රාමුවෙන් පිටත සිතන්නට අපිත් හුරු වෙමු ද ?
මෙම ප්‍රහේලිකාව විසඳීමට ඔබත් උත්සහයක් දරන්න.මෙම තිත් නවය සරල රේඛා හතරක්
හෝ ඊට අඩු ගණනකින්‚එකිනෙක යා කිරීමට ඔබට
හැකිදැයි බලන්න. පෑන ඔසවන්නේ
නැතිව එක දිගට ඉරි ඇඳිය යුතු බව ද සලකන්න.
ඔබටත් කවුරුන් හෝ ‘රාමුවෙන්
පිටත හිතන්න’යැයි පවසා ඇත් ද? ඒ ඔබේ ගුරුවරිය
විය හැකිය.නැතහොත් ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානියා විය හැකිය.ඇත්තෙන්ම මෙම සංකල්පය ඉතා වටිනා එකකි.මෙහි ගැබ්වී ඇත්තේ අනෙක් අය දකින‚ සිතන ආකාරයට වඩා වෙනස් වූ යමක්
නිර්මාණාත්මක ලෙස දැකීමට‚ සිතීමට හුරු
වීමයි.
ඇත්තෙන්ම “රාමුවෙන් පිටත සිතීම” නැත්නම් “Thinking out
of the box” යන සංකල්පයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ඔබ ඉහත උත්සාහ කල තිත් නවයේ
ප්‍රහේලිකාවයි. මෙය විසඳීමට ඔබත් උත්සාහ කලා නම් සමහරවිට එම තිත් නවය මායිම් වී ඇති
මනඃකල්පිත කොටුව තුල සිරවී නොයෙක් උත්සහයන් දරන්නට ඇති. නමුත් මෙය විසඳීමට නම් එම කොටුවෙන්
පිටතට දිවෙන ඉරි ඇඳිය යුතු බව පහත දී ඇති විසඳුම නිරීක්ෂණය කලහොත් ඔබට වැටහේවි.
පළමු උත්සහයේදී සෑම දෙනාම පාහේ එම මනඃකල්පිත රාමුව තුල සිරවීමෙන් පෙන්‍නුම්
කරන්නේ ප්‍රශ්නයකට විසඳුම් සෙවීමේදී අපේ මනස අනවශ්‍ය සීමාවන් වල කොටුවීමට නැඹුරු
වන බවයි. අපි උත්සහ කල යුත්තේද මේ අනිසි කොටුවීමෙන් මිදීමටයි.
පෘථිවිය පැතලි හැඩැති යැයි යන මතය දරන අවධියක එය ගෝලාකාර විය යුතු බව පෙන්වා දෙන්නට pythagoras වැනි දාර්ශනිකයෙක්ට හැකි වුයෙත් ‚ඇපල් ගසකින් ගෙඩියක් වැටෙනවා දැක එවන් සරල සංසිද්ධියක් තුලින් ගුරුත්වාකර්ෂණ බලය ගැන අදහසක් පල කරන්න Isaac Newton විද්‍යාඥයාට හැකි වුයෙත් ඔවුන් එකී රාමුවෙන් මිදුනු නිසා නොවේද ?
එවැනි නිර්මාණාත්මක බව නැතිනම් වෙනස් ආකාරයකට සීතීමේ හැකියාව උත්පත්තියේ සිටම ගෙන එන හැකියාවක් ලෙස සිතීමට බොහෝ දෙනා පෙළඹී ඇත.නමුත් ඇත්තෙන්ම එය අනෙක් බොහෝ දේ මෙන් පුරුදු පුහුණුවෙන් අපේ ජීවිත වලට එකතු කරගන්නට හැකි දෙයක්ය.


නව නිපැයුමක්
කිරීමට උත්සහ කරන අයෙක්ට වේවා‚ වෙනස් වූ තේමාවක නවකතාවක් ලියන කෙනෙක්ට හෝ ප්‍රහේලිකාවක්
විසඳමින් සිටින කෙනෙක්ට වේවා නැත්නම් ක්ෂේත්‍රයේ නව පෙරලියක් ඇති කිරීමට සිතන ව්‍යාපාරිකයෙක්ට
හෝ වේවා පැන නගින අදහස්‚ සිතුවිලි අපමණ
විය හැකිය.මනෝවිද්‍යාඥයින්
පවසන්නේ එවැනි අවස්ථාවක සිතට නැංවෙන අදහස් සිතේ හිර නොකර ‚හැකි නම් තමුන් සමගම
ශබ්ද නගා කතා කර සංවාදයේ යෙදෙමින්‚ ඒවා සිතින් නිදහස් කල යුතු බවයි.එවිට විවිධාකාර අදහස් අතරින් සුදුසුම දේ තෝරාගැනීමට පහසු වනු ඇත. මෙහිදී විශේෂ කාරණයක් වන්නේ ‘මේක නම් එතරම් සාර්ථක වෙන්නැතිවෙයි’ ‚ ‘මේක ඉවරයක් කරගන්න බැරිවෙයි’ වැනි සෘණාත්මක ආකල්ප වලින් බැහැර වීමයි.
