අහිතකර අපද්‍රව්‍යයක හිතකර භාවිතයක්
විදු නැණ හවුල
4:07 PM
Chemistry
,
Physics
,
Technical
,
තාක්ෂණික
,
භෞතික විද්‍යාව
,
රසායන විද්‍යාව
No comments
සිගරට් කියන්නෙ ඒවා
පාවිච්චි කරන අයගෙ සෞඛ්‍යයට විතරක් තර්ජනයක් වෙලා තියෙන දෙයක් නෙවෙයි. පරිසරයටත් තර්ජනයක් වෙලා තියෙන, ඒ හරහා තවත් ජීවිත
ගණනාවකට අහිතකර ප්‍රතිඵල ඇතිකරන විනාශකාරී දෙයක්. සිගරට් පාවිච්චි කල පසු ඉතිරි
වෙන සිගරට් කොට බිලියන ගණනක්, වසරක් තුල පරිසරයට මුදා හරිනවා. ඒ නිසාම තමයි ලෝකයේ
වඩාත්ම සුලභ කසළ වර්ගය ලෙස සිගරට් කොට හඳුන්වාදී ඇත්තේ.
සිගරට් කොටයක ප්‍රධාන
කොටස තමයි සිගරට් පෙරණය (Cigarette Filter). සිගරට් එකක මේ ආකාරයේ පෙරණයක් තියෙන්නේ සිගරට් ඉරීමේදී මුඛයට
ඇතුළුවන දුම් ප්‍රමාණය සීමා කිරීමට හා සිගරට් දහනයේදී නිපදවෙන අනවශ්‍ය අංශු, දුම්කොල පතුරු ආදිය මුඛයට ඇතුළු වීම වැළැක්වීමටයි.
බොහෝමයක් සිගරට් වල මෙම
පෙරණය නිපදවලා තියෙන්නේ සෙලියුලෝස් ඇසිටේට් වලින්. සෙලියුලෝස් ඇසිටේට්
කියන්නේ ඉතා සෙමින් බිඳවැටී දිරාපත්වන ප්ලාස්ටික් වර්ගයක්. ඒ විතරක් නෙවෙයි; සිගරට් කොට වල කැඩිමියම්, ආසනික්, ලෙඩ් වගේ බැරලෝහ අන්තර්ගත
වෙනවා. ජලයත් සමග ගැටීමෙන් පැයක් වැනි කාලයක් තුල සිගරට් කොට
තුල ඇති මෙම බැර ලෝහ අයන හා අනෙකුත් විෂ අපද්‍රව්‍ය ජලයේ දිය වෙනවා. එමගින් ජලාශ වල ජීවත් වෙන මත්ස්‍යයින් විශාල ගණනක් මිය යනවා. මේ ජලය හරහා බැර ලෝහ මිනිසුන්ගේ ශරීරගත වීමෙන් වකුගඩු ආබාධ, අස්ථි දුර්වල වීම, බුද්ධි මට්ටම අඩු වීම, හෘදයාබාධ, පිළිකා ආදී අහිතකර තත්ව රැසක් ඇතිවෙන්න පුළුවන්.
මේවගේ අහිතකර විෂ සහිත කසළ
වර්ගයක් අපට ප්‍රයෝජනවත් දෙයක් බවට පරිවර්තනය කළ හැකිනම් කෙතරම් අපූරුද? මේ අභියෝගය ජයගෙන, ඉවතලන සිගරට් කොට වලින් අපූර්ව
නිර්මාණයක් සිදුකිරීමට දකුණු කොරියානු පර්යේෂක කණ්ඩායමක් සමත් වෙලා තියනවා. ඒ, මෙම භාවිතාකළ සිගරට් පෙරණයන්, සුපිරි ධාරිත්‍රක වල ශක්තිය ගබඩා කිරීමට යොදා ගත හැකි ද්‍රව්‍ය බවට
පත්කිරීමට තනි පියවර ක්‍රමයක් සොයාගැනීම මගින්.
ධාරිත්‍රක වලම වැඩි
දියුණුවක් තමයි සුපිරි ධාරිත්‍රක කියන්නෙ. සුපිරි ධාරිත්‍රකයක ක්‍රියාකාරීත්වය
ගැන අවබෝධයක් ලබා ගැනීමට කලින් අපි කවුරුත් අහලා තියන ධාරිත්‍රක ගැන මතක් කරගමු.
