ඔ‍බත් දවසේ වැඩි වේලාවක් ගෙවන්නේ ඉඳගෙනම ද?

No comments
ඔ‍බත් දවසේ වැඩි වේලාවක් ගෙවන්නේ ඉඳගෙනම ද?
බස් රථයක කෙටිදුර ගමනක් යනකොට ඔබ වඩාත් ප්‍රියකරන්නේ ආසනයක ඉඳගෙන යන්න නේද? නමුත් පැය කීපයක් ලියන්නට තිබෙන විභාගයකදී ඔබ ආසනයක වාඩිවෙලා එකම ඉරියව්වෙන් ඉන්නේ නම් එතරම් කැමැත්තකින් නෙවෙයි. මේකට හේතුව ඔබ දැනගෙන හිටියාද? ඇත්තෙන්ම මිනිසුන්ගේ ශරීරය විශාල කාලයක් ඉඳගෙන ඉන්නට හැඩගැසිලා නැතිවීම තමයි මේ අකමැත්තට හේතුව.

මේ ඉඳගෙන සිටීම අකමැත්තක්; අපහසුවක් වුනත් ඔබේ දවස ගෙවන්න සිද්ධවෙන ආකාරය අනුව ඔබටත් දිනකට පැය කීපයක්ම වගේ එකදිගට ඉඳගෙන ඉන්නට සිද්ධවෙන්න පුළුවන්.ඒ වගේම ඇතැම් අයගේ අලසකම නිසාත් දවසේ වැඩිපුර කාලයක් පරිගණකයක් හෝ රූපවාහිනියක් ඉදිරියේ ඉඳගෙන ගතකරන අවස්ථාත් තිබෙනවා.ඔබ මේ කුමන ආකාරයක කෙනෙක් වුනත්  ඔබ දිනකට නොකඩවාම ඉඳගෙන ඉන්න කාලය පැය 6ක් පමණ වෙනවා නම් ඔබේ දින චර්යාව ඔබේ ජීවිතයටම අනතුරක් වෙන්නට ඉතාමත් ආසන්නයි.ඇත්තටම මේ අනතුර මොනවගේද?

ඔ‍බත් දවසේ වැඩි වේලාවක් ගෙවන්නේ ඉඳගෙනම ද?


අපි ඉඳගත්ත වහාම අපේ ශරීරයේ මාංශ පේශිවල විද්‍යුත් ක්‍රියාකාරීත්වය සැලකිය යුතු තරමකින් අඩුවෙනවා.ඒ වගේම මාංශ පේශි චලන සඳහා ශක්තිය ලබාගන්නට සිද්ධ කරන කැලරි දහනය වීමේ ශීග්‍රතාවයත් මින්ත්තුවට කැලරි 1ක් වගේ ප්‍රමාණයක් වෙනකම් අඩුවෙනවා.අපි මේ විදිහට ඉඳගෙන ඉන්න කාලය පැය 3ක් පමණ වෙනකම් දීර්ඝ වුනොත්, පේශි ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා හෘදයෙන් පිටතට රුධිරය ගෙනයන රුධිර නාල වෙන ධමනි විස්ථාරණය (ඇදී දිගහැරෙන) වෙන ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 50% කින් පමණ අඩුවෙනවා.මේ හේතුව නිසාම, ශරීරය තුල රුධිරය ගලාගෙන යන ශීග්‍රතාවයත් අඩු වෙනවා.මේ ක්‍රියාවලිය අපේ ශරීරයේ විවිධ අවයව වලට ලැබෙන රුධිර ප්‍රමාණය, අපි නොදැනුවත්වම, ඒවායේ ක්‍රියාකාරීත්වය අඩාල වන අවදානම් මට්ටමක් දක්වාම අඩුවන්නටත් හේතු වෙන්නට පුළුවන්.

ඒ වගේම මේ ඉඳගෙන ඉන්න කාලය පැය 24ක් වගේ දීර්ඝ කාලයක් වුනොත් ඔබට මුහුණදෙන්නට සිදුවෙන තත්වය වඩාත් භයානකයි.මේ වගේ දීර්ඝ ඉඳගෙන සිටීමක් නිසා අපේ ශරීරයෙන් ග්ලූකොස් අවශෝෂණය කරගන්නට උදව් වෙන ඉන්සියුලින් නම් හෝමෝනයේ ග්ලූකොස් අවශෝෂණය කරගැනීමේ හැකියාව 40% කින් පමණ අඩුවෙනවා.මේ සංසිද්ධිය, ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා වැලඳෙන දියවැඩියාව හෙවත් 2වන ආකාරයේ දියවැඩියාව (Type 2 of Diabetes) වැලදීමට ඇති අවධානම වැඩිවෙන්නයත් හේතුවක් වෙනවා.

ඔ‍බත් දවසේ වැඩි වේලාවක් ගෙවන්නේ ඉඳගෙනම ද?

ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබට බොහෝවිට දිනකට පැය 6ක් පමණවත් එකදිගටම වගේ ඉඳගෙන ඉන්නට සිද්ධවෙනවා ඇති.මෙය ඇතැම්විට ඔබට අපහසුවක් ගෙනදුන්නත්, ඔබ සැපපහසුවට ඉඳගෙන සිටින අවස්ථාවක මදකටවත් ඒ ආසනයෙන් නැගිටින්නට ඔබ උනන්දුවක් දක්වන්නේ නෑ නේද? නමුත් මේ පුරුද්ද ඔබේ ජීවිතයට කොතරම් නම් අවදානමක් එකතුකරනවාද කියලා ඔබ දැනගත්තොත්, ඔබත් සැපපහසු පුටුවක ඉඳ‍ගෙන කාලය ගෙවන්නට පෙර දෙවරක් සිතාවි.

මේ විදිහට දිනපතාම පැය 6කට වඩා නොකඩවා ඉඳගෙන ඉන්නා සති දෙකක් ඔබට ගෙවන්නට සිද්ධ වුනහොත්, පුද්ගල සෞඛ්‍යය සම්බන්ධව කථා කිරීමේදී අයහපත් කොලෙස්ටරෝල් (Bad Cholesterols) නමින් හැඳින්වෙන ඔබේ රුධිරයේ තිබෙන අඩු ඝනත්ව ලිපිඩ (LDL Cholesterol – Low Density Lipids) ප්‍රමාණය අයහපත් මට්ටමක් දක්වා ඉහල යන්නට පුළුවන්. මේ LDL රුධිරනාල ඇතුලත බිත්ති මත තැම්පත් වීම හෘදයාබාධ ඇතිවෙන්නටත් හේතු වෙනවා. මේත් සමගම රුධිරයේ තිබෙන මේදමය අණු ප්‍රමාණයත් ඉහල යනවා.මෙයින් අදහස් වෙන්නේ ඔබේ ශරීරයේ බර වැඩිවෙන්නටත්, ඒ නිසාම ඔබ ස්ථුලභාවයට පත්වෙන්නට මේ ඉඳගෙන සිටීම හේතු වෙන බවයි.

මේ සියල්ලම ඉඳගෙන සිටීමේ කෙටිකාලීන ප්‍රතිඵල.නමුත් ඔබ දන්නවාද ඔබත් දිනකට පැය 6ක් වගේ කාලයක් ඉඳගෙන ඉන්න කෙනෙක් නම් ඒ ආකාරයෙන්ම ඔබ වසර 10ක් 20ක් පමණ ගතකලහොත් ඔබට ඔබේ ජීවිතයට එකතුවන්නට තිබුනු සෞඛ්‍යසම්පන්න වර්ෂ (Quality-adjusted Years) 7ක් පමණ අහිමි වෙන බව?  එපමණක්ම නොවෙයි, හෘදයාබාධ වැලඳීමේ අවධානම 64% කින් පමණත්, පුරුෂයින්ට ලිංගාශ්‍රිත පුරස්ථි ග්‍රන්ථි පිළිකා හා කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම 30% කින් පමණත් ඉහලයාමට මේ අයහපත් ඉඳගැනීමේ පුරුද්ද හේතු වෙනවා.

 බොහෝ දෙනෙක් සිතාවි ඉඳගෙන සිටීම මේ වගේ ලෙඩ රෝග රාශියකට හේතු වුනත්- නිසි ව්‍යායාම වලින් එම ලෙඩරෝග සෑදීමට තිබෙන ඉඩකඩ අඩුකරගන්නට පුළුවන් කියලා. නමුත් පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙන ආකාරය අනුව දිනපතාම නිසිලෙස ව්‍යායාම සිද්ධ කලත්, දිගු වේලාවක් ඉඳගෙන සිටීමෙන්  ඇතිවන අයහපත් ප්‍රතිඵල ව්‍යායාම මගින් වලක්වාගන්නට හැකියාවක් නැහැ.මේ හේතුව නිසාම වැඩි වේලාවක් ඉඳගෙන සිටින්නට පුරුදු වූවෙකුත් දුම් බීමට ඇබ්බැහි වූවෙකුත් අතර වැඩි වෙනසක් නොමැති බවට මේ පර්යේෂණ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඉඳගෙන සිටීම නිසා ඔබේ ජීවිතයටත් මේ වගේ අනවශ්‍ය අවධානමක් එකතු කරගන්නට ඔබ අකමැති වෙන බවට සැක නැහැ.ඒ නිසාම ඔබට ඒ අවධානම මගහැරගන්නට පුරුදු කලහැකි ඉතාමත්ම සරල පුරුදු කීපයක්ම තිබෙනවා.ඉඳගෙන සිටීම ඔබේ දින චර්යාවෙන් ඉවත් කරගන්නට අපහසු නම් ඔබ ඉඳගෙන ගෙවන සෑම පැයකටම මින්ත්තු 5ක් 10ක් අතර කාලයක් සිටගෙන හෝ ඇවිදිමින් ගෙවන්නට පුරුදුවීම හෝ දිනකට ඔබ අසුනක ඉඳගෙන නොකඩවාම ගෙවන කාලය පැය 3කටවත් සීමා කරන්නට උත්සාහ කිරීම ඒවා අතරින් ඔබේ යහපත් සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් පුරුදු බවට පත්වේවි.මේ පුරුදු ඔබ ඉඳගෙන සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට වගේම ඔබට ප්‍රයෝජනවත් ජීවිතකාලයක් ලබාදෙන්නට හේතුවන බවට සැක නැහැ.


සැකසුම - සචින්ත වනිගසේකර

YouTube ඇසුරෙන්

අපගේ විද්‍යා හවුලට එකතුවන්නට ඔබත් කැමතිද? මෙතැනින් අප හා සම්බන්ධ වන්න!


No comments :

Post a Comment