ඇසට නොපෙනෙන කබාය



මීට වසර කිහිපයකට පෙර ඔබ  ඉතාමත් ආශාවෙන් කියවූ , නැරඹු Harry Potter   කතා මාලාව ඔබට මතකද? මේ කතා මාලාවෙත් Harry ගේ අදෘශ්‍යමාන කබාය  ඔබ වඩාත් සිත් ගත් කොටස් අතුරින් එකක් වන්නට ඇති. සමහර විට ඔබටත් එවැනි කබායක් තිබුනා නම් ඔබට කල හැකිව තිබුණු දෑ පිළිබඳව ඔබ සිහින මවන්නට ඇති?

විද්‍යාව කෙතරම් අපූරුද කිව්වොත් වසර කිහිපයකට කලින් සාහිත්‍යයේ  මන කල්පිත නිමැවුමක් වුනු එය යථාර්ථයක් වන්නට තවත් ඇත්තේ පියවර කිහිපයක් පමණයි.
මේ අරුම පුදුම කබාය නිපදවා තිබෙන්නේ  metamaterial නම් කෘතීම ද්‍රව්‍ය විශේෂයක් මගින් . මෙමගින් මූලිකවම සිදු කරනු ලබන්නේ ආලෝකය වැනි විද්‍යුත් චුම්භක විකිරණ, ආවරණය කරන ලද වස්තුව වටා  නැමී ගමන් කිරීමට සැලැස්වීම මගින් එම වස්තුව එම ස්ථානයේ නොතිබෙන බවක් මවා පෙන්වීමයි.
අපි මුලින්ම බලමු metamaterials කියන්නේ මොනවද කියලා.
ආලෝකය, විද්‍යුත් චුම්භක කිරණ විශේෂයක් වන බවත් මෙය සෑදී තිබෙන්නේ එකිනෙකට ලම්භක වූ තල දෙකක් ඔස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්භක ක්ෂේත්‍රයක් කම්පනය වීමෙන් බවත් ඔබ හොඳින්ම දන්නවා. අපි එදිනෙදා ජීවිතයේ භාවිත කරන ප්‍රකාශ උපකරණ , එනම් කාච ආදිය බලපෑම් ඇති කරන්නේ ආලෝකයේ විද්‍යුත් කොටසට පමණයි. එනම් අපි දිනපතා දකින වර්තනය වගේ සංසිද්ධි ඇති වන්නේ ආලෝකයේ මේ විද්‍යුත් සංරචකයට සිදු වන බලපෑම නිසයි. metamaterials හි විශේෂත්වය වන්නේ මෙයට ආලෝකයේ චුම්භක සංරචකයටත් බලපෑම් කල හැකි වීමයි.


Metamaterials හි පවතින, ආලෝකයේ තරංග ආයාමයට වඩා කුඩා ව්‍යුහ මගින් සලකන වස්තුව වටා ආලෝකය නැමී ගමන් කිරීමට සලස්වනවා. මේ සිදුවීම ගලායන වතුර පාරක පවතින විශාල ගලක වැදී වතුර පාර හැරී  ගමන් කිරීමට සමානයි. Metamaterials හි පවතින මෙම කුඩා ව්‍යුහ සාදා තිබෙන්නේ ලෝහ, ප්ලාස්ටික් වගේ සාමාන්‍ය ද්‍රව්‍ය වලින් වන අතර  Metamaterials හි ගුණ රඳා පවතින්නේ මෙම ව්‍යුහ වල හැඩය,ජ්‍යාමිතිය, ප්‍රමාණය වගේ ගුණ මතයි. ඒවගේම මේ ව්‍යුහ වල දිශානති‍ය හා  සැකැස්ම මගිනුත් ස්වභාවික ද්‍රව්‍ය වලින් සිදුනොකරන ආකාරයට ආලෝකය හසුරුවනු ලබනවා.

 
 










මෙම වසරේ මුල් භාගයේදී එංගලන්තයේ හා ජර්මනියේ භෞතික විද්‍යාඥයින් පිරිසක් විසින් අධෝරක්ත කිරණ හමුවේ අදෘශ්‍යමාන  කබායක් නිපදවනු ලැබූ අතර Boston හා Tufts සරසවිවල විද්‍යාඥයින් පිරිසක් විසින් terahertz පරාසයේ තරංග හමුවේ අදෘශ්‍යමාන metamaterial විශේෂයක් නිපදවා තිබෙනවා. terahertz පරාසය යනු අධෝරක්ත හා ගුවන්විදුලි තරංග වලට අතරමැදි තරංග පවතින පරාසයයි. එනම් මෙය වැඩි දියුණු කොට දෘශ්‍ය ආලෝකය හමුවේ අදෘශ්‍යමාන metamaterial නිපදවන්නට පුළුවන්.
ඔබට විශ්වාස කරන්නට පුළුවන්ද ඇඟළුම් ක්ෂේත්‍රයේ බහුලව භාවිතා වන සේද වලිනුත් අපි ඉහතින් සඳහන් කල ආකාරයේ metamaterial විශේෂයක් නිපදවා තිබෙන බව?.  මෙය සාදා තිබෙන්නේ ඉතාමත් කුඩා රත්‍රං සර්පිල වලින් ආවරණය කරන ලද සේද වලින්. මේ එක් සර්පිලයක් split ring resonator යක් නමින් හඳුන්වනු ලබන අතර  සේද metamaterial වර්ග සෙන්ටිමීටරයක මෙවැනි සර්පිල 10,000 පමණ පවතිනවා.
මේ සොයාගැනීමත් සමගම පර්යේෂකයින් හැරුනේ වෛද්‍ය විද්‍යාව දෙසට. මොකද කිව්වොත්  සේද කියන්නේ අපේ ශරීරය මගින් ආගන්තුක ද්‍රව්‍යක් ලෙස නොසලකන,  සිරුර මගින් අහිතකර ප්‍රතික්‍රියා නොදක්වන ද්‍රව්‍යක් නිසා ශරීර අභ්‍යන්තරයේ සිදු කල හැකි පර්යේෂණ බොහොමයකට මේවා දායක කරගන්න පුළුවන් වීම හේතුවෙන් මෙසේ සේද metamaterial ඇසුරින් නුදුරේදීම නිර්මාණය වෙතැයි අපේක්ෂා කළ හැකි නිමැවුම් අතර ශරීරයේ සමහර පටක හා අවයව ආවරණය කිරීම මගින් ඊට පිටුපසින් පවතින අවයව දැකගැනීම සඳහා යොදාගතහැකි ආවරණ මෙන්ම දියවැඩියා රෝගීන්ගේ  සිරුරේ රුධිර ග්ලුකෝස් මට්ටමෙහි සිදුවන වෙනස්වීම් ඉතා ඉක්මනින් හඳුනා ගැනීම සඳහා වන උපකරණයක්ද වනවා.


සැකසුම - දිනේශි තලකිරියාව