව ද ඔවුන් හා එක්ව ක්‍රියා කරනවා. මේ තාක්ෂනය පිළිබඳ පළමුවෙන්ම අදහස් පළ කළ විද්‍යාඥයා වන Anton Zeilinger 2001 දී යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) ඉදිරිපත් කළ අදහස ඉවත දමා ඇති අතර, අද සිය ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු වූ චීන විද්‍යා ඇකඩමියේ (Chinese Academy of Sciences) විද්‍යාඥ Pan Jianwei විසින් මෙහයවන එම ව්‍යාපෘතියේ සේවය කිරීමට සිදුවී තිබෙනවා. චීනය මූල්‍යමය අතින් ශක්තිමත් වීම සහ චීන අග්‍රාමාත්‍යවරයා විසින් අභ්‍යවකාශ වැඩසටහන් දිරිමත් කිරීම නිසා, මේ ආශ්‍රිතව පර්යේෂණ සිදු කරන ඇමරිකාව, ජපානය සහ යුරෝපය අභිබවා යාමට චීනයට හැකි වුණා. ඒ අතරතුර ම, එක්සත් රාජධානියේ Strathclyde සරසවිය, සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් ද කුඩා චන්ද්‍රිකාවක් ආශ්‍රිත ක්වොන්ටම් තාක්ෂණය පිළිබඳ පර්යේෂණ පවත්වනවා.
කෙසේවුවත්, මෙහි භාවිතා වන තාක්ෂණය (ක්වොන්ටම් ටෙලිප්‍රවාහනය) ඉතාමත් ගැඹුරු විෂය පථයක් ඔස්සේ දිවෙන්නක්. “රූපවාහිනී යන්ත්‍රය සොයා ගැනීමට කලින්, තැනකින් තවත් තැනකට රූප යවන එක සැලකුවේ විස්මිත (මැජික්) දෙයක් විදිහට. ක්වොන්ටම් ටෙලිප්‍රවාහනයත් මැජික් එකක්. එත්, එයත් අනාගතයේදී රූපවාහිනිය මෙන් සරල හා සුලභ දෙයක් වේවි”. විද්‍යාඥ Wang පවසන්නේ එහෙමයි.
මේ තාක්ෂණයේ පදනම වන්නේ, අංශූන් 2 (හෝ වැඩි ගණනක්) “ක්වොන්ටම් පටලැවීමක්” (Quantum entanglement) ලෙස ඒ සියල්ලම එකම අධිස්ථාපන (superposition) අවස්ථාවකට ගැනීම මඟින් ඒ ඒ අංශු සියල්ලේම භෞතික ලක්ෂණ එකිනෙක සහසම්බන්ධිත තත්ත්වයකට ගැනීමයි.
මෙලෙස එකිනෙක “පටලවා” ඇති අංශු 2 කින් ඔබ එක් අංශුවක් අනෙකෙන් ඈතට ගෙන ගියා යැයි සිතන්න.(මෙහිදී ගෙන යන දුර අදාළ නොවේ). ක්වොන්ටම් භෞතිකයට අනුව කෙතරම් ඈතකට ගෙන ගියත්, ඒ අංශූන් දෙක තවදුරටත් ඒ “පටලැවිල්ලේ”ම යි. ඒ කියන්නේ, මෙවිට ඔබ එක් අංශුවකට කරන යම් වෙනසක් අනෙක් අංශුවට ද (කෙතරම් දුරක තැබුවත්) එලෙසම බලපානවා. අයින්ස්ටයින් ගේ කීමට අනුව මෙය “Spooky action at a distance” නොඑසේ නම් “දුරක සිට හොල්මන් කිරීමක්” වගෙයි. මේ චන්ද්‍රිකාව තුළ විශේෂිතව සැකසූ ස්ඵටිකයක් හරහා විදින ලේසර් කදම්භයක් හරහා “පටලවුණු” ෆෝටෝන යුගල නිපදවන යන්ත්‍රයක් තිබෙන අතර, මේ සෑම පටලවුණු යුගල අංශුවක් ම, කි.මී. 1200 ක් පමණ දුරින් ඈතින් ඇති පෘථිවියේ මධ්‍යස්ථාන වෙත එල්ල කෙරෙනවා
ඉන්පසු, මධ්‍යස්ථාන වල සිටින පර්යේෂකයන් හට, ඔවුන්ට ලැබුණු අංශු පද්ධතියට ප්‍රවේශ වීමෙන්, මේ එක් එක් ෆොටෝනයකට කෙරෙනු ලබන ඕනෑම මිනුමක්, එසැණින්ම එහි එම ෆොටෝනයේ විරුද්ධ අංශුව ලැබුණු
අනෙක් මධ්‍යස්ථානයේ ඇති එම අංශුව කෙරෙන දිස් වීමට සැලැස්විය හැකියි.
