ශ්‍රී ලංකාවේ කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ
ශ්‍රී ලංකාව වනාහි ලෝකයේ කුඩා රාජ්‍යයයන් වලින් එකක් වුවද ජෛවවිවිධත්වය අතින් ලෝකයේ ඉහළින්ම සිටිනා රාජ්‍යයකි.එම නිසාම අප දිවයින ජ්‍යාතන්තර ජෛවවිවිධත්ව මර්මස්ථානයක් බවට අන්තර්ජාතික ලෙස පිළිගෙන ඇත. කුඩා දිවයිනක් වුවද විවිධ කාලගුණික තත්වයන් සහ භූවිද්‍යාත්මක වෙනස්කම් නිසා ලංකාව තුල ජීවී විශේෂ වල විවිධත්වය ඉතා අධිකය. මෙම පරිසර පද්ධති වල විවිධත්වය නිසා ශ්‍රී ලංකාව අධික ජාන විවිධත්වක් සහිත වාසස්ථාන වල මර්මස්ථානයක් ලෙස වටිනාකමක් අත්පත් කරගෙන ඇත.
මකුළුවන් වනාහි පාද 8ක් සහ දළයුඟලක් ( fangs ) සහිත සන්ධිපාදිකයන්ය. ඔවුන් කොදු ඇට පේලියක් රහිත ජීවීන් ගනයට වැටෙන අතර විවිධ වාසස්ථාන වල ජීවත්වේ. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පාරිසරික විද්‍යා සහ පාරිසරික ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා අලුතින් රැස්කරගත් භෞතික සාධක මගින් ශ්‍රී ලංකාවේ වෙසෙන Myrmarachne ගණයට අයත් නාමමාත්‍රකුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ සියල්ල ලක්ෂණ සහිතව විස්තර කිරීමට සහ තවත් මකුළු විශේෂ කිහිපයක් අලුතින් හදුනාගැනීමට සමත්වී ඇත. ඔහුගේ මෙම සොයාගැනීම් අන්තර් ජාතික පර්යේෂණ සඟරාවක් වන Journal of Natural History හි මෙම වර්ෂයේ මැයි කළාපයේ පලවී ඇත. එම පර්යේෂණ පත්‍රිකාවේ වැදගත් අංගයක් වන්නේ සාම්ප්‍රදායික ලෙස භෞතික ලක්ෂණ වචනයෙන් විස්තර කරනවා වෙනුවට එම මකුළුවන්ගේ ඡායාරූප යොදාගනිමින් එක් එක් මකුළු විශේෂයන්ට ආවේනික ලක්ෂණ විස්තර කිරීමයි.
පැන පැන යන මකුළු පවුලේ (Salticidae) වැඩිම ජීවී විශේෂ ගණනක් සිටින ගණය (genus) ලෙස Myrmarachne හෙවත්කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවන් හැදින්වේ. ඔවුන් තම ඉදිරි පාද සොලවමින් කුහුඹුවන්ගේ ස්පර්ශේන්ද්‍රයන් (antennae.) අනුකරනය කරනුලැබේ. නමුත් එම මකුළුවන් කුහුඹුවන් සමග ස්පර්ෂ වීමෙන් සෑම විටම වැලකි සිටී. සමහර මකුලු විශේෂ සෑම අතින්ම කුහුඹුවන්ට සමානකම් දක්වයි. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද Myrmarachne හෙවත්කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවන් ගැන සිදුකර ඇති පර්යේෂණ ඉතා අල්පය. මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතාගේ අධ්‍යයන වලින් පසුව එවැනි මකුලු විශේෂ 12 ක් පැහැදිලිව හදුනාගෙන ඇති අතර ඉන් 6 ක්ම ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ වේ. Myrmarachne aurantiaca ,Myrmarachne dishani සහ Myrmarachne morningside යනු මහාචාර්යතුමා අලුතින් හදුනාගත් කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ 3 කි.
![]() |
Myrmarachne aurantiaca |
මෙම මකුළු විශේෂය දේහ ප්‍රමාණයෙන්, පැතලි මතුපිට පෘෂ්ඨයෙන් සහ තැබිලි රතු පැහැ උඩු කබලෙන් (carapace) අනෙකුත් මකුළු විශේෂ වලින් වෙන්කර හදුනාගත හැකිය.ඔවුන්ට Myrmarachne aurantiaca යන නාමය ලැබී ඇත්තේද මෙම රතුපැහැ උඩු කබල නිසාය.