J.K.Rowling වැනි කතෘවරියක් , Harry Potter වැනි වෙනස් ලෝකයක් කරා අපව ගෙන යන කතා මාලාවක් රචනා කලෙත්‚
Apple සමාගමේ සම-ප්‍රාරම්භක Steve Jobbs කාලයත්
සමග නවීන නිර්මාණ එළි දැක්වුවෙත්, Mark Zuckerberg වැනි
තරුණයෙක් Facebook වැනි සමාජ වෙබ් අඩවියක් නිර්මාණය
කිරීමට පෙළඹුනෙත් එලෙස ඔවුන්ට නැගුණු සිතුවිලි වලට ඉඩ හසර ලබා දුන් නිසයි.

වෙනස් කෝණයකින්
යමක් දිහා බැලීමට නම් සැබැවින්ම මනස තියුණු විය යුතුය. මනස තියුණු කරගැනීමට දිනපතා අත්හදා
බැලිය හැකි ක්‍රියාකරකම් ඇමරිකානු කර්තෘ Mike Byster ඔහුගේ
කෘතියක සඳහන් කර ඇත. මග තොටේදී‚පාසලේදී හෝ කාර්යාලයේදී දිනකට
කෙතරම් ඉංග්‍රීසි වචන නෙත ගැටෙනවා ඇතිද? එලෙස වචනයක් දුටු විට මුලින්ම එය හොඳින්
කියවා නිරීක්ෂණය කර තේරුම් ගන්න.පසුව එය ඉංග්‍රීසි හෝඩියේ
පිළිවෙලට මනෝමයෙන් පෙළගස්වන්න.උදා;SILENT යන වචනය E-I-L-N-S-T ලෙස මනෝමයෙන් පෙළගස්වා කියවා බලන්න.මෙය මනසට
එක්තරා ව්‍යායාමයකි. තවත් ඉතා සරල ක්‍රියාකරකමක් වන්නේ ඔබ
නිදහසේ සිටිනා විට අංක කිහිපයක් ගෙන ඒවා මනෝමයෙන් එකතු කිරීමයි.උදා; 7+3+5+8+10+2. මෙය ඔබ කඩයකින් බඩු මිලදි ගන්නා අවස්ථාවක
වුවද කිරීමට උත්සහ කල හැකි සරල දෙයකි.එහෙමත් නැත්නම් ඔබ දවසේ
සෑහෙන වේලාවක් දුරකථනයෙන් මිතුරෙක් සමග කෙටි පණිවිඩ සංවාදයක හෝ facebook සංවාදයක යෙදෙමින් සිටින කෙනෙක් නම් එවිට වුවද මෙවන් ක්‍රියාකරකමක්
උත්සහ කල හැකිය.ඔබට ‘e’අකුර සහිත වචන මගහරිමින් සංවාදයේ
යෙදෙන්න හැකිදැයි උත්සහ කර බලන්න. එය ඔබට අවශ්‍ය දේ පැවසීමට බාධාවක් නොකර ගත යුතුය. එලෙස සුදුසු වචන සොයමින් සංවාදයේ යෙදීම වෙහෙසකාරී නම් වෙනත් අකුරකට
මාරු වෙන්න.මෙවැනි සරල ක්‍රියාකරකම් වල නිරත වීමට උත්සුක
වේ නම් ඔබත් සියුම් දෑ තියුණු මනසකින් නිරීක්ෂණය කරමින්‚ වෙනස් පැතිකඩක් හරහා
හිතන්නට හුරු වන බව සත්‍යකි.
කෙසේ වුවත් රාමුවෙන් පිටත හිතමින් අත්හදා බලන සියල්ල සැමවිටම සාර්ථක
වේ යැයි අපට විශ්වාස කිරීමට නොහැකි බවද අපි සිහියේ තබා ගත යුතුය. නමුත් අසාර්ථක වේවි යන බියට ඔබ පියවරක්
ඉදිරියට නොතබනවා නම් දියුණු ලොවක් කරා යන ගමන අඩපණවනු නිසැකයි. එ නිසා වඩා වැදගත් වන්නේ උත්සහවන්ත
වීමයි.නැත්නම් කෙදිනක හෝ ඔබට සිදුවන්නේද අලුත් අදහස්
නොමැතිව; අලුත් දෑ ගවේෂණය කිරීමටද නොහැකිව ළිඳේ ඉන්නා
මැඩියන් සේ කල් ගෙවීමටයි.
සැකසුම- කුමුදු රණසිංහ
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment