බටහිර විද්‍යාඥයින් අතින් සිදුවූ ඵෙතිහාසික වරදක් නිවැරදි කිරීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් සමත්වේ

No comments

BioFilmBioFertilizer-blog-post



බටහිර විද්‍යාවේ දියුණුවත් සමග විද්‍යාඥයින්ගේ ප්‍රයන්තය වූයේ ශාක වර්ධනයට අවශ්‍ය පෝෂ පදාර්ථ කෘතිමව සැපයීම මගින් අස්වැන්න වැඩිකරගැනීමේ ක්‍රම හදුනාගැනීමයි. එහි ප්‍රතිඵල ලෙස නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් අඩංගු කෘතිම රසායනික පොහොර නිශ්පාදනය ඇරබුණි. කෘතිම රසායනික පොහොර යෙදීම ආරම්භයත් සමගම කෘෂි බෝග වල අස්වැන්න වැඩිවූ නිසා බටහිරින් ඇරබි කෘතිම රසායනික පොහොර භාවිතය සමස්ථ පෙරදිග සහ අපරදිග රටවල් වල සීඝ්‍රයන් විය්‍යාප්ත විය. නමුත් නව සහශ්‍රයේ ආරම්භයත් සමග ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රටවල සීඝ්‍රයන් ව්‍යාප්ත වූ කෘෂිකාර්මික වකුගඩු රෝගය වැනි  ලෙඩ රෝග, පරිසර විනාශය, ජෛවවිවිධත්වය අඩු වීම, පරිසර උෂ්ණත්වය ඉහල යෑම වැනි ප්‍රශ්න නිසා කෘතිම රසායනික පොහොර නිශ්පාදනය ඇරබි බටහිර රටවල්ම අද වන විට කෘතිම රසායනික පොහොර භාවිතය සීමාකිරීමට උත්සුකවී ඇත. වර්තමානයේ විද්‍යාඥයින්ගේ මතය වන්නේ පරිසර පද්ධතිවල සංකීර්ණ ක්‍රියාවලි අවබෝධකර නොගෙන මෙසේ කෘතිම රසායනික පොහොර භාවිතය මගින් පරිසර පද්ධතිවල ජෛවවිවිධත්වය බිද වැටීම ඉහත ගැටලු වලට ප්‍රධාන හේතුව බවයි.

පරිසර පද්ධතියක ක්‍රියාකාරීක්වය ස්භාවික සංතුලනයකි.පරිසර පද්ධතියක වෙසෙන ශාක ප්‍රජාව, සත්ව ප්‍රජාව සහ ක්ෂද්‍ර ජීවි ප්‍රජාව එම පරිසරයේ තිරසාරබව පාලනය කරයි. ස්භාවික වනාන්තර සෑදීමේ ඉංජිනේරුවන් වන්නේ ශාක භක්ෂක කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන්ය. පරිසර පද්ධතියේ  ශාක, සත්ව හෝ ක්ෂද්‍ර ජීවි ප්‍රජාව අප විසින් කෘතිම වෙනස් කිරීමේදී පරිසර පද්ධතියේ සංතුලනය බිද වැටී පරිසරය විනාශ වේ. උදාහරනයක් ලෙස ස්භාවික වනාන්තරයක් ගනිමු. වනාන්තර වල තිබෙන මව් ශාක, බීජ විශාල ගණනක් ව්‍යාප්ත කලද ඒවායෙන් ප්‍රරෝහණය වන්නේ ස්වල්පයක් පමණි. ඉතිරි බීජ, ශාක භක්ෂක කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් භක්ෂණය කරනු ලැබේ.එමගින් එක් ශාක වර්ගයකට පමනක් අනෙකුත් ශාක අභිබවා ප්‍රරෝහණයට ඉඩ නොදී පරිසර සංතුලනය ආරක්ෂා කරයි. තවද වනාන්තරයේ වෙසෙන ශාක භක්ෂක කෘමීන්ගේ බෝවීම අනෙකුත් කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් පාලනය කරන අතර සතුන් අතරද සංතුලනය යාමණය වේ. වනාන්තරයෙන් ඉහත කී කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් ඉවත් කලහොත් ශාක වල හා සතුන් තුල එම සංතුලනය නැති වී ජෛවවිවිධත්වය බිද වැටේ. වගා කටයුතු වලදී සිදු වන්නේ ශාක සියල්ල ඉවත් කර එක් බෝගයක් පමණක් ප්‍රරෝහණයයි. වගාවට රසායනික පොහොර යෙදීමේදි කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් විශාල ප්‍රමානයක් මියයන අතර ඉතිරි වූ ශාක භක්ෂක කෘමීන් පාලනයට උපකාරී වන කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් නොමැති නිසා සහ එම කෘමීන් හට ආහාර ලෙස ඇත්තේ එම බෝගය පමනක් නිසා කෘමීන් එය ආහාරයට ගෙන සීඝ්‍රයන් ව්‍යාප්ත වේ. එවිට ගොවියන් එම කෘමීන් පළිබෝධකයන් ලෙස හදුන්වන අතර ඔවුන් පාලනයට කෘමි නාශක ඉසිනු ලැබේ. එමගින් තවදුරටත් වනාන්තර සෑදීමේ ඉංජිනේරුවන් බදු කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් විනාශවේ. 

මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා නව සංකල්පයක් ලොවට හදුන්වාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ පරිසර පද්ධතියක තිරසාර බව පාලනය කරන්නේ එම පරිසර පද්ධතියේ වෙසෙන ක්ෂද්‍ර ජිවීන්ගේ රසායනික සංඥා හුවමාරුව මගින් බවයි.පරිසර පද්ධතියක ශාක, සතුන් සහ පස තුල ක්ෂද්‍ර ජීවීන් ජීවත්වේ. ඔවුන් අතර සිදුවන රසායනික සංඥා හුවමාරුව මගින් ප්‍රභාසංශ්ලේෂණය, පසේ නයිට්‍රජන් තිරකිරීම, පසේ කාබනික ද්‍රව්‍යය ගොඩනැගීම, ශාක වර්ධක හෝර්මෝන නිපදවීම වැනි පරිසර පද්ධතියක වැදගත් ක්‍රියාවලි යාමනය කරනුලැබේ. මහාචාර්යතුමාගේ මෙම මතය අන්තර්ජාතික පර්යේෂණ සඟරාවක් වන Agriculture, Ecosystems and Environment  හි මෙම වර්ෂයේ දෙසැම්බර් කලාපයේ පලවීමට නියමිතයි. මහාචාර්යතුමාගේ මතය අනුව කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන කෘතිම රසායනික පොහොර හා පළිබෝද නාශක මගින් පසේ වෙසෙන ක්ෂද්‍ර ජීවීන්ගේ රසායනික සංඥා හුවමාරුව  අඩපන කරන අතර එවිට ක්ෂද්‍ර ජීවීන්ගේ මගින් පසේ නයිට්‍රජන් තිරකිරීම අඩුවේ , ශාක වල මූල වර්ධනය අඩුවේ. පසේ කාබනික ද්‍රව්‍යය ගොඩනැගීම අඩුවේ, එමනිසා පසේ ජලය රදාපැවතීම අඩුවේ. මෙසේ පස නිසරු වීම නිසා කෘෂි බෝග වලින් ලැබෙන අස්වැන්න අඩුවේ.  අස්වැන්න අඩුවන විට ගොවියන් තව තවත් කෘතිම රසායනික පොහොර යොදන අතර එමගින් ඉහත විෂම චක්‍රය තවත් ඉක්මන් වේ.

මෙම විෂම චක්‍රය බිද දමා නැවන ගිලිහි ගිය පරිසර සමතුලිතතාවය ඇති කරග හැකිවන්නේ කෙසේද? මහාචාර්ය තුමාට අනුව මෙම ගැටළුවට එකම විසදුම මිනිසා විසින් විනාශ කල පාංශු ක්ෂද්‍රජීවි විවිධත්වය නැවත ඇති කිරීමයි. වසර 10 කට අධික කාලයක් මේ පිළිබද පර්යේෂණ සිදු කල ඔහු ඇතුලු ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමට ලොව ප්‍රථම වරට එම ක්‍රමය හදුනාගැනීමට හැකිවිය.එම සොයාගැනීමත් අහඹු සිදුවීමකි. මහාචාර්ය තුමාගේ පළමු ආචාර්ය උපාධි අපේක්ෂිත සිසුවිය පසේ නයිට්‍රජන් තිරකරන රයිසෝබියම් බැක්ටීරියාව පිළිබද පර්යේෂනයක් සිදු කිරීම සදහා රයිසෝබියම් බැක්ටීරියාවේ හුදු රෝපිතයක් (Pure Culture) සෑදීමේ සෑම අවස්ථාවකදීම රයිසෝබියම් බැක්ටීරියාව සමග එකට වර්ධනය වන දිලීරයක් නිරීක්ෂණය කර ඇත. පසුව එම මිශ්‍ර රෝපිතය ද්‍රව මාධ්‍යයක වගා කර ඇත. බලාපොරොත්තු වු අයුරින්ම එම බැක්ටීරියාව දිලීර සූත්‍රිකා වලට ඇලී වර්ධනයවී තිබෙනු දක්නට ලැබී ඇත. මෙවැනි ස්භාවික ක්ෂද්‍රජීවින්ගේ සංයෝගයක් හදුන්වන විද්‍යාත්මක නාමය ජෛව පටල ( Biofilm) වේ. ජීවී හෝ අජීවි පෘෂ්ඨයක් මත සෑදෙන ක්ෂද්‍ර ජීවී ප්‍රජාවක් ජෛව පටලයක් ලෙස අර්ථ නිරූපනයවේ.

BioFilmBioFertilizer-blog-post
A developed Fungal-Bacterial Biofilm, Penicillium-Bradyrhizobium (Seneviratne and Jayasinghearachchi

 මෙම ජෛව පටල මුලින්ම හදුනාගෙන ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ විවිධ බැක්ටීරියා ආසාධන වලට හේතුවක් ලෙසටය. මහාචාර්යතුමාට අනුව හිතකර  ක්ෂද්‍රජීවින් එකතුවී පරිසරයට උපකාරී ජෛව පටල සාදන අතර ව්‍යාධීජනක ක්ෂද්‍රජීවින් එකතුවී අහිතකර ජෛව පටල සාදයි. මුළුතැන්ගේ ඉවතලන ජලය විසිකරන කානුවේ තිබෙන ගනකම් සෙවල තට්ටුව සහ ළිං ආශ්‍රිතව ඇති දියසෙවල ස්භාවික ජෛව පටල වලට උදාහරණ වේ. ජෛව පටලවල ක්ෂද්‍රජීවින් අධ්‍යයනය සාම්ප්‍රදායික ක්ෂද්‍රජීව විද්‍යාවෙන් වෙනස් වන්නේ හුදු රෝපිත ( Pure Cultures) වෙනුවට මිශ්‍ර රෝපිත ( Mixed Cultures) භාවිතයයි. ජෛව පටලයක් සෑදුන පසු එහි ඇති එක් එක් ක්ෂද්‍රජීවින් වර්ගවලට පෙර නොතිබූ විශේෂිත වූ ජාන ප්‍රකාශනයක්, කායික විද්‍යාවක් සහ ක්‍රියාකාරීත්වයක් ජෛව පටලයට ලැබේ. දිලීර සහ බැක්ටීරියා වෙන වෙනම ශ්‍රාවය කරනවාට වඩා වෙනස් වූ රසායනික සංයෝග ඒවා එක්වී සෑදෙන ජෛව පටල මගින් නිපදවයි. ජෛව පටල මගින් මෙසේ නිදහස් කරන සෑම සංයෝගයක්ම පාරිසරික වැදගත්කමක් උහුලයි.එම සංයෝග මගින් පස තුල තැන්පත්වී ඇති ක්ෂද්‍ර ජීවීන්ගේ අක්‍රීය බීජානු නැවත සක්‍රීය කරයි. එම සක්‍රීයවූ ක්ෂද්‍ර ජීවීන් කාබනික අපද්‍රව්‍ය ජීර්ණය කර පසට පෝෂක සෙමින් නිදහස් කරයි , පසේ නයිට්‍රජන් තිරකිරීම වැඩි කරයි , ශාක වල වර්ධනය වැඩිකරයි. පසේ ජලය රදාපැවතීම වැඩිකරයි. මුලු පරිසර පද්ධතියේම තිරසාර පැවත්ම තහවුරු කරයි.
BioFilmBioFertilizer-blog-post


මහාචාර්යතුමාගේ නව සංකල්පය මත ක්‍රියාත්මක වූ ඔහු ඇතුලු ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමට ලොව ප්‍රථම ජෛව පටල ජෛව පොහොර වර්ගය (Biofilm Biofertilizer) නිපදවීමට හැකිවිය. ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ සහයෝගයෙන් තේවගාව පදහා ප්‍රතමයෙන්ම නිපදවූ එම පොහෙර වර්ගය Biofilm T ලෙස හැදින්වෙන අතර එහි පේටන්ට් බලපත්‍රය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතාට සහ පර්යේෂණ මහාචාර්ය එස්. ඒ.කුලසේකර මහතා සතුය. Biofilm T යනු කෘත්‍රීම හෝ කාබනික පොහෙරෙක් නොව තේ වගාවට හිතකර ක්ෂද්‍රජීවින් සමූහයකින් සෑදූ ජෛව පොහොරකි.දැනට කදුකරයේ තේ වගාවතුල දැඩි උන්නදුවකින් භාවිතා කරන මෙම Biofilm T ජෛව පටල ජෛව පොහොර වර්ගය නිසා ගොවියන්ට ලැබී ඇති වාසි අපමණය. තේ වලට අමතරව වී වගාව, එළවලු වගාව සහ බඩ ඉරිගු වගාව සදහාද Biofilm R, Biofilm Veg ,සහ Biofilm M ලෙස ජෛව පටල ජෛව පොහොර වර්ග ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් නිපදවා ඇත. ජෛව පටල ජෛව පොහොර යෙදූවිට මෙතෙක් කල්  වගාවට යෙදූ රසායනික පොහොර නිසා විනාශ වී ගිය පස නැවත ප්‍රකෘති තත්වයට පත්කරයි. හිතකර ක්ෂද්‍රජීවින්ගේ ක්‍රියාකාරීත්වය වැඩිකර එම ක්ෂද්‍ර ජිවීන්ගේ රසායනික සංඥා හුවමාරුව මගින් ක්ෂද්‍ර ජීවීන් කාබනික අපද්‍රව්‍ය ජීර්ණය කර පසට පෝෂක සෙමින් නිදහස් කරයි , පසේ පසේ නයිට්‍රජන් තිරකිරීම වැඩි කරයි , ශාක වල වර්ධනය වැඩිකරයි. පසේ ජලය රදාපැවතීම වැඩිකරයි. මුලු පරිසර පද්ධතියේම තිරසාර පැවත්ම තහවුරු කරයි.

BioFilmBioFertilizer-blog-post

ජෛව පටල ජෛව පොහොර වර්ගය භාවිතය මගින් රසායනික පොහොර භාවිතය 50% කින් පමණ අඩුකර ඇත.මේ සියල්ලම නිසා තේ ,ලීක්ස් වැනි බෝග වල අස්වැන්න 20% - 30% පමණ  වැඩිවෙන අතර එම භෝග වල රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවද වැඩිකරයි. දළ ගණනය කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ මුලු තේ වගාවටම ජෛව පටල ජෛව පොහොර භාවිතා කලහොත් රූපියල් මිලියන 50 ක් පමණ වියදම ඉතිරිකරගත හැකිවේ. තවද අස්වැන්නද වැඩිවන නිසා ගොවීන්ට ලැබෙන ආදායමද වැඩිවේ.

 
BioFilmBioFertilizer-blog-post


හෙක්ටයාරයකට වැඩිපුරම කෘෂි රසායනික යොදන සහ ලෝකයේ 8 වැනි හෙක්ටයාරයකට වැඩිම කෘෂි රසායනික පොහොර යොදන රට වන ශ්‍රී ලංකාවට මෙම භයානක උවදුරෙන්  මිදීමට පහසුම හා හිතකරම ක්‍රමය මෙයයි. තවද අක්‍රීය වී ඇති ක්ෂද්‍ර ජීවීන් නැවත සක්‍රීයවීම මෙන්ම පසේ ඇති සියලුම වල් බීජ ප්‍රරෝහණය වන අතර එම වල් මර්ධනයට වරක් වල් නාශක යෙදූපසු පසේ මුලු වල් බීජ බැංකුවම විනාශ වන නිසා නැවත වරින් වර වල් නාශක යෙදීමේ වාර ගනන අඩුවේ. 

ජෛව පටල ජෛව පොහොර වල තවත් වාසියක් වන්නේ අඩු පොහොර ප්‍රමාණයකින් වැඩි හෙක්ටයාර ප්‍රමාණයක් ආවරණය කලහැකි වීමයි. තේ වගාවට අක්කරයකට කාබනික පොහෙරෙ මෙට්රික් ටොන් 3 ක් වත් යෙදිය යුතු උවත් තේ හෙක්ටයාරයකට ජෛව පටල ජෛව පොහොර යෙදිය යුත්තේ මිළි ලීටර් 500ක කුඩා බෝතලයක් පමනි. එමගින් ගොවියන්ට ඉතිරිවන මුදල සහ කාලය ඉතා විශාලය. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අවසරය මත දැනට ජෛව පටල ජෛව පොහොර වාණිජමය මට්ටමින් නිශ්පාදනය ආරම්භකර ඇති අතර ආරම්භක රෝපිතය තිපදවීම සහ අවසන් නිශ්පාදනයේ තත්ව පරීක්ෂාව සිදුකිරීම ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් සිදුකරයි. 

මහාචාර්ය තුමාට අනුව බටහිර විද්‍යාඥයින්ගේ නොදැනුවත්කම නිසා සිදුවූ ඵෛතිහාසික වරදක්වූ කෘතිම රසායනික පොහොර භාවිතය නිසා පරිසර පද්ධතිවල වැදගත්ම අංගයවූ ක්ෂද්‍ර ජීවි ජෛවවිවිධත්වය  විනාශවීම නිවැරදි කිරීමේ ක්‍රමය වන්නේ ජෛව පටල ජෛව පොහොර භාවිතයයි. වර්තමානය වන විට රජය ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායනික තහනම් කරමින් කෘෂිකාර්මික වකුගඩු රෝගය මැඩලීම ආරම්භ කලද ප්‍රායෝගික ප්‍රශ්නය වූයේ එවැනි අහිතකර කෘෂි රසායනික වෙනුවට භාවිතා කල හැකි සාර්ථක පොහොර වර්ගයන් සහ කෘමිනාශක වර්ග නොතිබීමයි.  නමුත් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ලෝකයේ ප්‍රතම වරට එම අභියෝගය සාර්ථකව ජයගැනීමට සමත්වී ඇත. එය මහා පරිමාණයෙන් අප රට තුල භාවිතය ආරම්භකර කෘෂිකර්මාන්තයේ අනිසි භාවිතයන් නිසා දරුණු ලෙස පීඩා විදින ශාක,සත්ව සහ මිනිස් ප්‍රජාව රැකගැනීම නිසි බළධාරීන්ගේ යුතුකම සහ වගකීමයි.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා සමඟ සාකච්ඡා කර සැකසූ ලිපියකි.

ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍යය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති අංශය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.

මෙම ළිපිය 2015 ජූනි මස 15 විදුසර විද්‍යා සඟරාවේද පළවිය.

No comments :

Post a Comment