ධාරිත්‍රකයක් කියන්නෙත්
බැටරියක් වගේ දෙයක්. ඒ කියන්නෙ විද්‍යුත්
ශක්තිය ගබඩා කරන උපකරණයක්. නමුත් ධාරිත්‍රකයකුත්
බැටරියකුත් විද්‍යුතය ගබඩා කරන්නේ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමවලට. බැටරි වල මේ ක්‍රියාවලිය සඳහා යොදාගන්නෙ රසායනික ශක්තිය. ඒ වුණත් ධාරිත්‍රක වලදී යොදාගන්නෙ ස්ථිති විද්‍යුත් ශක්තිය.
ධාරිත්‍රකයක් නිපදවලා
තියෙන්නේ විද්‍යුත් සන්නායක ලෝහ තහඩු දෙකක් අතරට විද්‍යුතය සන්නයනය නොකරන, පාරවිද්‍යුත් ද්‍රව්‍ය මැදි කිරීම මගින්.
බැටරියක් ආරෝපණය (Charge) වීමට සාමාන්‍යයෙන්
සැලකිය යුතු කාලයක් ගත වුනත් ධාරිත්‍රකයක් ක්ෂණිකව ආරෝපණය වීමත් විසර්ජනය වීමත්
වෙනවා. ධාරිත්‍රක වල ප්‍රධානම වාසිය එයයි. ඒ වගේම ධාරිත්‍රක බරින් අඩුයි.
කොපමණ වාර ගණනක් ආරෝපණය
හා විසර්ජනය (Discharge) කරත් බැටරියක වගේ ක්‍රියාකාරීත්වයට
හානියක් වෙන්නෙ නෑ. ධාරිත්‍රක වල තියෙන
අවාසියක් තමයි බැටරියක තරම් ශක්තියක් ගබඩා කල නොහැකි වීම. මේ සඳහා පිළිතුරක් ලෙස
වැඩි ධාරිතාවයකින් හා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු සුපිරි ධාරිත්‍රක නිපදවා
තිබෙනවා. සුපිරි ධාරිත්‍රක වල වුවත් බැටරියක තරම් ශක්තිය ගබඩා කළ
හැකි නැහැ. නමුත් මේවා යොදා ගැනීමට හේතුව ඉහත සඳහන් පරිදි ක්ෂණිකව
ආරෝපණ ලබා දීමට හැකිවීමයි. උදාහරණයක් විදිහට, මෝටර් රථයකට තිරිංග යෙදීමේදී සැලකිය යුතු විදුලියක් නිපදවෙනවා; සුපිරි ධාරිත්‍රකයකට පුළුවන් මෙම විද්‍යුත් ශක්තිය ක්ෂණිකව ගබඩා කරගෙන රථය
නැවත පණගැන්වීමේදී එම ශක්තිය ලබා දීමට.

සිගරට් පෙරණයන්ගේ විශේෂ
තත්වයන් යටතේ නයිට්‍රජන් සහිත අවකාශයක දහනය කිරීමෙන් (Pyrolisis ක්‍රියාවලිය), එහි ඇති සෙලියුලෝස් ඇසිටේට්, කාබන් මූලික
කොටගත්, විවර සහිත, එනම් විශාල පෘෂ්ඨ
වර්ගඵලයක් සහිත ද්‍රව්‍යයක් බවට පත්කිරීමට හැකියි. මෙම ගුණය නිසා මෙම ද්‍රව්‍ය
සුපිරි ධාරිත්‍රක වලට යොදා ගැනීමට ඉතා සුදුසු වෙනවා.
මෙතෙක් කල් සුපිරි
ධාරිත්‍රක සඳහා යොදාගෙන ඇත්තේ කාබන්, ග්‍රැෆීන් හා කාබන් නැනෝ නල ආදියයි. සිගරට් පෙරණ වලින් නිපදවාගන්නා ලද මෙම නව ද්‍රව්‍යය ඉහත කී සියළු ද්‍රව්‍යයන්ට
වඩා අධික කාර්යක්ෂමතාවක් පෙන්වන බවත් වැඩි ආරෝපණ ධාරිතාවක් සහිත බවත් පර්යේෂකයින්
පවසනවා.
මෙලෙස නවීන අදහස්
යොදාගෙන වැඩි දියුණු කරනලද සුපිරි ධාරිත්‍රක විද්‍යුත් වාහන, සුළං ටර්බයින හා ජංගම උපකරණ වලට සාර්ථකව යොදා ගැනීමට පර්යේෂකයන්
බලාපොරොත්තු වෙනවා.
ඉවතදාන සිගරට් කොටයක්
ගිය දුර ඇත්තෙන්ම පුදුමයි නේද?
සැකසුම - රුවනාරි සේනාපති.
Wikipedia,
Howstuffworks, Smithsonian, Explainthatstuff, Gizmag හා Popularscience වෙබි අඩවි ඇසුරෙනි.
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment