වයසට යන විට සෑදෙන බෝනොවන රෝග වල මුල උපතට පෙර...!

No comments


දියවැඩියාවෙන් පෙලෙන අයෙකු ඔබට හමුවුනහොත් ඔබට හැගෙන්නේ ඔහු හෝ ඇය අධික ලෙස පැණිරස කෑමට හුරුවූ අයෙක් ලෙසනේද? නමුත් එසේ අධික ලෙස පැණිරස කෑමට හුරුනොවූ සමහර පුද්ගලයන්ටත් දියවැඩියාව වැළදෙනබව ඔබ දන්නවාද‍?  වර්ෂ 1990 දී බ්‍රිතාන්‍ය ජාතික වසංගත රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය ඞේවිඩ් බාකර් මහතා ඉතා වැදගත් සංකල්පයක් ලොවට හදුන්වා දෙනලදි. එනම් කළල අවදියේදී කළලයට ඇතිවන විවිධ අහිතකර බලපෑම් නිසා එම කළලයේ යලි වෙනස් නොවන ආකාරයේ වෙනස්කම් ඇතිවන බවත් එම වෙනස්කම් නිසා ඡීවිතයේ පසු කාලයේදි දියවැඩියාව. අධි රැධිර පීඩනය, පිලිකා ආදී බෝනොවන රෝග සදහා අවදානම වැඩිවන බවත්ය.

/2015/05/Barker-hypothesis-blog-post.html


ඹහු මෙම සංකල්පය ඉදිරිපත් කිරීම සදහා පාදක කරගත්තේ ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සිදුකල නිරීක්ෂණ කිහිපයකි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී එංගලන්තයේ අඩු බර උපත් (උපතේදී බර 2.5 කි.ග්‍රෑ ට වඩා අඩු) ඉහල අගයක් ගත් ප්‍රදේශම දශක කීපයකට පසු කිරීටක ධමණි හෘදයාභාද (Coronary Heart Diseases) වැඩිම ප්‍රදේශ විය. එමනිසා පර්යේෂණ කණ්ඩායමේ නිගමනය වූයේ උපත් බර අඩු වීම වැඩිහිටි වියේදි කිරීටක ධමණි හෘදයාභාද වැළදීමට අවධානම් සාධකයක් බවයි.

                                             
එම කාලයේදීම එංගලන්තයේ වැඩිහිටි පිරිමින් සහභාගීකරගනිමින් සිදුකල අධ්‍යයන දෙකකින් උපත් බර අඩු වීම සහා කිරීටක ධමණි හෘදයාභාද වැළදීම අතර ශක්තිමත් සබඳතාවයක් ඇතිබව තහවුරු විය.පසුව විවිධ රටවලදී සිදුකල අධ්‍යයන මගින් මෙම සබදතාවය ගැහණු පිරිමි දෙපිරිසම අතර ඇති බව නැවත නැවතත් තහවුරු වී ඇත.

වර්ථමානය වනවිට උපත් බර අඩු වීම සහ වෙනත් විවිධ බෝනොවන රෝග (දියවැඩියාව. තරබාරැකම. අධි රැධිර පීඩනය, පිලිකා සහ අධික කොලෙස්ටරෝල් ආදී ) අතර සබදතාවය විවිධ පර්යේෂණ මගින් තහවුරුවී ඇත.මෑතකදී සිදුකල පර්යේෂණ සමාලෝචනයකින් වාර්තාවන අන්දමට උපත් බරහි වැඩිවන සෑම 1 කි.ග්‍රෑ ටම රුධිර පීඩනය 2 mmHg බැගින් අඩුවේ. උපත් බර අඩු වීම නිසා වැඩිහිටි වියේදී සෛලවල ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance)  ඉහළයාම සහ නිරාහාර රුධිරගත ග්ලුකෝස් ( Fasting  Blood Glucose) මට්ටම ඉහළයාම නිසා දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) සදහා අවධානම ඉහළ යනබව හෙලිවී ඇත.පසුකාලීනව ලෝකයේ විවිධ රටවලදී සිදුකරන ලද විවිධ පර්යේෂණ සහ දීර්ඝකාලීන අධ්‍යන මගින් අඝාතය (Stroke), පලමු වර්ගයේ දියවැඩියාව,විශාදය, පියයුරු පිලිකා, පුරස්ථිති ග්‍රන්ථි පිලිකා,ලියුකේමියාව වැනි බෝනොවන රෝග සහ උපත් බර අඩු වීම අතර සබදතාවයන් පැහැදිළිව හදුනාගෙන ඇත.


වර්තමානය වනවිට උපත් බර අඩු වීම සහ බෝනොවන රෝග අතර සබදතාවය විස්තර කිරීමට විද්‍යඥයින්ට හැකිවී ඇත.එහිදී ප්‍රධන ලෙස යාන්ත්‍රණ දෙකක් හදුනාගෙන ඇත. ඉන් පළමුවැන්න කළලයට ලැබෙන පෝෂණය අඩුවීමයි. උපත් බර සහ කළල අවධියේදී මවගේ පෝෂණ තත්වය අතර ඍජු සබදතාවයක් පවතී. ගර්භණී අවධියේදී ගන්නා ආහාර වල කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් අතර අනුපාතය අසමබර වීම සහ ක්ෂද්‍ර පෝෂක ( micro nutrients)  අඩුවීම මෙහිදී කැපීපෙනේ. ඉන්දියාවේ සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත්තේ ගර්භණී අවධියේදී පළතුරු සහා කොළ පැහැති එළවලු අහාරයට එක්කරගැනීම සහ දරුවාගේ උපත් බර හා ග්ලූකෝස් ජීර්ණය කිරීමේ හැකියාව අතර හිතකර සබදතාවයක් ඇතිබවයි. තවද ගර්භණී අවධියේදී ප්‍රමාණවත් තරම් ඉහල කැල්සියම් ප්‍රමාණයක් ශරීරයට ලැබීම දරුවාගේ වැඩිහිටි වියේදී රුධිර පීඩනය අඩුවීමට හේතු වනබව සොයාගෙන ඇත.පොදුවේ ගත් විට කළලයට ලැබෙන පෝෂණය අහිතකර ලෙස වෙනස් වීම ඍජු හා වක්‍ර ලෙස කළලයට බලපාන අයුරු පහත සටහනේ පරිදි විස්තර කලහැකිය.

/2015/05/Barker-hypothesis-blog-post.html


දෙවන යාන්ත්‍රණය මගින් කළල අවධියේදී  ග්ලූකෝස් ඌනතාවයට ( Hypoglycemia) භාජනය වූ දරුවන් හට පසු කාලයේදී දියවැඩියාව වැළදීම විස්තර කිරීමට හැකිවිය. ඉන්සියුලින් යනු සෛල තුලට ග්ලූකෝස් ඇතුලුකිරීමට උපකාරීවන ප්‍රධාන හෝර්මෝනයයි.ගර්භණී අවධියේදී කළලයට නිසි පොෂණයක් නොලැබෙන විටදී කළලය ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය අඩුකර ඉන්සියුලින් සදහා ප්‍රතිරෝධීතාව වැඩිකරගනී. එමගින් ඉතිරිකරගන්නා ග්ලූකෝස් ඉතා වැදගත් ඉන්ද්‍රියන් වන මොළය සහ හදවතට ළබාදීම එහි අරමුණයි. උපතෙන් පසු ජීවිතයේදී මනා පෝෂණයක් ලැබෙනාවිටදී කළලයේ ඇතිවූ ඉන්සියුලින් සදහා ප්‍රතිරෝධීතාව නිසා දියවැඩියාව වැළදීමේ අවධානමට ගොදුරුවේ.
                                             
     
/2015/05/Barker-hypothesis-blog-post.html

මෙසේ කළලයේ පරිසරය අහිතකර ලෙස වෙනස් වීමේදී ( නිසි පොෂණයක් නොලැබීම ,දුම් පානය ,මවගේ මානසික ආතතිය ආදී) කළලය තම පැවත්ම උදෙසා විවිධ වෙනස්වීම් සිදුකරගනුලබයි. ආරම්භයේදී මෙම වෙනස්වීම් තාවකාලික වූවත් පරිසරයේ එම අහිතකර වෙනස දීර්ඝකාලීනව පවතීනම් කළලයේ ඇතිවෙන එම වෙනස යලි යථා තත්වයට පත්නොවේ. 

මෙස් වැඩිහිටි වියේදී සෑදෙන බෝනොවන රෝග බොහෝමයක මූලාරම්භය උපතට පෙර කළල අවධියේ සිදුවන බව බාකර් විසින් ලොවට හෙලිකිරීම බෝනොවන රෝග නිවාරණයේ නව මන්පෙත් විවර කරදී ඇත.බාකර් ගේ මෙම සොයාගැනීම් තුලින් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල් වල ජීවන රටාව වෙනස් වීම,ආහාර රටාව බටහිරකරණය වීම, මත් පැන් සහ දුම් වැටි භාවිතය ඉහළයාම, ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීම සහ ගර්භනී අවධියේදී නිසි පෝෂණයක් නොලැබීම සහ බෝනොවන රෝග ව්‍යාප්තිය ඉහල යෑම අතර සබදතාවය මනාව විස්තර කරනබව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.දරුවෙකු කුස පිළිසිදගත් දා සිට මව නිසි පෝෂණයනින්, නිසි මානසික සහ කායික ස්‍යෙඛයකින් යුක්තවීම දරුවාගේ ළමා කාළයේ වර්ධනය සදහා පමනක් නොව වැඩිහිටි වියේදී  දියවැඩියාව. අධි රැධිර පීඩනය, පිලිකා ආදී බෝනොවන රෝග වලින් වැළකීම සදහාද බෙහෙවින් උපකාරීවන බව අප සියලුදෙනාම මතක තබාගැනීම වටී.

ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති අංශය,
ජාතික මූලික අධ්‍යයන  ආයතනය,
මහනුවර.

No comments :

Post a Comment