කෙසේවෙතත්, මෙම තාක්ෂණය හරහා අපගේ සාමාන්‍ය පණිවිඩ ඍජුවම හුවමාරු කිරීමට
හැකියාවක් නැහැ. මෙයින් කළ හැක්කේ පරමාණු අංශූන්හි විවිධ අවස්ථා
පිළිබඳ මූලික තොරතුරු, විශාල දුරවල් ආවරණය වන පරිදි හුවමාරු
කරගැනීම පමණක් වුවත්, මේ හරහා ශක්තිමත් කේත පද්ධතියක් (encryption
tool) සකසාගත
හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. එහෙත්, ක්වොන්ටම් විද්‍යාව භාවිතයෙන් ගොඩනගනු ලබන කෙතයන්ට,”ස්වයං විනාශකාරී” ගුණයක් ලබා දියහැකි අතර, යම්
හෙයකින් මෙම දත්ත හුවමාරුවේ දී තෙවන පාර්ශවයක් මැදිහත් වුවහොත් එම කේතයන් තමන්
විසින්ම විනාශ වනවා. “මෙය සබන් පෙණ බුබුළක් මත ලියූ
පණිවිඩයක් වගේ, ඔබ එය අල්ලන්න. එය පුපුරා යාවි.” Wall Street ජර්නලයට
අදහස් දක්වා ඇති තාක්ෂණයේ ප්‍රවීණයෙක් පවසා ඇත්තේ එලෙසයි.
කෙසේවුවත්, ක්වොන්ටම් සන්නිවේදනය තවමත් පවතින්නේ ළදරු අවදියේ. ඒ වගේම, මේ පිළිබඳ කරන පර්යේෂණ වලටත්, ඉහළ ප්‍රාග්ධනයක් වැය වෙනවා. ඇමරිකාව ට පවා මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට මඟ ඇහිරී ඇත්තේ ඒ නිසා. චීනය, ඒ
ඉහළ ප්‍රාග්ධනය වැය කරමින් සිදුකරන මේ පර්යේෂණ හේතුවෙන්, අනාගතයේ ලෝකයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මහා පෙරළියක් ඇති වනු
නිසැකය.
විදුසර 2016/09/21 දින (29 කාණ්ඩයේ 47 වන) කලාපයේ සහ //www.therussophile.org රුසියානු පුවත් සේවයේ ලිපි ඇසුරෙන්//. {අන්තර්ජාලයෙන්}
සංජු දර්ශන
මීළග මහා පරිමාණ තෙල් ඉහිරුමට අපි සූදානම් ද?
2010 වසරේ මෙක්සිකානු බොක්කේ ඇති ඛනිජ තෙල් නිස්සාරක ළිඳ පිපිරීම නිසා සිදුවූ තෙල් ඉහිරුමෙන් සාගර ජීවීන්ට දැඩි අහිතකර බලපෑම් ඇතිවිය. විශාල ජෛව ප්‍රජාවක් අපට අහිමි වුණු අතර දිවි රැකගත් ජීවීන් ද විවිධ විකෘතිවලට බදුන් විය. තෙල් ඉහිරුම පිරිසිදු කිරීමට යොදාගන්නා ලද රසායනික ද්‍රව්‍ය මගින් සාගර ජීවීන්ට තවත් සෞඛ්‍ය ගැටලු මතුවී තිබේ. එබැවින් මෙවැනි අවාසනාවන්ත තෙල් ඉහිරුම් කාර්යක්ෂමව පිරිසිදු කිරීමේ ක්‍රම පරිසර හිතකාමී ක්‍රම සෙවීමට විද්‍යාඥයන් නැඹුරු විය. ඔවුන්ගේ සාර්ථක නිපැයුම් කිහිපයක් පහත පරිදිය.
1.තෙල් රඳන දැල
මෙම මල නොකන වානේ දැල මතට තෙල් මිශ්‍රිත ජලය දැමූ විට ජලය කාන්දු වී ඉවත් වුව ද තෙල් දැල මත රැඳේ. මෙම නිර්මාණයට අදහස ලබාගෙන ඇත්තේ නෙළුම් කොලයේ ජල විකර්ෂක බවෙනි. නෙළුම් කොලයේ ක්ෂුද්‍ර ගැටිති නිසා එය මතට වැටෙන ජල බිඳු විකර්ෂණය වී පත්‍රය මතින් රෝල් වී යයි. නමුත් විද්‍යාඥයින්ට අවශ්‍ය ජල විකර්ෂක සැකැස්මක් නොවේ. ජල ආකර්ෂක හා තෙල් විකර්ෂක සැකැස්මකි. එබැවින් නෙළුම් කොලය ජලය විකර්ෂණය කිරීමට හේතුව වෙනස් කිරීමෙන් ඔවුන්ගේ අභිප්‍රාය ඉටුකරගෙන තිබේ. විද්‍යාඥයින් ගැටිති අතර පරතරය, ගැටිතිවල ප්‍රමාණය වෙනස් කිරීම හා තෙල් විකර්ෂක ද්‍රව්‍ය යොදා දැල නවීකරණය කර තිබේ.මහා පරිමාණයෙන් මෙම දැල් සාදා දැවැන්ත තෙල් ඉහිරුම්වල දී පරිසරය බේරා ගැනීමට යෙදීම පර්යේෂකයන්ගේ අදහසයි. මෙම දැලෙහි වර්ග අඩියක් සෑදීමට ඩොලරයකටත් වඩා අඩු පිරිවැයක් වැයවන බව නිර්ණය කර තිබේ. එනිසා වැඩි වියදමක් නැතිව සාගර පිරිසිදු කිරීමට තෙල් රඳන දැල් උදවු වේ.
![]() | |
දැල මත තෙල් රැඳී ඇති අතර ජලය පෙරී ඇත |
2.මිල්ක්වීඩ් ශාකයෙන් විසඳුමක්
මිල්ක්වීඩ් වල් පැළෑටියේ බීජ කොපුව ස්වභාවිකවම ජලය විකර්ෂණය කරන අතර අධික ලෙස තෙල් උරාගැනීමට ද සමත්ය.එබැවින් මෙම ශාක කොටස යොදා තෙල් පිරිපහදුවට “මිල්ක් වීඩ් කට්ටල” සාදා තිබේ.මෙම කට්ටල දැනටමත් කැනඩාවේ කුඩා තෙල් ඉහිරුම් පිරිසිදු කිරීමට යොදාගැනේ.
![]() |
විද්‍යාඥයෙක් මිල්ක් වීඩ් කට්ටලයක් අතැතිව |
3. යකඩ නැනෝ අංශු යොදා තෙල් වෙන්කිරීම
ජල විකර්ෂක ගුණ සහිත යකඩ නැනෝ අංශු තෙල් ඉහිරුමට යොදනු ලැබේ.එවිට තෙල් සමඟ පමණක් යකඩ නැනෝ අංශු මිශ්‍ර වේ.ප්‍රබල චුම්බක යොදා ජලයෙන් තෙල් (යකඩ නැනෝ අංශු මිශ්‍රිිත තෙල්) ඉවත් කරගනු ලැබේ. වෙන්කර ගන්නා ලද තෙල් නැවත භාවිතයට ගැනීම සඳහා යකඩ නැනෝ අංශුවල චුම්බක ගුණ උපකාරයෙන් තෙල්වලින් එම අංශු ඉවත් කරනු ලැබේ. මෙලෙස උකහා ගත් තෙල්, තවදුරටත් පිරිපහදු කර නැවත භාවිතයට ගත හැකි වීම නිසා තෙල් පිරිසිදු කිරීමට යන වියදම ද පියවා ගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.
![]() |
චුම්බකවලට යකඩ නැනෝ අංශු මිශ්‍රිත තෙල් ආකර්ෂණය වීම |
4.බෝරෝන් මුසු කළ කාබන් ස්පොන්ජය
මෙය බෝරෝන් සහිත කාබන් නැනෝබටවලින් සමන්විත ජල විකර්ෂක හා තෙල් ආකර්ෂක ගුණ ඇති ස්පොන්ජයකි. ස්පොන්ජය, තම ස්කන්ධය මෙන් 100 ක ස්කන්ධයක් සහිත තෙල් ප්‍රමාණයක් අවශෝෂණයට සමත් වී තිබේ. අවශෝෂණය වූ තෙල් ඉවත් කර නැවත ස්පොන්ජය භාවිතයට ගත හැකිවේ.ඉවත් කළ තෙල් පිරිසිදු කර භාවිතයට ගැනීමට ද හැකිවේ.

5.ජලයෙන් තෙල් පෙරීමට ගුරුත්වයේ උපකාරය
මෙම සියුම් පෙරහන් තාක්ෂණයේදී තෙල් විකර්ෂක නැනෝ අංශු යොදා ඇති බැවින් පෙරහනට තෙල් උරානොගැනේ.තෙල් පෙරහන මත එක්රැස්වේ. පෙරහනේ අඩංගු බහුඅවයවකය ජලය සමඟ හයිඩ්‍රජන් බන්ධන සෑදීම නිසා පෙරහන ජල ආකර්ෂක වේ.උරාගන්නා ලද ජලය ගුරුත්වය යටතේ පහලින් ඉවත් වේ.
![]() |
තෙල් පෙරහන මත රැඳී ඇති අතර ජලය පෙරී බඳුනේ පතුලට ගොස් ඇත |
6.ක්ෂුද්‍ර සබ්මැරීන හමුදාව
මෙම කුඩා තාක්ෂණික මෙවලම්වලට ජලය හරහා යන අතරතුර තෙල් අවශෝෂණය කළ හැකිවේ.තම කාර්යය නිම කළ පසු සබ්මැරීන එක් කරන ස්ථානයට චුම්බක හෝ විද්‍යුත් ක්ෂේත්‍ර මගින් යොමු කළ හැකිවේ.
මෙම ක්ෂුද්‍ර සබ්මැරීන සෑදීමට පාදක වී ඇත්තේ මිනිස් රුධිර සංසරණ පද්ධතිය හරහා ගොස් ඖෂධ ලබාදෙන ක්ෂුද්‍රනාල එන්ජින් වේ. සබ්මැරීනවල චලනය සිදුවන්නේ එහි අඩංගු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයෙන් මුක්ත වන ඔක්සිජන් වායුව මගින් තල්ලුවක් ඇති කිරීම නිසායි.සබ්මැරීන අධි ජල විකර්ෂක හා තෙල් ආකර්ෂක ද්‍රව්‍යයකින් ආවරණය කර ඇති නිසා මග දෙපස තෙල් අංශු උරාගනිමින් ගමනේ යයි.
මෙම සබ්මැරීන මයික්‍රොමීටර් 8 ක් පමණ දිගැතිය.එනම් මිනිස් කෙස් ගසකින් 1/10 තරමේ ඝනකමකින් යුක්ත උපකරණයකි. එබැවින් දැවැන්ත තෙල් ඉහිරුමක් පිරිසිදු කිරීමට අධික සබ්මැරින ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති.නමුත් මෙම ක්‍රමයේ ඇති පරිසර හිතකාමී බව නිසා එවන් කාර්යයක් කිරීම වැදගත් වනු ඇත.
7.ස්වයංක්‍රීය රුවල් බෝට්ටු
මෙහි භාවිිත රැසකි.තෙල් ඉහිරුම් පිරිසිදු කිරීම පමණක් නොව ජලය විකිරණ සඳහා පරීක්ෂා කිරීම මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයෙන් ඉවත් කිරීම ද සිදුකළ හැකිවේ.මිනිසාට ළඟා වීමට අවධානම් ප්‍රදේශවලට ගොස් පිරිසිදු කිරීමේ කටයුතු කිරීමට මෙයට හැකියාව තිබේ.දැනට මෙම යාත්‍රා පාලනය කිරීම වෙරළේ සිට සිදුකළ යුතු වුවත් නව මාදිලිවලට ඊටත් වඩා ස්වාධීන බවක් ලබා දීමට හැකිවනු ඇති.
8.එරොජෙල් ස්පොන්ජය
මිහිපිට ඇති සුපිරිම ස්පොන්ජය මෙයයි.මෙය සාමාන්‍යයෙන් 95-99.5 පමණ කුහරමය වීම නිසා ඉතා විශාල අවශෝෂක හැකියාවක් තිබේ.තෙල්වලින් වැසුණු සතුන් පිරිසිදු කිරීමට, වෙරළ වෙත තෙල් ළගාවීම වැළකීමට මෙම ස්පොන්ජ යෙදිය හැකිය.
![]() |
මෙය ඝනත්වයෙන් ඉතා අඩු නිසා මලක් මත වුවද රැඳවිය හැක |
තෙල් ඉහිරුමකට සාර්ථකව මුහුණ දීමට මෙවැනි ක්‍රමවලින් හැකියාව ලැබේවායි පතමු.නමුත් අශ්වයා පිටවූ පසු ඉස්තාලය වැසීමට වඩා අවශ්‍ය වන්නේ තෙල් ඉහිරුම් සිදුනොවන ලෙසට ආරක්ෂක විධිවිධාන සැකසීමයි.කෙසේ වෙතත් නූතන ලෝකයට ඛනිජ තෙල් නැතිවම බැරි නිසා මෙවන් විපත්ති සිදුවීමේ හැකියාව ද වැඩිය. එබැවින් පෙර සූදානම් කටයුතු දිගටම කිරීම ඇගට ගුණය.
විනුරි ආටිගල
අන්තර්ජාලය ඇසුරින් සකසන ලදි
පෙරලිකාර ජාන තාක්ෂණයේ නවතම සොයාගැනීම, “ඩිසයිනර් දරුවන්”!

මිනිස් ඇස නොගැටුණු මරියානා අගාධ ජීවීන්ගේ වතගොත

ලෝකයේ ගැඹුරුම ස්ථානය පැසිෆික් සයුරේ ඇති මරියානා අගාධය බව ඔබ ආසා ඇති.එය කෙතරම් ගැඹුරු ද යත් එයට හිමාල කඳුවැටිය ඇතුල් කළ ද මුහුදු මට්ටමින් සැතපුමක් පහළින් හිමාල කඳු මුදුන පිහිටයි. එහි ජලය ඇති කරන අධික පීඩනය, හිරු එළිය නොමැතිකම හා අධික සීතල යන ජීවයට නුසුදුසු පාරිසරික තත්ව ඇති නිසා ආන්තික පරිසරවල දිවිගෙවීමට අනුවර්තන ඇති බැක්ටීරියා හැර වෙනත් ජීවීන් කිසිවෙක් නොමැති ලොවක් බව සමහර විද්‍යාඥයන්ගේ ද අදහස විය.නමුත් මෙම හිරු නුදුටු ලොවෙහි අභියෝගවලට අභියෝග කරමින් විවිධ අපූර්ව අනුවර්තන සහිත ජීවීන් වෙසේ.මරියානා අගාධයට මෑත දී සිදුකරන ලද ගවේෂණ චාරිකාවල දී කැමරා කාචයන්ට හසුවී තිබුණේ පෙර නොදුටු විරූ සත්වයන්ය.
කඳු තරණය අපට අපහසු වන්නේ ඇයි ?
![]() |
ඔබත් කදුවැටි තරණයට කැමති කෙනෙක් ද?එසේනම් ඔබගේ ශරීර සෞඛ්‍ය පිණිස මෙය කියවීම යෝග්‍ය වේ.
කදුවල දී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවේ.එකක් වන්නේ අධික සුළග නිසා විජලනයට ලක්වීමයි.මෙය වලකා ගැනීමට නිතර ජලය පානය කිරීම සුදුසු වේ.
ඉතා උස් ප්‍රදේශවලදී ස්වසන අපහසුතා ඇතිවිය හැකිවීම තවත් ගැටලුවකි .මෙයට ප්‍රධාන හේතුව වන්නේ උස්බිම්වලදී අවට වායු පීඩනය අඩුවීමයි.එවිට අපට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීම නිසා එලෙස ස්වසන අපහසුතා ඇතිවේ.
මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2458 (අඩි 8000) පමණ උසකට හෝ ඊට වැඩි උසකට ඉක්මණින් ගිය විටදීය.ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද මීටර් 2524 වන බැවින් මුදුනට ආසන්න වන විට ප්‍රවේශම් විය යුතුය.ලංකාවේ අනෙක් කදු ඉහත මට්ටමට වඩා පහතින් තිබුණ ද ඒවා නැගීම ද ප්‍රවේශමෙන් සිදුකිරීම ඇගට ගුණවේ.
![]() | |
දිය හොල්මන |
මෙය සිදුවීමට හේතුව පැහැදිළි කරගැනීමට ඔක්සිජන් ශරීරගත වීම සිදුවන ප්‍රතික්‍රියාව සලකා බලමු.
Hb (aq) + 4O 2 (g) ⇋ Hb(O 2 )4 (aq)
හිමොග්ලොබින් (aq) + 4 ඔක්සිජන් අණු (g) ⇋ ඔක්සිහිමොග්ලොබින් (aq)
ඉහත ප්‍රතික්‍රියාව සමතුලිත ප්‍රතික්‍රියාවකි.එනම් ප්‍රතික්‍රියකවලින් ප්‍රතිඵල සෑදෙන වේගයට සමාන වේගයකින් ප්‍රතිඵලවලින් ප්‍රතික්‍රියක සෑදේ.මෙම ප්‍රතික්‍රියා ලෙ චැටලියර් මූලධර්මය පිළිපදියි.
ලේ චැටලියර් මූලධර්මය යනු සමතුලිත පද්ධතියක උෂ්ණත්වය නියත තාක් ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයවල ගුණිතයට දරන අනුපාතය නියතබවයි.
ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය ÷ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයවල ගුණිතය = නියතයකි
මෙම පද්ධතිවලට බාහිර බලපෑමක් ඇති වූ විට පද්ධතිය එම බලපෑම අවම කරගෙන නැවත සමතුලිතතාවයට පත්වේ.
උදා- කුඹුරුවල දී යොදාගන්නා දිය හොල්මන නම් උපකරණය.මෙහි ඇලවී ඇති බටයට ජලය මගින් බලපෑම් වූ විට(ජලය වැඩි වූ විට) බටය කැරකී එම ජලය ඉවත් කර නැවත මුල් පිහිටුමට පැමිණේ.
ඔක්සිජන් හිමොග්ලොබින් හා බැදෙන සමතුලිතතාව සදහා සමතුලිතතාව සලකා බලමු.
මෙහිදී O2 හිමොග්ලොබින් හා බැදී ඔක්සිහිමොග්ලොබින් සාදන වේගයට සමානව ඔක්සිහිමොග්ලොබින් බිද වැටී O2 හා හිමොග්ලොබින් සදයි.එබැවින් ඉහත අනුපාතය නියතව පවති.
උස් බිම්වල වායු පීඩනය අඩුය.එවිට පද්ධතියේ O2 වායුවේ පීඩනය අඩුවේ.එනම් ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය අඩු වේ.ඉහත ප්‍රතිඵලවල සාන්ද්‍රණවල ගුණිතය ÷ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණවල ගුණිතය යන අනුපාතය වෙනස්වේ (වැඩි වේ).
O2 වායුවේ පීඩනය අඩු නිසා මෙවිට O2 හිමොග්ලොබින් හා බැදෙන වේගය අඩුවේ (ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩුවේ).නමුත් ඔක්සිහිමොග්ලොබින් බිදවැටී O2 හා හිමොග්ලොබින් සෑදීම ජයටම සිදුවේ.එවිට O2 වායුවේ පීඩනය නැවත වැඩිවී අනුපාතය හරි අගය දක්වා අඩුවේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි ශරීරය මගින් ඔක්සිජන් සැපයුම යථා තත්වයට පත්කිරීමට වේගයෙන් හුස්ම ගැනීම උත්තේජනය කෙරෙයි.එහෙත් බොහෝවිට එයින් ඉල්ලුමට සරිලන සැපයුම ලබාගත නොහැකි වන නිසා ක්ලාන්තය,හිසේ රුදා,අධික තෙහෙට්ටුව ආදි අපහසුතා ඇතිවේ.
නමුත් ඔබ උස්බිමක වෙසෙන පුද්ගලයෙකු නම් ඔබ උත්පත්තියෙන්ම මෙම තත්වයන්ට අනුවර්තනය වූ වාසනාවන්තයෙකු විය හැකිය. කිම ද යත් උස්බිම්වල ස්ථිර පදිංචි කරුවන් පරම්පරා ගණනාවක් තිස්සේ එහි දිවිගෙවීම නිසා ඔවුන් අතර තිබූ ප්‍රයෝජනවත් ජානවලට ප්‍රමුඛතාව ලැබී ඇති බැවිනි.ටිබෙට් ජාතිකයන් ,ඇන්දීස් කදුවල වෙසෙන්නන්,ඉතියෝපියානුවන් ආදි කොට්ඨාසයන්ට ඇති අපූරු අනුවර්තන නිසා උස්බිම්වල ඇති පාරිසරික අභියෝග ඔවුන්ට කෙස් ගහක් තරම්වත් බලපෑම් නොකරයි.
සමහරුන්ට ඇති එක් අනුවර්තනයක් වන්නේ වැඩි හිමොග්ලොබින් සාන්ද්‍රණයක් තිබීමයි.එවිට හිමොග්ලොබින් O2 වායුව සමග වැඩියෙන් බැදී වැඩියෙන් ඔක්සිහිමොග්ලොබින් සදයි.එවිට පටකවලට වැඩියෙන් ඔක්සිජන් ලැබේ. සමහරුන්ට වැඩි ධාරිතාවක් සහිත පෙනහලු පිහිටයි(එයට වගකියන ජාන ඇති නිසා).සමහරුන්ගේ ස්වසන වේගය වැඩිවීම ද වාසි සහගත තත්වයකි.
![]() | |
හිමාල වැසියෙක් |
මෙවන් සුපිරි හැකියාවන් ඔබට පිහිටා නැත්නම් අවදානම මගහරවා ගැනීමට, සෙමින් කදු තරණය කර ශරීරයට වෙනස හුරුවීමට කාලය ලබාදෙන්න. මද උස්බිම්වල දිනක් පමණ ගතකර සිරුරට හුරුවක් ලබාදෙන්න.උස්බිම්වලදී ව්‍යායාම ආදි ඇග වෙහෙසන වැඩ මගහැරීම ද අවශ්‍ය වේ.වෛද්‍ය උපදෙස් මත බෙහෙත් භාවිතා කිරීමද සිදුකළ හැකිය.
සමහර මලල ක්‍රීඩකයන් තම දක්ෂතා වැඩිකර ගැනීමට උස්බිම්වලට පැමිණෙන බව ඔබ දන්නවා ද?උස්බිම්වල දී මුහුණ පාන ඔක්සිජන් හිගයට පිළියම ලෙස සිරුරේ හිමොග්ලොබින් සාන්ද්‍රණය වැඩිවේ. නැවත පහත් බිමකට ගියවිට දින කීපයක් යන තුරු එම හිමොග්ලොබින් සාන්ද්‍රණය පවති.ඔවුන්ගේ අරමුණ වන්නේ තම රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය වැඩිකර ගැනීම මගින් ධාවනයේ දී හොද ඔක්සිජන් සැපයුමක් ලබා ගැනීමයි.
අවසන් වශයෙන් කිව යුත්තේ, ඔබ කදු තරණයට යන්නේ නම් සූදානම් ශරීරයෙන් යන්නට කියායි.ඔබට සුබ ගමන්!
කණිෂ්ඨ පර්යේෂණ සහකාර,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.
බලශක්ති අර්බුදයට විසදුම අතේ දුරින්!
![]() |
අද මුළුමනින්ම පාහේ ඛනිජ තෙල්වලින් දුවන අපේ ලෝකය ඛනිජ තෙල් ඉවර වූ දිනක නැවත ගල් යුගයට/ගොවි යුගයට පත් වනු ඇත් ද? තත්වය එතරම්ම බරපතල නොවනු ඇති. එහෙත් අපට අහිමි වන බොහෝ දෑ සිහිවන විට පියවි සිහිය නැති වන බවක් හැගේ.
මෙවන් අභාග්‍යයක් ඉදිරි පරපුරටවත් සිදුවීම වැළකීමට වර්තමාන විද්‍යාඥයෝ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත ඇහැගහගෙන සිටිති.සූර්යාලෝකය,සුළං බලය හා මුහුදු රළ තරංගවල බලය ආදිය එලෙස අවධානය යොමු වූ තැන් කිහිපයකි.මෙම ප්‍රභවවල ගැටලුවක් වන්නේ දවස පුරා එක ලෙස ශක්තිය සැපයීම සිදුනොවීමයි.
එයට විසදුම ලෙස, අභ්‍යවකාශයට ගොස් පැය 24 පුරා හිතේ හැටියට සූර්ය ශක්තිය ලබාගත හැකි බව විද්වතුන්ට පහළ වූ රටක් වටින අදහසකි. නමුත් එම අදහස අධෛර්යමත් කරන ප්‍රබල බාධාව වූයේ අභ්‍යවකාශයේ දී නිපදවන විදුලියහි ගැබ් වී ඇති ශක්තිය පොළවට සාර්ථකව සම්ප්‍රේෂණය කරන්නේ කෙසේ ද යන්නයි. (අභ්‍යවකාශයේ සිට පොළවට ඉතා දුර නිසා වයර් ඇදීම ප්‍රායෝගික නොවේ නේද?)
ජපන්නු හපන්නු යන කියමන නැවතත් සනාථ කරමින් ජපන් විද්‍යාඥයන් විසින් පසුගියදා සාර්ථකව අභ්‍යවකාශයේ සිට පොළව වෙත ශක්තිය සම්ප්‍රේෂණය කර එය භාවිතයෙන් විදුලිය නිපදවා ඇත.වයර් භාවිතා නොකර සිදුකරන ලද මෙම ශක්ති සම්ප්‍රේෂණය මගින් ශක්ති සම්ප්‍රේෂණය නව මාවතකට යොමු කර ඇත.අභ්‍යවකාශයේ දී ම සූර්යාලෝකය භාවිතා කර විද්‍යුතය නිපදවා එම ශක්තිය පොළවට සම්ප්‍රේෂණය කිරීමේ නැවුම් අදහස ඉදිරියට ගෙන යාමට මෙම අත්හදාබැලීම මහගු පිටුවහලක් වී ඇත.
කාර්යක්ෂමව දුරස්ථ ප්‍රදේශ 2 ක් අතර ශක්තිය සම්ප්‍රේෂණය සදහා ක්ෂුද්‍ර තරංග(micro waves) හෝ ලේසර් භාවිතා කළ හැකි වන අතර මොවුන් භාවිතා කර ඇත්තේ ක්ෂුද්‍ර තරංග වේ.ලේසර්වලට කෙටි තරංග ආයාම ඇති නිසා කුඩා උපාංග යොදාගෙන නිකුත් කිරීම(ප්‍රදානය) හා ලබාගැනීම( ප්‍රතිදානය) කළ හැකිය.කෙටි තරංග ආයාම තිබීමේ අවාසිය වන්නේ වායුගෝලයේ දී විවිධ බාධකවලට හසුවීමයි.ඒවා වලාකුළුවල ජල බිදු හමුවේ විසිරී යාම(ප්‍රකිරණය) හා ඒවාට අවශෝෂණය සිදුවේ.නමුත් ක්ෂුද්‍ර තරංගවලට ඊට සාපේක්ෂව දිගු තරංග ආයාම ඇති බැවින් ඒවා එම බාධකවලට හසුනොවේ. එමෙන්ම එහි ශක්ති පරිවර්තන කාර්යක්ෂමතාව ද ඉහළය. එවිට අභ්‍යවකාශයේ දී සූර්ය ශක්තිය මගින් ක්ෂුද්‍ර තරංග නිපදවීම හා පොළවේ දී ක්ෂුද්‍ර තරංගවල ශක්තිය යොදා විදුලිය නිපදවීම යන පරිවර්තන කාර්යක්ෂමව කළ හැකිය.
ජපන් ජාතිකයන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අයුරු විමසමු.ඉතා විශාල කණ්ණාඩි 2ක් හා සූර්ය කෝෂ සහිත චන්ද්‍රිකා අභ්‍යකාශගත කර කණ්ණාඩි 2 මගින් සූර්යාලෝකය සූර්ය කෝෂ වෙත දිශානත කෙරේ. සූර්ය කෝෂ මගින් තමා වෙත ලැබෙන ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනු ලැබේ. ඉන්පසු පොළවට සම්ප්‍රේෂණය සදහා විද්‍යුත් ශක්තියෙන් ක්ෂුද්‍ර තරංග නිපදවනු ලැබේ.චන්ද්‍රිකාවේ ඇන්ටනා මගින් ක්ෂුද්‍ර තරංග පෘථිවියේ ඍජුකාරක ඇන්ටෙනා වෙත ඉලක්ක කර එවනු ලැබේ. ඍජුකාරක ඇන්ටෙනා මගින් නැවත ක්ෂුද්‍ර තරංග විද්‍යුතය බවට පරිවර්තනය කෙරේ.
සමහරවිට ඔබට ක්ෂුද්‍ර තරංග පෘථිවියට ඉලක්ක කිරීම ජීවීන්ගේ සෞඛ්‍යයට අහිතකර වන්නක් යැයි සිතෙන්නට පුළුවනි.සූක්ෂම තරංග උදුන(microwave)ක් තුළ ජීවත්වීමට සිදුවේ යැයි ද සිතෙන්නට ඉඩ ඇත.නමුත් මෙහි තීව්‍රතාවය චොකලට් දිය කිරීමටවත් ප්‍රමාණවත් නොවේ.කෙසේ වෙතත් පොළවේ ඇන්ටනා පිහිටි පෙදෙසට ඇතුල් වන්නන්හට ආරක්ෂක ආවරණ පැළදීම නියමිත කෙරේ.
දැනට කළ අත්හදාබැලිමේ දී JAXA ආයතනය 55 m දුරකට කිලෝවොට් 1.8 ක ශක්තියක් සම්ප්‍රේෂණය කර ඇත. 36,000 km ඉහළ අහසේ පිහිටි භූස්ථාවර කක්ෂයේ සිට පොළවට ශක්තිය සම්ප්‍රේෂණය කිරීම ඔවුන්ගේ අවසාන අරමුණයි.
එවිට සූර්යාලෝකය පැය 24 පුරාම ලබාගත හැකිවීම නිසා ස්වභාවික සම්පත් සීමිත වීමෙන් ඇතිවන බලශක්ති අර්බුදයට සාර්ථක විසදුමක් ලැබේ.මෙම නව බලශක්ති ප්‍රභවය පරිසර හිතකාමි හා පුනර්ජනනීය වීම නිසා අපගේ පාරිසරික ගැටලු ද මගහරවා ගත හැකිවේ.භූස්ථාවර කක්ෂයේ කක්ෂගත කළ සූර්ය කෝෂ රැගත් චන්ද්‍රිකාවලින් සපිරි අනාගතයක දී අපට පෘථිවියත් නිරෝගිව තබාගනිමින් අපරිමිත ශක්ති ප්‍රමාණයක් ලබාගත හැකිවේවි!
අන්තර්ජාලය ඇසුරින් සැකසූ ලිපියකි
සැකසුම - විනුරි ආටිගල
Subscribe to:
Posts
(
Atom
)
1 comment :
Post a Comment