Myrmarachne dishani යනු මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා නැගෙනහිර සිංහරාජ වනාන්තරයෙන් හදුනාගත් නව කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂයකි. මෙම නව මකුළු විශේෂය එතුමාගේ බිරිඳ වන දිශානි පි. බෙන්ජමින් නමින් නම්කර ඇත. සිලින්ඩරාකාර උඩු කබල මොහුගේ විශේෂ ලක්ෂණයකි.එම මකුලු විශේෂයේ ඇති උඩු කබලේ ඇති සුදු පැහැති ඉරි ඉතා දර්ශීයවේ.
![]() |
Myrmarachne dishani |
Myrmarachne morningside යනු මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා නැගෙනහිර සිංහරාජ වනාන්තරයෙන් හදුනාගත් තවත් නව කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂයකි. මෙම මකුළු විශේෂය Myrmarachne spissa නම් වෙනත් කුහුඹුවන් වැනි මකුළු විශේෂයකට සමාන වන අතර පිරිමි සතුන්ගේ ප්‍රජනන ඉන්ද්‍රියන් වල රවුම් හැඩති ප්‍රදේශ සහ හිසෙහි පිටිපස පෙදෙසේ දිලිසෙන ස්භාවය මගින් වෙන්කර හදුනාගක හැකිය. මෙම කුහුඹුවන් වැනි මකුලු විශේෂය ශ්‍රී ලංකාවට ඒකදේශික වන අතර ගිලීමලේ වනාන්තර ප්‍රදේශයෙන්ද මෙම මකුළු විශේෂය හමුවී ඇත.
![]() |
Myrmarachne morningside |
මීට අමතරව මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා මීට පෙර විවිධ පුද්ගලයන් විසින් හදුනාගත් කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ කිහිපයක ආවේනික ලක්ෂණ ඔහු විසින් අලුතින් සොයාගත් නිදර්ශ මගින් විස්තර කිරීමට සමත්වී ඇත. ඒ අතරට හෝර්ට්න් තැන්න සහ පිදුරුතලාග ප්‍රදේශ වලින් සොයාගත් Myrmarachne imbellis මකුළු විශේෂයේ නිදර්ශ, ගිලීමලේ වනාන්තරයෙන්, කිතුල්ගල, මහනුවර උඩවත්තකැලේ,දුනුමඩලාව සහ නකල්ස් කදු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවට ඒකදේශික යැයි අනුමාන කලහැකි Myrmarachne paludosa මකුළු විශේෂයේ නිදර්ශ, අනුරාධපුරය පදවිය, කොළඹ නාවල, මහරගම සහ කුරුණෑගල නිකවැරටිය යන ප්‍රදේශ වලින් හදුනාගත් Myrmarachne prava මකුළු විශේෂයේ නිදර්ශ, උඩවත්තකැලේ, කෑගල්ල කිතුල්ගල,අම්පාර ලාහුගල, මොණරාගල ඉගිනියාගල, කුරුණෑගල ඇතාඟල යන ප්‍රදේශ වලින් හදුනාගත් M. plataleoides මකුළු විශේෂයේ නිදර්ශ සහ කොළඹ බෙල්ලන්විල - අත්තඩිය, කළුතර බොල්ගොඩ වැව, කුරුණෑගල ඇතාගල සහ ජාතික මූලික අධ්‍යයන ආයතනය පරිශ්‍රයෙන් හදුනාගත් Myrmarachne plataleoides මකුළු විශේෂයේ නිදර්ශ වැදගත්වේ.
ශ්‍රී ලංකාවේ වෙසෙන කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ, සැඟවී ගිය ජෛවවිවිධත්වයේ තර්ජනයට ලක්වූ සුන්දරත්වය මුලු ලොවටම විද්‍යාමානකරයි. අපගේ යුතුකම වන්නේ මෙවැනි ජෛවවිවිධත්වයක් පවතින ඒකදේශීය සතුන්ගේ වාසස්ථාන සුරැකීමයි.මෙම අධ්‍යනයන් සදහා අරමුදල් ලබා දී ඇත්තේ ජාතික මූලික අධ්‍යයන ආයතනය සහ ඇලෙක්ස්සෙන්ඩර් වොන් හම්බෝල්ඩ්ට් පදනමේ අධි ශිෂ්‍යත්වයක් විසිනි.
ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍යය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.
මෙම ලිපිය 2015 ජූනි 10 විදුසර විද්‍යා සඟරාවේද පලවිය
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment