අලුත් අවුරුදු කෑම මේසයේ ගුණ අගුණ....
අලුත් අවුරුද්ද කිව්වාම
ගොඩක් අයට ඉස්සෙල්ලාම මතක්වෙන්නේ කැවුම්, කොකිස් , කිරිබත් , අලුවා පිරුනු අවුරුදු
කෑම මේසේ. පවුලේ හැමෝම ඒ අවුරුදු කෑම මේසේ වටවෙලා ආහාර අනුභව කරන නැකත ආවාම අවුරුදු
කැවිලි වල රස බලනවා. මේපාර අලුත් අවුරුද්දට ඔයාලත් එහෙම ගෙදර අයත් එක්ක එකතුවෙලා රස
කැවුම්, කොකිස් , කිරිබත් ,අලුවා වල රස බැලුවානේද? ඒත් ඔයාලා නිකමට හරි ඔය
කැවිලින් ඔයාට ලැබෙන පෝෂණ ගුණය ගැන කල්පනාකරලා බැලුවද? කැවුම්, කොකිස් , කිරිබත්
වගේ දේශීය කැවිලි වර්ග වල අතීතය ගොඩක් පරණයි.ඒ වුනාට ඒ කැවිලිවල පෝෂණ ගුණය ගැන කරල
තියන පර්යේෂණ ගොඩක් අඩුයි. මම ඔයාලට
කියලදෙන්න හදන්නේ අවුරුදු මේසේ තියන රස කැවිලි කීපයක පෝෂණ ගුණය ගැන.
අපි ගන්න හැම ආහාරයකම
කාබෝහයිඩ්ඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය කියන පෝෂ පදාර්ථ 3 න් එකක් හරි කිහිපයක් හරි
තියනවා.අපි උදාහරණහයකට ගමු කැවුම්. කැවුම් හදන්න ගන්න හාල් පිටි නිසා කැවුම් වල කාබෝහයිඩ්ඩ්‍රේට්
සහ ප්‍රෝටීන් තියනවා. කැවුම් බදින්න ගන්න පොල්තෙල් නිසා කැවුම් වල මේදය තියනවා. මේ
හැම පෝෂ පදාර්ථයකින්ම අපේ ශරීරයට ශක්තිය ලැබෙනවා. කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් ග්‍රෑම්
1 කින් ශක්තිය කිලෝ කැලරි (kcal) 4ක් අපේ ශරීරයට ලැබෙනවා.
කිලෝ කැලරි (kcal) කියන්නේ අපි ගන්න ආහාර වල තියන ශක්තිය මනින ඒකකය. මේදය
ග්‍රෑම් 1 කින් ශක්තිය කිලෝ කැලරි (kcal) 9ක් අපේ ශරීරයට ලැබෙනවා.
දැන් ඔයාලට තේරෙනවා ඇති තෙල් සහිත කෑමක් කෑවහම වැඩිපුර ශක්තිය ලැබෙන්නේ කොහොමද
කියලා. ලංකාවේ සාමාන්‍ය මට්ටමකට ක්‍රියාශීලි වැඩිහිටි පිරිමි කෙනෙකුට දිනකට කිලෝ
කැලරි 2900 පමණ ශක්තිය අවශ්‍ය වෙනවා. සාමාන්‍ය මට්ටමකට ක්‍රියාශීලි වැඩිහිටි
ගැහැණු කෙනෙකුටනම් දිනකට අවශ්‍ය වෙන්නේ කිලෝ කැලරි 2400 පමණ ශක්ති ප්‍රමානයක්. මේ
දෛනික ශක්ති අවශ්‍යතාවයට වැඩියෙන් ශක්තිය අපිට කෑමෙන් ලැබුනොත් අපේ ශරීරයේ ශක්ති
අතිරික්තයක් ඇතිවෙලා ශරීරයේ බර අනවශ්‍ය විදිහට වැඩිවෙනව වගේම අධික කොලෙස්ටරෝල් , හෘද
රෝග සහ දියවැඩියාව වගේ ලෙඩ රෝග හැදෙන්න තියන අවධානමත් වැඩිවෙනවා. දෛනික ශක්ති අවශ්‍යතාවයට
අඩුවෙන් ශක්තිය අපිට කෑමෙන් ලැබුනොත් අපේ ශරීරයේ ශක්ති හිගයක් ඇතිවෙලා ශරීරයේ බර
අනවශ්‍ය විදිහට අඩු වෙලා අපේ ශරීරය දුර්වලවෙනවා. ඒනිසා අපි ගන්න ආහාර වලින් ශරීරයට
ලැබෙන ශක්ති ප්‍රමාණය ගැන දැනුවත්වෙලා අපගේ ශරීරයට අවශ්‍ය ප්‍රමානයට ආහාර ගැනීම
හරිම වැදගත්.
අපි දැන් අවුරුදු කෑම
මේසයේ තියන කැවිලි වර්ග කිහිපයක පෝෂණ ගුණය ගැන හොයල බලමු. කිරිබත් කියනනේ අවුරුදු
කෑම මේසේ විතරක් නෙමේ ඕනෑම වැදගත් අවස්ථාවක චාරිත්‍රයක් විදිහට පිළියෙල කරන
ආහාරයක්. සමාන්‍ය ප්‍රමානයේ කිරිබත් කැටයක ( 55 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි
240 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 6.3 ක් සහ මේදය ග්‍රෑම් 6.5
කුත් එක කිරිබත් කැටයක අඩංගුවෙනවා.ඒකියන්නේ කිරිබත් කැට දෙකක් ඔබ ආහාරයට ගත්තොත්
ශක්තිය කිලෝ කැලරි 500 ක් පමණ, ඒකියන්නේ මුලු දවසටම අවශ්‍යකරන ශක්ති ප්‍රමාණයෙන් 1/5
ක් පමණ ලැබෙනවා. කිරිබත් පිළියලකරනකොට මුංඇට
එකතුකරල මුං කිරිබත් හැදුවොත් කිරිබත් වල රස වගේම ගුණයත් තව වැඩිවෙනවා. මුංඇට
කියන්නේ රනිල කුලයේ ඇට වර්ගයක්. රනිල කුලයේ ඇට වල ප්‍රෝටීන් සහ තන්තු බහුලයි. ආහාර
වල තියන තන්තු වලට පුලුවන් ආහාර ජීර්ණය පහසු කරන්න. ඒවගේම තන්තු අපි ගන්න ආහාරවල
තියන මේදය ශරීරයට උරාගන්න එක අඩු කරනවා.

වැලිතලප නම් හැබැයි
ශක්ති ප්‍රමාණය තරමක් වැඩි රස කැවිලි වර්ගයක්.ඊට හේතුව අධික පැණිරස ගතිය. සමාන්‍ය
ප්‍රමානයේ වැලිතලපයකින් ( 20 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 257 ක් පමණ
අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 2.3 ක් සහ මේදය ග්‍රෑම් 2.5 ක් පමණත් එක
වැලිතලපයක අඩංගුවෙනවා. වැලිතලප වගේම ශක්ති ප්‍රමාණය තරමක් වැඩි කැවිලි වර්ගයක්
තමයි පැණි වළලු කියන්නේ. සාමාන්‍ය ප්‍රමානයේ පැණි වළල්ලකින් ( 20 ග්‍රෑම්
පමණ) ශක්තිය කිලෝ කැලරි 247 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.7 ක්
සහ මේදය ග්‍රෑම් 12.9 ක් පමණත් එක වළල්ලක අඩංගුවෙනවා. අවුරුදු කෑම මේසයේ තියන
කැවිලි වර්ග අතරින් මේදය වැඩිම කැවිලි වර්ගයක් තමයි මේ පැණි වළලු.
අලුවා කියන්නේ සෑම
නිවසකම වගේ අලුත් අවුරුද්දට හදන කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමාණයේ අලුවා
කෑල්ලකින් ( 25 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 145 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව
ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් සහ මේදය ග්‍රෑම් 3.4 ක් පමණත් එක අලුවා කෑල්ලක
අඩංගුවෙනවා. අලුවා හදනකොට වියළි කජු එකතුකළාම
අලුවා වල රස වගේම ගුණයත් වැඩිවෙනවා. කජු වල තියන අසංතෘප්ත මේද අම්ල කියන විශේෂ මේද
වර්ගයට පුලුවන් අපේ ශරීරයේ තියන නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොද කොලෙස්ටරෝල් වැඩිකරන්න.
කේක් කියන්නේ පාරම්පරික අවුරුදු
කෑම මේසයේ තිබුන කැවිලි වර්ගයක් නොවුනට අද වෙනකෙට අවුරුදු කෑම මේසයේ විතරක් නෙමේ
ඕනෙම උත්සව අවස්ථාවක නැතුවම බැරි කැවිලි වර්ගයක් වෙලා. සමාන්‍ය ප්‍රමාණයේ බටර්
කේක් කෑල්ලකින් ( 30 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 110 ක් පමණ අඩංගුවෙනවා. ඊට
අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් සහ මේදය ග්‍රෑම් 4.5 ක් පමනත් එක බටර් කේක් කෑල්ලක
අඩංගුවෙනවා. අපි වෙළදපොළෙන් මිලදීගන්න අයිසිං කේක් සහ චොකලට් කේක් වගේ කේක් වර්ගවල ශක්තිය සහ මේදය ප්‍රමාණය මීට වඩා වැඩිවෙනවා.
කෙසෙල් කියන්නේ රස
කැවිලි වර්ගයක් නොවුනට අවුරුදු කෑම මේසය ලස්සන වෙන්න වගේම අවුරුදු කෑම මේසය පෝෂණ
ගුණය වැඩිකරන්නත් උදව්වෙන පළතුරක්. අපේ රටේ විවිධ වර්ග වල කෙසෙල් වැවෙනවා. කෙසෙල්
වර්ගය අනුව පෝෂණ ගුණය වෙනස් වුනාට සමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් ( 80 ග්‍රෑම්
පමණ) ශක්තිය ශක්තිය කිලෝ කැලරි 68ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1
ක් පමණ සමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක අඩංගුවෙනවා. කෙසෙල් වල මේදය අඩංගුවෙන්නේ නැහ.
බලන්න කෙසෙල් වල බරට සාපේක්ෂව අපේ ශරීරයට ලැබෙන ශක්ති ප්‍රමාණය රස කැවිලිවලට වඩා
ගොඩක් අඩුයිනේද? ඒක නිසා කෙසෙල් ශරීරයේ බර පාලනයට හරි වැදගත්. කෙසෙල් වල විටමින් C, A, E සහ විටමින් K වලට අමතරව තන්තුත්
බහුලව අඩංගුවෙනවා. ඒ හින්දම කෙසෙල් කියන්නේ මළ බද්දය, අධි
රැධිර පීඩනය, මානසික ආතතිය වගේම ග්‍රැස්ට්‍රයිටිස් සුවකිරීම සදහාද උපකාරීවෙන
ඉතාමත් ගුණ පළතුරක්.
දැන් ඔයාලට අවුරුදු කෑම
මේසයේ තියන ප්‍රධාන කැවිලි වර්ග කිහිපයක ශක්ති ප්‍රමාණය සහ පෝෂණ ගුණය ගැන තරමක
අදහසක් එන්න ඇති. අපි වැලිතලප , පැණි වළලු සහ අයිසිං කේක් වගේ ශක්තිය අධික ආහාර
ගන්නකොට ඒවගේ ප්‍රමාණය පිළිබදව අවධානය යොමුකරන්න ඕනේ. එහෙම නැතිව අපි පාලනයක්
නැතිව ශක්තිය අධික ආහාර ගත්තොත් අපේ ශරීරයේ අනවශ්‍ය ශක්තියක් ඉතිරිවෙලා අපි ලෙඩ
වෙන්න වුනත් පුලුවන්. ඒවගේම කැවුම් ,කොකිස්
වගේ කැවිලි ගැඹුරු තෙලේ බඳිනකොට ඒ තෙල් නැවත නැවත ප්‍රයෝජනයට ගන්න හොද නැහ. ඊට
හේතුව තමයි කැවුම් , කොකිස් බඳිනකොට තෙල් අධික උෂ්ණත්වයකට රත්වුනාම තෙල් වල
සංයුතිය වෙනස් වෙලා ට්‍රාන්ස් මේදය (Trans fat) කියල සංයෝගයක් හැදෙන එක.
ඒ ට්‍රාන්ස් මේදය අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිකරනවා.
සමාඡ විද්‍යාඥයින් කියන
විදිහට අවුරුදු කාලයේ ගමේ ලොකු පොඩි හැමෝම ගැහැණු පිරිමි භේදයකින් තොරව කණා මුට්ටි
ගැසීම, කොට්ට පොර ගැසීම, කඹ ඇදීම, ඔංචිලි පැදීම , ලිස්සන ගහේ නැගීම වගේ අවුරුදු ක්‍රීඩා
වල නිරතවෙන්නේ අවුරුදු කාලෙට කන කැවිලි වලින් ශරීරයට ලැබෙන අධික ශක්තිය වැය කරලා
නිරෝගීව ඡීවත්වෙන්න. ඉතින් ඔයාලත් අවුරුදු කාලෙට විවිධ රස කැවිලි වර්ග රස බලනව
වගේම අවුරුදු ක්‍රීඩා වල නිරතවෙලා ශරීරය නීරෝගීව තියාගන්නත් අමතක කරන්න එපා.
ප්‍රදීප් පියතිලක,
සන්නිව්දන සහ මාධ්‍ය
නිලධාරී.
ජාතික මූලික අධ්‍යයන
ආයතනය.
රාමුවෙන් පිටත සිතන්නට අපිත් හුරු වෙමු ද ?
මෙම ප්‍රහේලිකාව විසඳීමට ඔබත් උත්සහයක් දරන්න.මෙම තිත් නවය සරල රේඛා හතරක්
හෝ ඊට අඩු ගණනකින්‚එකිනෙක යා කිරීමට ඔබට
හැකිදැයි බලන්න. පෑන ඔසවන්නේ
නැතිව එක දිගට ඉරි ඇඳිය යුතු බව ද සලකන්න.
ඔබටත් කවුරුන් හෝ ‘රාමුවෙන්
පිටත හිතන්න’යැයි පවසා ඇත් ද? ඒ ඔබේ ගුරුවරිය
විය හැකිය.නැතහොත් ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානියා විය හැකිය.ඇත්තෙන්ම මෙම සංකල්පය ඉතා වටිනා එකකි.මෙහි ගැබ්වී ඇත්තේ අනෙක් අය දකින‚ සිතන ආකාරයට වඩා වෙනස් වූ යමක්
නිර්මාණාත්මක ලෙස දැකීමට‚ සිතීමට හුරු
වීමයි.
ඇත්තෙන්ම “රාමුවෙන් පිටත සිතීම” නැත්නම් “Thinking out
of the box” යන සංකල්පයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ඔබ ඉහත උත්සාහ කල තිත් නවයේ
ප්‍රහේලිකාවයි. මෙය විසඳීමට ඔබත් උත්සාහ කලා නම් සමහරවිට එම තිත් නවය මායිම් වී ඇති
මනඃකල්පිත කොටුව තුල සිරවී නොයෙක් උත්සහයන් දරන්නට ඇති. නමුත් මෙය විසඳීමට නම් එම කොටුවෙන්
පිටතට දිවෙන ඉරි ඇඳිය යුතු බව පහත දී ඇති විසඳුම නිරීක්ෂණය කලහොත් ඔබට වැටහේවි.
පළමු උත්සහයේදී සෑම දෙනාම පාහේ එම මනඃකල්පිත රාමුව තුල සිරවීමෙන් පෙන්‍නුම්
කරන්නේ ප්‍රශ්නයකට විසඳුම් සෙවීමේදී අපේ මනස අනවශ්‍ය සීමාවන් වල කොටුවීමට නැඹුරු
වන බවයි. අපි උත්සහ කල යුත්තේද මේ අනිසි කොටුවීමෙන් මිදීමටයි.
පෘථිවිය පැතලි හැඩැති යැයි යන මතය දරන අවධියක එය ගෝලාකාර විය යුතු බව පෙන්වා දෙන්නට pythagoras වැනි දාර්ශනිකයෙක්ට හැකි වුයෙත් ‚ඇපල් ගසකින් ගෙඩියක් වැටෙනවා දැක එවන් සරල සංසිද්ධියක් තුලින් ගුරුත්වාකර්ෂණ බලය ගැන අදහසක් පල කරන්න Isaac Newton විද්‍යාඥයාට හැකි වුයෙත් ඔවුන් එකී රාමුවෙන් මිදුනු නිසා නොවේද ?
එවැනි නිර්මාණාත්මක බව නැතිනම් වෙනස් ආකාරයකට සීතීමේ හැකියාව උත්පත්තියේ සිටම ගෙන එන හැකියාවක් ලෙස සිතීමට බොහෝ දෙනා පෙළඹී ඇත.නමුත් ඇත්තෙන්ම එය අනෙක් බොහෝ දේ මෙන් පුරුදු පුහුණුවෙන් අපේ ජීවිත වලට එකතු කරගන්නට හැකි දෙයක්ය.


නව නිපැයුමක්
කිරීමට උත්සහ කරන අයෙක්ට වේවා‚ වෙනස් වූ තේමාවක නවකතාවක් ලියන කෙනෙක්ට හෝ ප්‍රහේලිකාවක්
විසඳමින් සිටින කෙනෙක්ට වේවා නැත්නම් ක්ෂේත්‍රයේ නව පෙරලියක් ඇති කිරීමට සිතන ව්‍යාපාරිකයෙක්ට
හෝ වේවා පැන නගින අදහස්‚ සිතුවිලි අපමණ
විය හැකිය.මනෝවිද්‍යාඥයින්
පවසන්නේ එවැනි අවස්ථාවක සිතට නැංවෙන අදහස් සිතේ හිර නොකර ‚හැකි නම් තමුන් සමගම
ශබ්ද නගා කතා කර සංවාදයේ යෙදෙමින්‚ ඒවා සිතින් නිදහස් කල යුතු බවයි.එවිට විවිධාකාර අදහස් අතරින් සුදුසුම දේ තෝරාගැනීමට පහසු වනු ඇත. මෙහිදී විශේෂ කාරණයක් වන්නේ ‘මේක නම් එතරම් සාර්ථක වෙන්නැතිවෙයි’ ‚ ‘මේක ඉවරයක් කරගන්න බැරිවෙයි’ වැනි සෘණාත්මක ආකල්ප වලින් බැහැර වීමයි.
J.K.Rowling වැනි කතෘවරියක් , Harry Potter වැනි වෙනස් ලෝකයක් කරා අපව ගෙන යන කතා මාලාවක් රචනා කලෙත්‚
Apple සමාගමේ සම-ප්‍රාරම්භක Steve Jobbs කාලයත්
සමග නවීන නිර්මාණ එළි දැක්වුවෙත්, Mark Zuckerberg වැනි
තරුණයෙක් Facebook වැනි සමාජ වෙබ් අඩවියක් නිර්මාණය
කිරීමට පෙළඹුනෙත් එලෙස ඔවුන්ට නැගුණු සිතුවිලි වලට ඉඩ හසර ලබා දුන් නිසයි.

වෙනස් කෝණයකින්
යමක් දිහා බැලීමට නම් සැබැවින්ම මනස තියුණු විය යුතුය. මනස තියුණු කරගැනීමට දිනපතා අත්හදා
බැලිය හැකි ක්‍රියාකරකම් ඇමරිකානු කර්තෘ Mike Byster ඔහුගේ
කෘතියක සඳහන් කර ඇත. මග තොටේදී‚පාසලේදී හෝ කාර්යාලයේදී දිනකට
කෙතරම් ඉංග්‍රීසි වචන නෙත ගැටෙනවා ඇතිද? එලෙස වචනයක් දුටු විට මුලින්ම එය හොඳින්
කියවා නිරීක්ෂණය කර තේරුම් ගන්න.පසුව එය ඉංග්‍රීසි හෝඩියේ
පිළිවෙලට මනෝමයෙන් පෙළගස්වන්න.උදා;SILENT යන වචනය E-I-L-N-S-T ලෙස මනෝමයෙන් පෙළගස්වා කියවා බලන්න.මෙය මනසට
එක්තරා ව්‍යායාමයකි. තවත් ඉතා සරල ක්‍රියාකරකමක් වන්නේ ඔබ
නිදහසේ සිටිනා විට අංක කිහිපයක් ගෙන ඒවා මනෝමයෙන් එකතු කිරීමයි.උදා; 7+3+5+8+10+2. මෙය ඔබ කඩයකින් බඩු මිලදි ගන්නා අවස්ථාවක
වුවද කිරීමට උත්සහ කල හැකි සරල දෙයකි.එහෙමත් නැත්නම් ඔබ දවසේ
සෑහෙන වේලාවක් දුරකථනයෙන් මිතුරෙක් සමග කෙටි පණිවිඩ සංවාදයක හෝ facebook සංවාදයක යෙදෙමින් සිටින කෙනෙක් නම් එවිට වුවද මෙවන් ක්‍රියාකරකමක්
උත්සහ කල හැකිය.ඔබට ‘e’අකුර සහිත වචන මගහරිමින් සංවාදයේ
යෙදෙන්න හැකිදැයි උත්සහ කර බලන්න. එය ඔබට අවශ්‍ය දේ පැවසීමට බාධාවක් නොකර ගත යුතුය. එලෙස සුදුසු වචන සොයමින් සංවාදයේ යෙදීම වෙහෙසකාරී නම් වෙනත් අකුරකට
මාරු වෙන්න.මෙවැනි සරල ක්‍රියාකරකම් වල නිරත වීමට උත්සුක
වේ නම් ඔබත් සියුම් දෑ තියුණු මනසකින් නිරීක්ෂණය කරමින්‚ වෙනස් පැතිකඩක් හරහා
හිතන්නට හුරු වන බව සත්‍යකි.
කෙසේ වුවත් රාමුවෙන් පිටත හිතමින් අත්හදා බලන සියල්ල සැමවිටම සාර්ථක
වේ යැයි අපට විශ්වාස කිරීමට නොහැකි බවද අපි සිහියේ තබා ගත යුතුය. නමුත් අසාර්ථක වේවි යන බියට ඔබ පියවරක්
ඉදිරියට නොතබනවා නම් දියුණු ලොවක් කරා යන ගමන අඩපණවනු නිසැකයි. එ නිසා වඩා වැදගත් වන්නේ උත්සහවන්ත
වීමයි.නැත්නම් කෙදිනක හෝ ඔබට සිදුවන්නේද අලුත් අදහස්
නොමැතිව; අලුත් දෑ ගවේෂණය කිරීමටද නොහැකිව ළිඳේ ඉන්නා
මැඩියන් සේ කල් ගෙවීමටයි.
සැකසුම- කුමුදු රණසිංහ
අහිතකර අපද්‍රව්‍යයක හිතකර භාවිතයක්
විදු නැණ හවුල
4:07 PM
Chemistry
,
Physics
,
Technical
,
තාක්ෂණික
,
භෞතික විද්‍යාව
,
රසායන විද්‍යාව
No comments
සිගරට් කියන්නෙ ඒවා
පාවිච්චි කරන අයගෙ සෞඛ්‍යයට විතරක් තර්ජනයක් වෙලා තියෙන දෙයක් නෙවෙයි. පරිසරයටත් තර්ජනයක් වෙලා තියෙන, ඒ හරහා තවත් ජීවිත
ගණනාවකට අහිතකර ප්‍රතිඵල ඇතිකරන විනාශකාරී දෙයක්. සිගරට් පාවිච්චි කල පසු ඉතිරි
වෙන සිගරට් කොට බිලියන ගණනක්, වසරක් තුල පරිසරයට මුදා හරිනවා. ඒ නිසාම තමයි ලෝකයේ
වඩාත්ම සුලභ කසළ වර්ගය ලෙස සිගරට් කොට හඳුන්වාදී ඇත්තේ.
සිගරට් කොටයක ප්‍රධාන
කොටස තමයි සිගරට් පෙරණය (Cigarette Filter). සිගරට් එකක මේ ආකාරයේ පෙරණයක් තියෙන්නේ සිගරට් ඉරීමේදී මුඛයට
ඇතුළුවන දුම් ප්‍රමාණය සීමා කිරීමට හා සිගරට් දහනයේදී නිපදවෙන අනවශ්‍ය අංශු, දුම්කොල පතුරු ආදිය මුඛයට ඇතුළු වීම වැළැක්වීමටයි.
බොහෝමයක් සිගරට් වල මෙම
පෙරණය නිපදවලා තියෙන්නේ සෙලියුලෝස් ඇසිටේට් වලින්. සෙලියුලෝස් ඇසිටේට්
කියන්නේ ඉතා සෙමින් බිඳවැටී දිරාපත්වන ප්ලාස්ටික් වර්ගයක්. ඒ විතරක් නෙවෙයි; සිගරට් කොට වල කැඩිමියම්, ආසනික්, ලෙඩ් වගේ බැරලෝහ අන්තර්ගත
වෙනවා. ජලයත් සමග ගැටීමෙන් පැයක් වැනි කාලයක් තුල සිගරට් කොට
තුල ඇති මෙම බැර ලෝහ අයන හා අනෙකුත් විෂ අපද්‍රව්‍ය ජලයේ දිය වෙනවා. එමගින් ජලාශ වල ජීවත් වෙන මත්ස්‍යයින් විශාල ගණනක් මිය යනවා. මේ ජලය හරහා බැර ලෝහ මිනිසුන්ගේ ශරීරගත වීමෙන් වකුගඩු ආබාධ, අස්ථි දුර්වල වීම, බුද්ධි මට්ටම අඩු වීම, හෘදයාබාධ, පිළිකා ආදී අහිතකර තත්ව රැසක් ඇතිවෙන්න පුළුවන්.
මේවගේ අහිතකර විෂ සහිත කසළ
වර්ගයක් අපට ප්‍රයෝජනවත් දෙයක් බවට පරිවර්තනය කළ හැකිනම් කෙතරම් අපූරුද? මේ අභියෝගය ජයගෙන, ඉවතලන සිගරට් කොට වලින් අපූර්ව
නිර්මාණයක් සිදුකිරීමට දකුණු කොරියානු පර්යේෂක කණ්ඩායමක් සමත් වෙලා තියනවා. ඒ, මෙම භාවිතාකළ සිගරට් පෙරණයන්, සුපිරි ධාරිත්‍රක වල ශක්තිය ගබඩා කිරීමට යොදා ගත හැකි ද්‍රව්‍ය බවට
පත්කිරීමට තනි පියවර ක්‍රමයක් සොයාගැනීම මගින්.
ධාරිත්‍රක වලම වැඩි
දියුණුවක් තමයි සුපිරි ධාරිත්‍රක කියන්නෙ. සුපිරි ධාරිත්‍රකයක ක්‍රියාකාරීත්වය
ගැන අවබෝධයක් ලබා ගැනීමට කලින් අපි කවුරුත් අහලා තියන ධාරිත්‍රක ගැන මතක් කරගමු.
ධාරිත්‍රකයක් කියන්නෙත්
බැටරියක් වගේ දෙයක්. ඒ කියන්නෙ විද්‍යුත්
ශක්තිය ගබඩා කරන උපකරණයක්. නමුත් ධාරිත්‍රකයකුත්
බැටරියකුත් විද්‍යුතය ගබඩා කරන්නේ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමවලට. බැටරි වල මේ ක්‍රියාවලිය සඳහා යොදාගන්නෙ රසායනික ශක්තිය. ඒ වුණත් ධාරිත්‍රක වලදී යොදාගන්නෙ ස්ථිති විද්‍යුත් ශක්තිය.
ධාරිත්‍රකයක් නිපදවලා
තියෙන්නේ විද්‍යුත් සන්නායක ලෝහ තහඩු දෙකක් අතරට විද්‍යුතය සන්නයනය නොකරන, පාරවිද්‍යුත් ද්‍රව්‍ය මැදි කිරීම මගින්.
බැටරියක් ආරෝපණය (Charge) වීමට සාමාන්‍යයෙන්
සැලකිය යුතු කාලයක් ගත වුනත් ධාරිත්‍රකයක් ක්ෂණිකව ආරෝපණය වීමත් විසර්ජනය වීමත්
වෙනවා. ධාරිත්‍රක වල ප්‍රධානම වාසිය එයයි. ඒ වගේම ධාරිත්‍රක බරින් අඩුයි.
කොපමණ වාර ගණනක් ආරෝපණය
හා විසර්ජනය (Discharge) කරත් බැටරියක වගේ ක්‍රියාකාරීත්වයට
හානියක් වෙන්නෙ නෑ. ධාරිත්‍රක වල තියෙන
අවාසියක් තමයි බැටරියක තරම් ශක්තියක් ගබඩා කල නොහැකි වීම. මේ සඳහා පිළිතුරක් ලෙස
වැඩි ධාරිතාවයකින් හා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු සුපිරි ධාරිත්‍රක නිපදවා
තිබෙනවා. සුපිරි ධාරිත්‍රක වල වුවත් බැටරියක තරම් ශක්තිය ගබඩා කළ
හැකි නැහැ. නමුත් මේවා යොදා ගැනීමට හේතුව ඉහත සඳහන් පරිදි ක්ෂණිකව
ආරෝපණ ලබා දීමට හැකිවීමයි. උදාහරණයක් විදිහට, මෝටර් රථයකට තිරිංග යෙදීමේදී සැලකිය යුතු විදුලියක් නිපදවෙනවා; සුපිරි ධාරිත්‍රකයකට පුළුවන් මෙම විද්‍යුත් ශක්තිය ක්ෂණිකව ගබඩා කරගෙන රථය
නැවත පණගැන්වීමේදී එම ශක්තිය ලබා දීමට.

සිගරට් පෙරණයන්ගේ විශේෂ
තත්වයන් යටතේ නයිට්‍රජන් සහිත අවකාශයක දහනය කිරීමෙන් (Pyrolisis ක්‍රියාවලිය), එහි ඇති සෙලියුලෝස් ඇසිටේට්, කාබන් මූලික
කොටගත්, විවර සහිත, එනම් විශාල පෘෂ්ඨ
වර්ගඵලයක් සහිත ද්‍රව්‍යයක් බවට පත්කිරීමට හැකියි. මෙම ගුණය නිසා මෙම ද්‍රව්‍ය
සුපිරි ධාරිත්‍රක වලට යොදා ගැනීමට ඉතා සුදුසු වෙනවා.
මෙතෙක් කල් සුපිරි
ධාරිත්‍රක සඳහා යොදාගෙන ඇත්තේ කාබන්, ග්‍රැෆීන් හා කාබන් නැනෝ නල ආදියයි. සිගරට් පෙරණ වලින් නිපදවාගන්නා ලද මෙම නව ද්‍රව්‍යය ඉහත කී සියළු ද්‍රව්‍යයන්ට
වඩා අධික කාර්යක්ෂමතාවක් පෙන්වන බවත් වැඩි ආරෝපණ ධාරිතාවක් සහිත බවත් පර්යේෂකයින්
පවසනවා.
මෙලෙස නවීන අදහස්
යොදාගෙන වැඩි දියුණු කරනලද සුපිරි ධාරිත්‍රක විද්‍යුත් වාහන, සුළං ටර්බයින හා ජංගම උපකරණ වලට සාර්ථකව යොදා ගැනීමට පර්යේෂකයන්
බලාපොරොත්තු වෙනවා.
ඉවතදාන සිගරට් කොටයක්
ගිය දුර ඇත්තෙන්ම පුදුමයි නේද?
සැකසුම - රුවනාරි සේනාපති.
Wikipedia,
Howstuffworks, Smithsonian, Explainthatstuff, Gizmag හා Popularscience වෙබි අඩවි ඇසුරෙනි.
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment