කාර්යාල ජීවිතය තුල ඔබ ආරක්ෂිතද?

No comments
/nutritionsafteyforofficeworkers.htm    

කාර්යාලයක සේවය කරන ඔබ සෑම දිනකම පැය 8 ක් පමන රාජකාරී කටයුතු , වගකීම් සහ ඉලක්ක හිසේ දරාගෙන දැඩිසේ වෙහෙසන බව නොරහසකි. එහිදී ඔබගේ ශරීරයද එම ආතතිය දරාගෙන ඔබගේ ඉලක්ක සපුරා ගැනීමට ඉටුකරන මෙහෙය අති විශාලයි. මොහොතක් සිතන්න, ඔබ හෙට අසනීප වුනොත් ඔබට ඔබගේ රාජකාරී කටයුතු , වගකීම් සහ ඉලක්ක ඒ අයුරින් සාක්ෂාත් කරගතහැකිද? තමාගේ ජීවිතයේ ඉලක්ක ජය ගැනීමට මේසා වෙහෙසන ඔබගේ ශරීරයේ නිසි සෞඛ්‍ය හා පෝෂණය ගැන ඔබ හොදින් සැලකිලිමත් වෙනවාද? පිළිතුර “නැත”  නම් මෙම ලිපිය ඔබට බොහෝසේ වැදගත්වේවි. අද වන විට කාර්යාල රැකියාවල නිරතවන පුද්ගලයන් අතර තරබාරැකම , දියවැඩියාව, අධි රුධිර පීඩනය , හෘද රෝග, අධික කොලෙස්ටරෝල් සහ මළ බද්දය වැනි රෝග සුලබ වී ඇත. විශේෂයෙන්ම කාර්යාල තුල සේවය කරන මැදි වයස් පුද්ගලයන් අතර මෙම රෝග දිනෙන් දින පැතිරෙමින් පවතී. මෙවැනි තත්වයකින් අත්මිදී නිසි ස්‍යෙඛයකින් හා පෝෂණයකින් යුක්තව තම රැකියාවේ වගකීම් සහ ඉලක්ක සාර්ථකව සපුරාගන්නා ආකාරය දැනගැනීම ඉතාම වටිනා දෙයකි. 

රැකියාවක නිරත ඔබ බොහෝ විට ආහාර තේරීමේදී කල්පනා කරන්නේ පහසුව , රසය සහ මිල පමණි. නමුත් ගන්නා ආහාරයේ ඇති පෝෂණ ගුණය සහ එයින් ලැබෙන ශක්ති ප්‍රමානය පිළිබද දැනගැනීම නිවැරදි ආහාර රටාවක් සැලසුම් කරගැනීමේ පලමු පියවරයි. මධ්‍යස්ත ක්‍රියාශීලි වැඩිහිටි ගැහැණු කෙනෙකුට දිනකට ශක්තිය 2350 කිලෝ කැලරි (kcal) පමන අවශ්‍ය වන අතර මධ්‍යස්ත ක්‍රියාශීලි වැඩිහිටි පිරිමි අයෙකුට දිනකට ශක්තිය 2850 කිලෝ කැලරි (kcal) ක් පමන අවශ්‍යෙවේ. ඔබගේ යුතුකම වන්නේ දෛනික ශක්ති අවශ්‍යතාවයට අඩු හෝ වැඩි නොවන ලෙස ආහාර ගැනීමයි. දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 3/10 බැගින් උදෑසන හා දිවා ආහාරයටද 2/10 ක් රාත්‍රී ආහාරයටද ඉතිරි 2/10 ක ප්‍රමාණය කෙටි ආහාර වේල් 2 කින්ද ලබාගැනීම සමබර ආහාර වේලක ප්‍රධාන ලක්ෂණයයි. 

/nutritionsafteyforofficeworkers.htm

 
වර්ථමානයේදි කාර්ය බහුලත්වය නිසා බොහෝදෙනා උදෑසන ආහාරයට ගන්නේ බනිස්, පේස්ට්‍රි වැනි කෙටි ආහාර වර්ගයක් හෝ ක්ෂණික නූඩ්ල්ස් වර්ගයක්. මෙවැනි තෙල්, ලුණු , පිටි සහ පැණිරස අධික ආහාර ගැනීම කාර්යාලයක සේවය කරන බොහෝ අයගේ බර අනවශ්‍ය විදිහට වැඩි වෙන්න වගේම දීර්ඝකාලීනව දියවැඩියාව, හෘද රෝග, පිළිකා සහ අධික කොලෙස්ටරෝල් වගේ රෝග වලටත් හේතුවෙනවා. ඔබත් එවැනි කෙටි ආහාර වලට පුරුදු වුන අයෙක්නම් වහාම ඒය වෙනස් කරගන්න. ඔබට උදේට කෑම පිළියල කරන්න වෙලාවක් නැතිනම්, ඔබගේ රැකියා ආයතනයේ ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාගන්න. තවත් සමහරු උදෑසන ආහාරය මගඅරින්නේ එහි තියන භයානක ප්‍රතිඵල නොදැන. උදෑසන ආහාරය මගහැරීම මගින් ග්‍රැස්ට්‍රයිටිස්, හිසරදය වගේම ආහාර මාර්ගයේ පිළිකා පවා ඇතිවෙනවා. ඒ වගේම උදෑසන ශරීරයට නිසි ආහාරයක් නොලැබුනාම උදෑසන අපි ආරම්භකරන රාජකාරී සාර්ථක කරගැනීමට අවශ්‍යකරන ශක්තිය, උනන්දුව සහ මානසික ඒකාග්‍රතාවය අපිට අහිමිවෙනවා. 

උදෑසන ආහාරය ලෙස බත් නම් පීරිසි කෝප්ප 2ක් පමන, පාන් නම් භාගයක් පමණ, තෝසේ හෝ පොල් රොටී නම් 2ක් පමණ, පරාටා නම් 3ක් පමණ ,ඉදි ආප්ප නම් 10ක් පමණ එළවලු වර්ග හෝ හොදි වර්ග 2ක් සමග ආහාරයට ගැනීම ප්‍රමාණවත්. නැතිනම් ඔබට පුලුවන් නිවසේදි කැරට්, ලීක්ස්,බිත්තර මිශ්‍ර කරලා හදපු නූඩ්ල්ස් පීරිසි කෝප්ප 2ක් පමන හෝ කව්පි, කඩල , මුං ඇට වගේ ඇට වර්ගයක් පීරිසි කෝප්ප 1 1/2ක් පමණ තම්බලා, ගාපු පොල් හරි ලුනු මිරිස් එක්ක හරි කාර්යාලයට අරගෙන එන්න. 

 දිවා ආහාර වෙලාව කියන්නේ කාර්යාලයේ උදේ ඉදන් වෙහෙසන ඔබට ඉතා වැදගත් කාලයක්. දිවා ආහාරය පෝෂදායි වන තරමටම කාර්යාලයේ වැඩකටයුතු හවස් වරුවෙත් ඉතා උද්යෝගයෙන් නිමකරගන්න පුලුවන් වෙනවා. නමුත් කාර්ය බහුලත්වය නිසාම සමහර සේවකයන් දිවා ආහාරය මගඅරිනවා.  ඔබත් රාජකාරී බහුල දිනවල එසේ දිවා ආහාරය මග අරින කෙනෙක්නම් එය වහාම වෙනස් කරගන්න. කෙතරම් රාජකාරී බහුල වුනත් දිවා ආහාරය සදහා ලබාදී ඇති වෙලාවේ රාජකාරී සියල්ල හිසෙන් ඉවත්කර දිවා ආහාරය රසවිදින්න. එවිට ඔබට දිනය අවසන් වනවිට සාර්ථකව කටයුතු අවසන් කිරීමට හැකිවීම නිසැකයි. 


/nutritionsafteyforofficeworkers.htm
                                      Pic courtesy http://www.srilanka1.net/links/food_healthy.html

 
දිවා ආහාරය සදහා බත් පීරිසි කෝප්ප 2 ක් පමණ එළවලු වර්ග 2ක් හෝ 3ක් ( පළා වර්ගයක් සමග) එක් එළවලු වර්ගයකින් අවම මේස හැදි 3 බැගින් වත් සහ මස්, මාලු, බිත්තර හෝ කරවල මේස හැදි 3ක් පමණ ආහාරයට ගැනීම සුදුසුයි. මෙහිදි වැදගත් කාරණයක් වන්නේ කාර්යාලයේ ඔබගේ අනෙකුත් යහලු හෙලියන් සමග කෑම හුවමාරු කරගෙන ආහාර ගැනීමයි. එතකොට ඔබට ලැබෙන විවිධ එළවලු / පළා වර්ග නිසා ඔබගේ දෛනික  විටමින් සහ කණිජ ලවන අවශ්‍යතාවය පහසුවෙන්ම සපුරාගැනීමට පුලුවන්කම ලැබෙනවා වගේම දිවා ආහාර වේලාව සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් ගතකිරීමටත් අවස්ථාව සැලසෙනවා. 

  දිවා ආහාරයෙන් පසු වටලප්පන්, පුඩින්, අයිස් ක්‍රීම් වැනි පැණිරස අධික අතුරුපස වලට බොහෝ දෙනා පුරුදු වී ඇත. ඒවාගේ ඇති අධික ශක්ති ප්‍රමාණය සහ සීනී ප්‍රමාණය නිසා තරබාරුවීමට සහ දියවැඩියාව වැනි රෝග වලට අවධානමක් ඇතිවන නිසා ඒ වෙනුවට ලබු තීරැවක්, කෙසෙල් ගෙඩියක් වැනි පලතුරක් හෝ ජෙලි රහිත යෝගට් හෝ මුදවනලද කිරි වඩා සුදුසුයි. එවැනි අතුරුපසක් ගැනීම ආහාර ජීර්ණය පහසු වීමට මෙන්ම ගත් ආහාරයේ අඩංගු පෝෂ පදාර්ථ ශරීරයට උරාගැනීමද පහසුකරයි. ඔබගේ අනෙකුත් යහලු යෙහෙලියන් අතර එක් දිනකට එක් පලතුරක් බැගින් කාර්යාලයට ගෙන ඒමට කතිකාකරගැනීමට පුලුවනිනම්  සෑම දිනකට ඔබට එක් පලතුරක් හෝ ආහාරයට ගැනීමට හැකියාව ලැබෙනවා. එය මනා ස්‍යෙඛයක් පවත්වාගැනීමට ඉතාම වැදගත්. දිවා ආහාරය ගත් විගස තම අසුනේ වාඩි නොවී විනාඩි 5 ක් පමණ කාර්යාලය තුලහෝ පිටත ඇවිදින්න. එය ආහාර දිරවීම පහසු වීමට වගේම උදරය ඉදිරියට නෙරා ඒමද අවමකරයි. මනස සැහැල්ලු කරගෙන නැවත රාජකාරී ආරම්භකලවිට සවස් වරුවේ වැඩකටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය , මානසික සහනය සහ නිර්මාණශීලි භාවය ඔබට ලැබේවි.

                   /nutritionsafteyforofficeworkers.htm 
                    Pic courtesy -http://site.rockbottomgolf.com/scratch-the-cavemans-blog/tag/office-exercise/

 
මීට අමතරව කාර්යාලය තුලදීම ඔබගේ මනා සෞඛ්‍ය සහ පෝෂණය රැකගැනීමට කලහැකි දේ තවත් බොහෝයි. ඔබට පුලුවන් ඔබගේ කාර්යාලයට බර කිරන තරාදියක් සහ ඉණ වට ප්‍රමාණය මැනීමට ටේප් පටියක් ලබාගෙන මාසයකට වරක් ඔබගේ සහ යහලු යෙහෙලියන් බර සහ ඉණ වට ප්‍රමාණය මැන ස්‍යෙඛය තත්වය අවබෝධ කරගැනීමට. ඔනෑම පුද්ගලයෙකු හට උසට සරිලන බර පරාසයක් පවතිනවා. එය ගණනය කරන්නේ ස්කන්ධ දේහ දර්ශකය( BMI) යන අගය මගින්. ඔබගේ උස මීටර් වලින් මැන එහි වර්ගය 18.5 න් වැඩිකිරීමෙන් ඔබගේ උසට සරිලන අවම බරත් උසෙහි වර්ගය 25න් වැඩිකිරීමෙන් ඔබගේ උසට සරිලන උපරිම බරත් දැනගතහැකියි. නිරෝගි කාන්තාවකගේ ඉණ වට ප්‍රමාණය අගල් 31ට අඩු විය අතර නිරෝගි පිරිමියෙකුගේ ඉණ වට ප්‍රමාණය අගල් 35ට අඩු වියයුතුයි.මෙම නිරෝගි පරාසය තුල බර සහ ඉණ වට ප්‍රමාණය පවත්වාගත් විට දියවැඩියාව, අධි රුධිර පීඩනය , හෘද රෝග සහ අධික කොලෙස්ටරෝල් වගේ රෝග වලට තියන අවධානම අඩු කරගන්න වගේම කොච්චර කාර්යබහුල වුනත් අපේ සිරුර ලස්සනට තියාගන්නත් හැකියාව ලැබෙනවා.

 ඔබත් අදම කාර්යාලයේ අනිත් සහලු යෙහෙලියන් සමග එක්ව ස්‍යෙබ්‍යය තත්වය මැන බලාගන්න. හැකි සෑම විටම අනෙත් අයට වඩා නිරෝගී මට්ටමක බර සහ ඉණ වට ප්‍රමානය තබාගැනීමට උත්සාහ කරන්න. ඔබ කාර්යාලය තුල ඇදුම් පැලදුම්, යාන වාහන සහ ගේදොර වැනි අනවශ්‍යය දේවල් වලට තරගයක් ඇතිකරගන්නවා වෙනුවට මේවගේ යහපත් දේකට තරගයක් ඇතිකරගත්තොත් ඒමගින් හැමෝටම යහපතක් සිදුවෙනවා වගේම ඔබට ආත්ම තෘප්තියකින් කාර්යාලයේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාවත් ලැබේවි. 

   ඔබගේ බර හෝ ඉන ප්‍රමාණය සුදුසු ප්‍රමාණයට වඩා වැඩිනම් අද සිටම එය නිවැරදි කරගැනීටම උනන්දුවන්න. සතියකට දින 4ක් වත් අවම ලෙස මිනිත්තු 30ක් පමණ ව්‍යායාම වල නිරතවන්න. එය ඔබට මුලදී ඉතා අසීරු ලෙස දැනුනත් පුරුදු වු පසු සෑම දිනකම එය නැතිවම බැරි අංගයක් වේවි. පිරිමි අයට වෙනදාට වඩා පැය භාගයක් උදෑසන අවදිවී ව්‍යායාම වල නිරතවීම ප්‍රායෝගිකව පහසුවෙන් සිදුකලහැකි අතර එමගින් වඩා නම්‍යශීලිව මුලු දවස පුරාම කාර්යාලයේ කටයුතු වල නිරතවීමට හැකිවේ .කාන්තාවන්ට උදෑසන නිවසේ රාජකාරි අධික නිසා කාර්යාලය නිමවී ගෙදර පැමිණ හවස් කාලයේ හෝ සති අනතයේ ව්‍යායාම වල නිරතවීම සුදුසුයි. කාර්යාලය තුලදීද සෑමවිටම ක්‍රියාශීලි වීමට උනන්දු වන්න. වෙනත් කාර්යාල කාමරයක සිටින සගයෙකුට පණිවුඩයක් ලබාදීමට අවශ්‍යවූ විට දුරකථනය භාවිතානොකර එම කාමරයට ඇවිදගොස් පණිවුඩය ලබාදෙන්න.ලිෆ්ට් එක වෙනුවට පඩි පෙළ භාවිතාකරන්න. කාර්යාලයට මීටර් 500ක් පමණ දුරින් වාහනයෙන් හෝ බසයෙන් බැස ඒ දුර පයින් එන්න පුරුදුවන්න. මෙවා බැලූ බැල්ටම ඉතා කුඩා අදහස් වගේ පෙනුනට ඒ අදහස් ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන කායික සහ මානසික ශක්තිය ඉතා විශාලයි.
කාර්යාලය තුල රැස්වීම්, වැඩමුලු සහ විවිධ දේශන පැවත්වීමේදී බොහෝ විට කෙටි ආහාරයක් ලෙස ලැබෙන්නේ බනිස්, පේස්ට්‍රි, කේක් සහ ක්‍රීම් බිස්කට් වගේ තෙල්, ලුණු , පිටි සහ පැණිරස අධික ආහාර වර්ග. ඔබට පුලුවන්නම් ඒ වෙනුවට ඇපල්, කෙසෙල්, මිදි වගේ පලතුරක් , එළවලු සැන්ඩ්විච්, පලතුරු බීම , දියර යෝගට් , නැව්ම් කිරි වීදුරුවක් හරි ක්‍රීම් නැති බිස්කට් හරි ආදේශ කරන්න තෙල්, ලුණු , පිටි සහ පැණිරස අධික ආහාර වලින් ලැබෙන කරදර වලින් බේරෙන්න පුලුවන් වේවි. 



                            Pic courtesy -http://www.webmd.com/parenting/ss/slideshow-healthy-family

ජලය කියන්නේ අපේ ශරීරය නිරෝගීව තියාගන්න අවශයම දෙයක්. කාර්යාලයේ වැඩ වල හිරවෙලා ඉන්න සේවකයන් දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පානයකරනවාද යන්න අද ලොකු ගැටලුවක්. දිනකට සාමාන්‍යෙයන් ජලය ලීටර් 1.5 ත් 2ත් අතර ( වීදුරු 7 – 8ක්) පානය වකුගඩු වල මනා ක්‍රියාකාරීත්වයට , වායුසමීකරණ යන්ත්‍ර මගින් සිරුර විජලය වීම වැලැක්වීමට, බර පාලනයට වගේම ආහාර ජීරණය පහසු වීමට සහ ප්‍රබෝධමත් ලෙස කාර්යාලයේ වැඩ කිරීමට උපකාරී වෙනවා. ඔබගේ මේසයේ අනිවාර්යෙන්ම වතුර බෝතලයක් පෙනෙන තැනකින් තියාගන්න. ප්‍රධාන ආහාර වෙලකට පැයකට පමණ පසු උදරය පිරෙන තුරු ජලය පානය කරන්න. 

මෙවැනි වැඩපිලිවලකට ඔබටත් අවතීරණ වෙන්න පුලුවන්කම ලැබුනොත් කවදා හෝ රාජකාරී වලින් විශ්‍රාම ගන්නා දවසටත් කාර්යාලයට ගිය පලවෙනි දවසෙදි වගේම සතුටින් නිරෝගීව ඉන්න පුලුවන්වේවි. අපි හැමෝම රස්සාවක් කරන්නේ සතුටින් ජීවත් වෙන්න.නමුත් අපි වැඩකරනකොට එන අවිවේකිබව , වගකීම්, කාලය මදි කම වගේ දෙවල් නිසා අපේ සෞඛ්‍ය ගැන හිතන එක අතපසු වෙනවා. ඒකෙන් අන්තිමේටම වෙන්නෙ සතුටෙන් ජීවත්වෙන්න කරපු රස්සාවෙන්ම ලෙඩ හදාගන්න එක. ඔබත් එම තත්වයට පත්නොවී කාර්යාලයේ රාජකාරී සහ වගකීම් වලට කාලය කැපකරනවා වගේම තමන්ගේ සෞඛ්‍ය හා පෝෂණය රැකගැනීමට කාලය කැපකිරීමටත් පසුබට වෙන්න එපා.  


ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
රජයේ ලියාපදිංචි පෝෂණවේදී,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.



No comments :

Post a Comment

හැඟීම් පාලනය කරන ආන්ත්‍රික බැක්ටීරියා

No comments
අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කෘත්‍යය මොකක්ද කියල ඇහුවොත් ආහාර ජීරණයට උදවු වීම, විවිධ විටමින නිපදවීම වගේ පිළිතුරු ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියනවා මේ බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය අන්ත්‍රවලට පමණක් සීමා නොවී, අපිට ඇතිවන නොයෙක් මනෝභාවයන්ට(Moods) සහ හැඟීම් වලටත් බලපෑම් කරන බව.
 හැඟීම් පාලනය කරන ආන්ත්‍රික බැක්ටීරියා
මේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වනවා. මේවා අතර, ඩොපමීන්, ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA) සහ ප්‍රධාන වශයෙන් සෙරටොනින් වැනි ස්නායුසම්ප්‍රේෂක රසායනික අඩංගු වනවා.

ස්නායු සම්ප්‍රේෂක කියන්නේ මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යයි.  ඒවා ස්නායු සෛල, එහෙමත් නැත්නම් නියුරෝන අතර සංඥා හුවමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වනවා. ඔබගේ හදවතට ස්පන්දනය වීමටත්, පෙනහළු වලට හුස්ම ගැනීමටත්, ආමාශය හා අන්ත්‍රවලට ආහාර ජීරණය කිරීමටත්, මොළය පණිවිඩ ලබා දීමට උදවු කරගන්නේ ස්නායුසම්ප්‍රේෂක.

මේ ස්නායු සම්ප්‍රේෂක අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට ඇති කරන්නේ මොන ආකාරයේ බලපෑම්ද කියලා අපි දැන් බලමු.
ස්නායුසම්ප්‍රේෂක නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නින්ද, අවධානය යොමු කිරීමට ඇති හැකියාව, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම කෙරෙහි ගැටළු ඇති කරනවා. 
ඔබට ධනාත්මක පෙළඹවීම් (Motivation) ඇති කිරීමට ඩොපමීන් නම් සනායු සම්ප්‍රේෂකයට හැකියි. ඔබගේ අවධානය හා ඵලදායී බව වැඩි කිරීමට මෙය උපකාරී වනවා.
සෙරටොනීන් මගින් විවිධ මනෝභාවයන් හා නින්ද පාලනය කරනවා. ඉගෙනීම ආශ්‍රිත කටයුතු වලදීත් මෙය වැදගත් වනවා.
GABA වලට හැකියි ඔබව සතුටින් හා සැහැල්ලුවෙන් තැබීමට.
අපගේ දේහයේ සෙරටොනීන් වලින් 90%ක් හා ඩොපමීන් වලින් 50%ක් නිපදවෙන්නේ ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතවයි. මෙම සෙරටොනීන් නිෂ්පාදනය සඳහා අදාල සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියා කරනවා.

පසුගිය දශකය තුල සිදු කර ඇති අධ්‍යන වලින් පෙනීගොස් ඇත්තේ අන්ත්‍ර ආශ්‍රිතව ජීවත්වන ට්‍රිලියන 100කට අධික ක්ෂුද්‍රජීවී සමූහය මගින් ආහාර රුචිය, හැඟීම් පාලනය මෙන්ම මතකය හා ඉගෙනීමටද බලපෑම් ඇති කරන බවයි. එපමණක් නොවෙයි, මානසික හා ස්නායු ආබාධ ඇතිවීමට ඇති අවදානමද අඩු වැඩි කිරීමට මොවුන්ට හැකියි.

මෙම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය, ධාරක ජීවීන්ගේ මානසික පැවැත්මට ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා, මීයන්ගේ අන්ත්‍ර වල බැක්ටීරියා සාම්පල වැඩීමට සලස්වා ඔවුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කර තිබෙනවා.
එලෙස සිදුකළ එක් පරීක්ෂණයකදී හෙලිවී තිබෙන්නේ මීයන් පිරිසක් සිලින්ඩරාකාර ජල බඳුනකට දැමූ විට යම් දන්නා බැක්ටීරියා විශේෂයක් සහිත මීයන් කෙ‍සේ හෝ පිහිනා ගොඩ ඒමට වැඩි උත්සාහයක් දැරූ බවත් එම ක්‍රියාවලියේදී (එම බැක්ටීරියාව ලබාදී නොතිබුණු මීයන්ට සාපේක්ෂව) ඔවුන් එතරම් ආතතියකට ලක් වී නොමැති බවත්ය.

තවත් පරීක්ෂණයකදී පර්යේෂණ කණ්ඩායම විසින් කාංසා සහගත (Anxious) හැසිරීමක් ඇති මීයන්ගෙන් ලබා ගත් ආන්ත්‍රික බැක්ටීරියා සාම්පල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් දක්වන මීයන් වෙත ලබාදී තිබෙනවා. ඔවුන් සිතූ පරිද්දෙන්ම එම මීයන්ද යම් කාලයකට පසු එවැනි හැසිරීමක් දැක්වීමට පටන්ගෙන තිබෙනවා. මේ ආකාරයේම පරීක්ෂණයක් මිනිසුන්ගේ ආන්ත්‍රික බැක්ටීරියා යොදාගෙනද සිදු කර තිබෙනවා.
මානසිකව පීඩනයට පත්වූ ස්වභාවයක් දක්වන මිනිසුන්ගේද ආන්ත්‍රික බැක්ටීරියා, විශබීජ හා බැක්ටීරියා වලින් තොර වන ලෙස ඇති කල මීයන්ට ඇතුළු කළ විට පෙර ලෙසම එම මීයන්ද ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වී එම මිනිසුන් මෙන්ම පීඩනයට පත් හැසිරීමක් දක්වා තිබෙනවා.
 හැඟීම් පාලනය කරන ආන්ත්‍රික බැක්ටීරියා
කෙසේ වෙතත්, මිනිසුන් පමණක් සහභාගි කරගෙන ඉහත ආකාරයේ පරීක්ෂණ තවමත් සිදුකර නැහැ. නමුත් දැනට මීයන් ඇසුරින් සිදුකර ඇති ඉහත ආකාරයේ පරීක්ෂණ රැසකින්ම ලැබී ඇති ප්‍රථිඵල අනුව ආන්ත්‍රික බැක්ටීරියා හා මොළයේ හැඟීම් පාලන මධ්‍යස්ථානය අතර සෘජු සම්බන්ධයක් ඇති බව පෙනී ගොස් තිබෙනවා.

මේ නිසා, අපේ ශරීරයට හිතකර රසායනික ද්‍රව්‍ය නිපදවන බැක්ටීරියා සහිත ආහාර අනුභව කිරීමෙන් ඔබට ඇතිවන සෘණාත්මක හැඟීම් අවම කරගැනීමටත් ඊට අමතරව තවත් වාසි රැසක් ලබාගැනීමටත් හැකිවන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. නැවුම් එළවළු හා පළතුරු, Pro-biotic යෝගට්, පැසීමට ලක් කරවන ලද ටෝෆු, මිදවූ කිරි, මේ ආකාරයේ ආහාර වලින් කීපයක්. මීට අමතරව සුදුළූණු, කෙසෙල්, කෙඳි සහිත ආහාර ආදිය ආහාරයට ගැනීමෙන් මෙම හිතකර බැක්ටීරියා වර්ධනය කර ගැනීමට පුළුවන්.

ආන්ත්‍රික බැක්ටීරියා පිළිබඳව සිදු කරන අධ්‍යයන හා පරීක්ෂණ මගින්, මන්ද මානසිකතාව(Autism), විශාදය(Depression) වැනි රෝගී තත්ව වලටද ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට හැකිවනු ඇති බව මේ පිළිබඳ පර්යේෂණ පවත්වන පර්යේෂකයින් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

සැකසුම : රුවනාරි සේනාපති.
bebrainfit.com, neurogistics.com, livescience.com ඇසුරෙනි.

No comments :

Post a Comment

රනිල බෝග වල අස්වැන්න වැඩිකරන ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ජෛව පොහොර

1 comment







ලෝකයේ හෙක්ටයාරයකට වැඩිම කෘෂි රසායනික යොදන රට වන ශ්‍රී ලංකාව ලොව 8 වැනි හෙක්ටයාරයකට වැඩිම රසායනික පොහොර යොදන රටයි. මෙසේ ඉවක් බවක් නොමැතිව කෘෂි රසායනික සහ පොහොර යෙදීම නිසා ශ්‍රී ලංකාවේ ශාක, සත්ව සහ මිනිස් ප්‍රජාව මුහුනදෙන ගැටලු ඔබට අලුතින් විස්තර කිරීමට උවමනා නැත. කෘෂීකාර්මික වකුගඩු රෝගය, පස නිසරු වීම, ශාක ජෛව විවිධත්වය විනාශ වීම සහ පානීය ජල මූලාශ්‍ර අපිරිසිදු වීම ඉන් ප්‍රධානය. එමනිසා වර්තමාන කෘෂී පර්යේෂණ අංශයේ ප්‍රධාන අවධානයක් යොමුවූ මාතෘකාවක් බවට පරිසරයට සහ මිනිසුන්ට හිතකාමී ජෛව පොහොර වර්ග නිපදවීම පත්වී ඇත. මෙවන් යුගයක රනිල භෝග වල අස්වැනන් සැලකිය යුතු මට්ටමකින් වැඩි කලහැකි “රනිලසාර” ( Rhizobium Inoculant)  නම් පරිසර හිතකාමී ජෛව පොහොර වර්ගයක් සාර්ථකව අත්හදා බැලීමට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා සහ ඔහුගේ පර්යේෂන කණ්ඩායම ලොව ප්‍රථම වරට සමත්වී සිටී. 

රයිසෝබියා යනු රනිල කුලයේ ශාක වල මූල ගැටිති සාදන පාංශු ක්ෂද්‍රජීවි කාණ්ඩයකි. මෙම රයිසෝබියා විසින් වායු ගෝලයේ ඇති නයිට්‍රජන් රනිල ශාක වලට තිරකර දේ. සොයා, මුං, කවුපි, රට කජු සහ පරිප්පු වානිජමය වටිනාකමක් සහිත රනිල කුලයේ ශාකය. තවද උදුපියලිය,නිල් රටකොඩු වැනි ශාක පශු සම්පත් කර්මාන්තයේ බහුලව ශාක ආහාර ගෙස භාවිතා කරන රනිල කුලයේ ශාක විශේෂය. මෙවැනි වාණිජමය වටිනාකමක් සහිත රනිල කුලයේ ශාක වලට කාර්යක්ෂම රයිසෝබියා ආක්‍රාමණය නැතහොත් රනිලසාර නිපදවුවහොත් රනිල ශාක වලට වායු ගෝලයේ ඇති නයිට්‍රජන් මගින් ශාක වල නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරාගතහැකි වන  නිසා රනිල භෝග වලට කෘතිම නයිට්‍රජන් පොහොර යෙදීම අඩුකරගත හැකිවේ. මෙම අභියෝගය බාරගත් මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා සහ ඔහුගේ පර්යේෂන කණ්ඩායම, ආරම්භයේදී පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ එම පරීක්ෂණ සිදුකර පසුව එම පර්යේෂණ ව්‍යාපෘතිය වඩා පහසුකම් සපිරි ජාතික මූලික අධ්‍යයන ආයතනයට වර්ශ 2011 දී රැගෙන එනලදි.

වර්තමානයේදී මෙම ව්‍යාපෘතිය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සහයෝගී සහ උපදේශන අංශය යටතේ ක්‍රියාත්මක වන අතර වාණිජමය වටිනාකමක් සහිත විවිධ රනිල කුලයේ භෝග සහ තණකොල වර්ග සදහා නිර්මාණය කරනලද රයිසෝබියා ආක්‍රාමණය නැතහොත් රනිලසාර විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය සහිතව කේෂත්‍ර පර්යේෂණ වලට ලක්කර ඇත.

සෝයා වගාව සදහා නිර්මාණය කරනලද රනිලසාර මෙම පර්යේෂණ වල ඉතා සාර්ථක ජෛව පොහොරකි. මෙම රනිලසාර මාස 6 ක කාලයක් කේෂත්‍ර පරීක්ෂණ වලට ලක්කර ඇති අතර එහි ප්‍රතිඵල අපේක්ෂිත ප්‍රතිළුල වලටත් වඩා ඉහල විය. නයිට්‍රජන් පොහොර වෙනුවට රනිලසාර යෙදූ සෝයා වගාව ඉතා සාර්ථක වූ අතර සෝයා අස්වැන්න 10% කින් පමනද වැඩිවී තිබුනි. අද වන විට අක්කර 10000 ට අධික සෝයා වගාවක්  මෙම ජෛව පොහොර යොදමින් රසායනික නයිට්‍රජන් පොහොර රහිතව සාර්ථකව වගා කරනු ලැබේ. 

                                                         

Rizobium_Inoculant_BioFertilizer
                                                  තිස්ස  ප්‍රදේශයේ රනිලසාර යෙදූ  මුං වගාව


Rizobium_Inoculant_BioFertilizer
                                              පොල්පිතිගම ප්‍රදේශයේ  රනිලසාර යෙදූ  කවුපි වගාව


පිටරටින් ආනයනය කරනලද රතු සහ සුදු උදුපියළිය ශ්‍රී ලාංකාවේ කිරි ගොවිපල වල හරකුන්ට පෝෂදායි ආහාරයක් ලෙස වගාකරනු ලැබේ. මෙම උදුපියළිය වගාව සදහා විශාල වශයෙන් යූරියා පොහොර එකතු කරන අතර එමගින් පශු සම්පත් අංශයේ නිශ්පාදන වියදම වැඩිවන අතර එමගින් ශ්‍රි ලංතාවේ මධ්‍යම කදුකරයෙන් ආරම්භ වන ප්‍රධාන ගංගා වල පිරිසිදු පෝෂක ප්‍රදේශද (watersheds ) විනාශ වෙමින් පවතී. ශ්‍රී ලාංකාවේ ප්‍රථම වරට තණ බිම් වල වගා කරන රනිල ශාක වල නයිට්‍රජන් තිරතකිරීම අධ්‍යනය කල මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ලංකාවේ විශාලතම කිරි ගව පට්ටියක් වන අබේවෙළ ගොවිපොළ තුල රයිසෝබියා ආක්‍රාමණ කේෂත්‍ර පරීක්ෂාවන්ට ලක්කරන ලදි. සති 15 සම්පූර්ණවූ තෘණ බිම් වලින් ලබාගත් දත්ත අනුව රනිලසාර භාවිතය මගින් නයිට්‍රජන් පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නතරකිරීමට පමණක් නොව වෙනදාට වැඩි අස්වැන්නක්ද ලබාගැනීමට හැකිවී ඇත. 


Rizobium_Inoculant_BioFertilizer
රයිසෝබියා ආක්‍රාමණ පොහොර යොදා වගක තරන ලද මූල ගැටිතිවිශාල ප්‍රමානයක් සහිත උදුපියළිය

පර්යේෂණ කණ්ඩායමේ මීලග ඉලක්කය වන්නේ දැනට නිපදවා ඇති සෝයා රනිලසාර වල කාර්යක්ෂමතාවය වැඩිකිරීම සහ මුං, කවුපි , රට කජු සහ උදු සදහා නව රනිලසාර නිපදවීමයි. මෙවැනි අතිශය සාර්ථකත්වයට පත් පරිසරයට හිතකාමි දේශිය ජෛව පොහොර ප්‍රචලිත කර, ගොවීන් එම පොහොර භාවිතයට උන්නදු කරවීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ වගකීමකි. එමගින් රසායනික පොහොර නිසා පීඩා විදින පරිසරය මෙන්ම මිනිසුන්ගේද අනාගතය සුරක්ෂිත වන අතර ශ්‍රී ලාංකීය පර්යේෂකයන් මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් පර්යේෂණ වල නියැලීම ධෛර්යමත් කිරීමද සිදුවේ.  


මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ බාහිර පර්යේෂණ මහාචාර්ය සහ සහයෝගී සහ උපදේශන අංශයේ සම්බන්ධීකාරක මහාචාර්ය එස්.ඒ.කුලසූරිය මහතා සමග සාකච්ඡාකර සැකසූ ළිපියකි.


ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍යය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය,
ජාතික මූලික අධ්‍යනය ආයතනය,
මහනුවර.

මෙම ලිපිය විදුසර විද්‍යා සඟරාවේ සහ මව්බිම ඉරිදා යන පුවත්පත් වලද පලවිය

1 comment :

Post a Comment

බටහිර විද්‍යාඥයින් අතින් සිදුවූ ඵෙතිහාසික වරදක් නිවැරදි කිරීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් සමත්වේ

No comments

BioFilmBioFertilizer-blog-post



බටහිර විද්‍යාවේ දියුණුවත් සමග විද්‍යාඥයින්ගේ ප්‍රයන්තය වූයේ ශාක වර්ධනයට අවශ්‍ය පෝෂ පදාර්ථ කෘතිමව සැපයීම මගින් අස්වැන්න වැඩිකරගැනීමේ ක්‍රම හදුනාගැනීමයි. එහි ප්‍රතිඵල ලෙස නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් අඩංගු කෘතිම රසායනික පොහොර නිශ්පාදනය ඇරබුණි. කෘතිම රසායනික පොහොර යෙදීම ආරම්භයත් සමගම කෘෂි බෝග වල අස්වැන්න වැඩිවූ නිසා බටහිරින් ඇරබි කෘතිම රසායනික පොහොර භාවිතය සමස්ථ පෙරදිග සහ අපරදිග රටවල් වල සීඝ්‍රයන් විය්‍යාප්ත විය. නමුත් නව සහශ්‍රයේ ආරම්භයත් සමග ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රටවල සීඝ්‍රයන් ව්‍යාප්ත වූ කෘෂිකාර්මික වකුගඩු රෝගය වැනි  ලෙඩ රෝග, පරිසර විනාශය, ජෛවවිවිධත්වය අඩු වීම, පරිසර උෂ්ණත්වය ඉහල යෑම වැනි ප්‍රශ්න නිසා කෘතිම රසායනික පොහොර නිශ්පාදනය ඇරබි බටහිර රටවල්ම අද වන විට කෘතිම රසායනික පොහොර භාවිතය සීමාකිරීමට උත්සුකවී ඇත. වර්තමානයේ විද්‍යාඥයින්ගේ මතය වන්නේ පරිසර පද්ධතිවල සංකීර්ණ ක්‍රියාවලි අවබෝධකර නොගෙන මෙසේ කෘතිම රසායනික පොහොර භාවිතය මගින් පරිසර පද්ධතිවල ජෛවවිවිධත්වය බිද වැටීම ඉහත ගැටලු වලට ප්‍රධාන හේතුව බවයි.

පරිසර පද්ධතියක ක්‍රියාකාරීක්වය ස්භාවික සංතුලනයකි.පරිසර පද්ධතියක වෙසෙන ශාක ප්‍රජාව, සත්ව ප්‍රජාව සහ ක්ෂද්‍ර ජීවි ප්‍රජාව එම පරිසරයේ තිරසාරබව පාලනය කරයි. ස්භාවික වනාන්තර සෑදීමේ ඉංජිනේරුවන් වන්නේ ශාක භක්ෂක කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන්ය. පරිසර පද්ධතියේ  ශාක, සත්ව හෝ ක්ෂද්‍ර ජීවි ප්‍රජාව අප විසින් කෘතිම වෙනස් කිරීමේදී පරිසර පද්ධතියේ සංතුලනය බිද වැටී පරිසරය විනාශ වේ. උදාහරනයක් ලෙස ස්භාවික වනාන්තරයක් ගනිමු. වනාන්තර වල තිබෙන මව් ශාක, බීජ විශාල ගණනක් ව්‍යාප්ත කලද ඒවායෙන් ප්‍රරෝහණය වන්නේ ස්වල්පයක් පමණි. ඉතිරි බීජ, ශාක භක්ෂක කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් භක්ෂණය කරනු ලැබේ.එමගින් එක් ශාක වර්ගයකට පමනක් අනෙකුත් ශාක අභිබවා ප්‍රරෝහණයට ඉඩ නොදී පරිසර සංතුලනය ආරක්ෂා කරයි. තවද වනාන්තරයේ වෙසෙන ශාක භක්ෂක කෘමීන්ගේ බෝවීම අනෙකුත් කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් පාලනය කරන අතර සතුන් අතරද සංතුලනය යාමණය වේ. වනාන්තරයෙන් ඉහත කී කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් ඉවත් කලහොත් ශාක වල හා සතුන් තුල එම සංතුලනය නැති වී ජෛවවිවිධත්වය බිද වැටේ. වගා කටයුතු වලදී සිදු වන්නේ ශාක සියල්ල ඉවත් කර එක් බෝගයක් පමණක් ප්‍රරෝහණයයි. වගාවට රසායනික පොහොර යෙදීමේදි කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් විශාල ප්‍රමානයක් මියයන අතර ඉතිරි වූ ශාක භක්ෂක කෘමීන් පාලනයට උපකාරී වන කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් නොමැති නිසා සහ එම කෘමීන් හට ආහාර ලෙස ඇත්තේ එම බෝගය පමනක් නිසා කෘමීන් එය ආහාරයට ගෙන සීඝ්‍රයන් ව්‍යාප්ත වේ. එවිට ගොවියන් එම කෘමීන් පළිබෝධකයන් ලෙස හදුන්වන අතර ඔවුන් පාලනයට කෘමි නාශක ඉසිනු ලැබේ. එමගින් තවදුරටත් වනාන්තර සෑදීමේ ඉංජිනේරුවන් බදු කෘමීන් සහ ක්ෂද්‍ර ජීවීන් විනාශවේ. 

මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා නව සංකල්පයක් ලොවට හදුන්වාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ පරිසර පද්ධතියක තිරසාර බව පාලනය කරන්නේ එම පරිසර පද්ධතියේ වෙසෙන ක්ෂද්‍ර ජිවීන්ගේ රසායනික සංඥා හුවමාරුව මගින් බවයි.පරිසර පද්ධතියක ශාක, සතුන් සහ පස තුල ක්ෂද්‍ර ජීවීන් ජීවත්වේ. ඔවුන් අතර සිදුවන රසායනික සංඥා හුවමාරුව මගින් ප්‍රභාසංශ්ලේෂණය, පසේ නයිට්‍රජන් තිරකිරීම, පසේ කාබනික ද්‍රව්‍යය ගොඩනැගීම, ශාක වර්ධක හෝර්මෝන නිපදවීම වැනි පරිසර පද්ධතියක වැදගත් ක්‍රියාවලි යාමනය කරනුලැබේ. මහාචාර්යතුමාගේ මෙම මතය අන්තර්ජාතික පර්යේෂණ සඟරාවක් වන Agriculture, Ecosystems and Environment  හි මෙම වර්ෂයේ දෙසැම්බර් කලාපයේ පලවීමට නියමිතයි. මහාචාර්යතුමාගේ මතය අනුව කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන කෘතිම රසායනික පොහොර හා පළිබෝද නාශක මගින් පසේ වෙසෙන ක්ෂද්‍ර ජීවීන්ගේ රසායනික සංඥා හුවමාරුව  අඩපන කරන අතර එවිට ක්ෂද්‍ර ජීවීන්ගේ මගින් පසේ නයිට්‍රජන් තිරකිරීම අඩුවේ , ශාක වල මූල වර්ධනය අඩුවේ. පසේ කාබනික ද්‍රව්‍යය ගොඩනැගීම අඩුවේ, එමනිසා පසේ ජලය රදාපැවතීම අඩුවේ. මෙසේ පස නිසරු වීම නිසා කෘෂි බෝග වලින් ලැබෙන අස්වැන්න අඩුවේ.  අස්වැන්න අඩුවන විට ගොවියන් තව තවත් කෘතිම රසායනික පොහොර යොදන අතර එමගින් ඉහත විෂම චක්‍රය තවත් ඉක්මන් වේ.

මෙම විෂම චක්‍රය බිද දමා නැවන ගිලිහි ගිය පරිසර සමතුලිතතාවය ඇති කරග හැකිවන්නේ කෙසේද? මහාචාර්ය තුමාට අනුව මෙම ගැටළුවට එකම විසදුම මිනිසා විසින් විනාශ කල පාංශු ක්ෂද්‍රජීවි විවිධත්වය නැවත ඇති කිරීමයි. වසර 10 කට අධික කාලයක් මේ පිළිබද පර්යේෂණ සිදු කල ඔහු ඇතුලු ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමට ලොව ප්‍රථම වරට එම ක්‍රමය හදුනාගැනීමට හැකිවිය.එම සොයාගැනීමත් අහඹු සිදුවීමකි. මහාචාර්ය තුමාගේ පළමු ආචාර්ය උපාධි අපේක්ෂිත සිසුවිය පසේ නයිට්‍රජන් තිරකරන රයිසෝබියම් බැක්ටීරියාව පිළිබද පර්යේෂනයක් සිදු කිරීම සදහා රයිසෝබියම් බැක්ටීරියාවේ හුදු රෝපිතයක් (Pure Culture) සෑදීමේ සෑම අවස්ථාවකදීම රයිසෝබියම් බැක්ටීරියාව සමග එකට වර්ධනය වන දිලීරයක් නිරීක්ෂණය කර ඇත. පසුව එම මිශ්‍ර රෝපිතය ද්‍රව මාධ්‍යයක වගා කර ඇත. බලාපොරොත්තු වු අයුරින්ම එම බැක්ටීරියාව දිලීර සූත්‍රිකා වලට ඇලී වර්ධනයවී තිබෙනු දක්නට ලැබී ඇත. මෙවැනි ස්භාවික ක්ෂද්‍රජීවින්ගේ සංයෝගයක් හදුන්වන විද්‍යාත්මක නාමය ජෛව පටල ( Biofilm) වේ. ජීවී හෝ අජීවි පෘෂ්ඨයක් මත සෑදෙන ක්ෂද්‍ර ජීවී ප්‍රජාවක් ජෛව පටලයක් ලෙස අර්ථ නිරූපනයවේ.

BioFilmBioFertilizer-blog-post
A developed Fungal-Bacterial Biofilm, Penicillium-Bradyrhizobium (Seneviratne and Jayasinghearachchi

 මෙම ජෛව පටල මුලින්ම හදුනාගෙන ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ විවිධ බැක්ටීරියා ආසාධන වලට හේතුවක් ලෙසටය. මහාචාර්යතුමාට අනුව හිතකර  ක්ෂද්‍රජීවින් එකතුවී පරිසරයට උපකාරී ජෛව පටල සාදන අතර ව්‍යාධීජනක ක්ෂද්‍රජීවින් එකතුවී අහිතකර ජෛව පටල සාදයි. මුළුතැන්ගේ ඉවතලන ජලය විසිකරන කානුවේ තිබෙන ගනකම් සෙවල තට්ටුව සහ ළිං ආශ්‍රිතව ඇති දියසෙවල ස්භාවික ජෛව පටල වලට උදාහරණ වේ. ජෛව පටලවල ක්ෂද්‍රජීවින් අධ්‍යයනය සාම්ප්‍රදායික ක්ෂද්‍රජීව විද්‍යාවෙන් වෙනස් වන්නේ හුදු රෝපිත ( Pure Cultures) වෙනුවට මිශ්‍ර රෝපිත ( Mixed Cultures) භාවිතයයි. ජෛව පටලයක් සෑදුන පසු එහි ඇති එක් එක් ක්ෂද්‍රජීවින් වර්ගවලට පෙර නොතිබූ විශේෂිත වූ ජාන ප්‍රකාශනයක්, කායික විද්‍යාවක් සහ ක්‍රියාකාරීත්වයක් ජෛව පටලයට ලැබේ. දිලීර සහ බැක්ටීරියා වෙන වෙනම ශ්‍රාවය කරනවාට වඩා වෙනස් වූ රසායනික සංයෝග ඒවා එක්වී සෑදෙන ජෛව පටල මගින් නිපදවයි. ජෛව පටල මගින් මෙසේ නිදහස් කරන සෑම සංයෝගයක්ම පාරිසරික වැදගත්කමක් උහුලයි.එම සංයෝග මගින් පස තුල තැන්පත්වී ඇති ක්ෂද්‍ර ජීවීන්ගේ අක්‍රීය බීජානු නැවත සක්‍රීය කරයි. එම සක්‍රීයවූ ක්ෂද්‍ර ජීවීන් කාබනික අපද්‍රව්‍ය ජීර්ණය කර පසට පෝෂක සෙමින් නිදහස් කරයි , පසේ නයිට්‍රජන් තිරකිරීම වැඩි කරයි , ශාක වල වර්ධනය වැඩිකරයි. පසේ ජලය රදාපැවතීම වැඩිකරයි. මුලු පරිසර පද්ධතියේම තිරසාර පැවත්ම තහවුරු කරයි.
BioFilmBioFertilizer-blog-post


මහාචාර්යතුමාගේ නව සංකල්පය මත ක්‍රියාත්මක වූ ඔහු ඇතුලු ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමට ලොව ප්‍රථම ජෛව පටල ජෛව පොහොර වර්ගය (Biofilm Biofertilizer) නිපදවීමට හැකිවිය. ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ සහයෝගයෙන් තේවගාව පදහා ප්‍රතමයෙන්ම නිපදවූ එම පොහෙර වර්ගය Biofilm T ලෙස හැදින්වෙන අතර එහි පේටන්ට් බලපත්‍රය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතාට සහ පර්යේෂණ මහාචාර්ය එස්. ඒ.කුලසේකර මහතා සතුය. Biofilm T යනු කෘත්‍රීම හෝ කාබනික පොහෙරෙක් නොව තේ වගාවට හිතකර ක්ෂද්‍රජීවින් සමූහයකින් සෑදූ ජෛව පොහොරකි.දැනට කදුකරයේ තේ වගාවතුල දැඩි උන්නදුවකින් භාවිතා කරන මෙම Biofilm T ජෛව පටල ජෛව පොහොර වර්ගය නිසා ගොවියන්ට ලැබී ඇති වාසි අපමණය. තේ වලට අමතරව වී වගාව, එළවලු වගාව සහ බඩ ඉරිගු වගාව සදහාද Biofilm R, Biofilm Veg ,සහ Biofilm M ලෙස ජෛව පටල ජෛව පොහොර වර්ග ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් නිපදවා ඇත. ජෛව පටල ජෛව පොහොර යෙදූවිට මෙතෙක් කල්  වගාවට යෙදූ රසායනික පොහොර නිසා විනාශ වී ගිය පස නැවත ප්‍රකෘති තත්වයට පත්කරයි. හිතකර ක්ෂද්‍රජීවින්ගේ ක්‍රියාකාරීත්වය වැඩිකර එම ක්ෂද්‍ර ජිවීන්ගේ රසායනික සංඥා හුවමාරුව මගින් ක්ෂද්‍ර ජීවීන් කාබනික අපද්‍රව්‍ය ජීර්ණය කර පසට පෝෂක සෙමින් නිදහස් කරයි , පසේ පසේ නයිට්‍රජන් තිරකිරීම වැඩි කරයි , ශාක වල වර්ධනය වැඩිකරයි. පසේ ජලය රදාපැවතීම වැඩිකරයි. මුලු පරිසර පද්ධතියේම තිරසාර පැවත්ම තහවුරු කරයි.

BioFilmBioFertilizer-blog-post

ජෛව පටල ජෛව පොහොර වර්ගය භාවිතය මගින් රසායනික පොහොර භාවිතය 50% කින් පමණ අඩුකර ඇත.මේ සියල්ලම නිසා තේ ,ලීක්ස් වැනි බෝග වල අස්වැන්න 20% - 30% පමණ  වැඩිවෙන අතර එම භෝග වල රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවද වැඩිකරයි. දළ ගණනය කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ මුලු තේ වගාවටම ජෛව පටල ජෛව පොහොර භාවිතා කලහොත් රූපියල් මිලියන 50 ක් පමණ වියදම ඉතිරිකරගත හැකිවේ. තවද අස්වැන්නද වැඩිවන නිසා ගොවීන්ට ලැබෙන ආදායමද වැඩිවේ.

 
BioFilmBioFertilizer-blog-post


හෙක්ටයාරයකට වැඩිපුරම කෘෂි රසායනික යොදන සහ ලෝකයේ 8 වැනි හෙක්ටයාරයකට වැඩිම කෘෂි රසායනික පොහොර යොදන රට වන ශ්‍රී ලංකාවට මෙම භයානක උවදුරෙන්  මිදීමට පහසුම හා හිතකරම ක්‍රමය මෙයයි. තවද අක්‍රීය වී ඇති ක්ෂද්‍ර ජීවීන් නැවත සක්‍රීයවීම මෙන්ම පසේ ඇති සියලුම වල් බීජ ප්‍රරෝහණය වන අතර එම වල් මර්ධනයට වරක් වල් නාශක යෙදූපසු පසේ මුලු වල් බීජ බැංකුවම විනාශ වන නිසා නැවත වරින් වර වල් නාශක යෙදීමේ වාර ගනන අඩුවේ. 

ජෛව පටල ජෛව පොහොර වල තවත් වාසියක් වන්නේ අඩු පොහොර ප්‍රමාණයකින් වැඩි හෙක්ටයාර ප්‍රමාණයක් ආවරණය කලහැකි වීමයි. තේ වගාවට අක්කරයකට කාබනික පොහෙරෙ මෙට්රික් ටොන් 3 ක් වත් යෙදිය යුතු උවත් තේ හෙක්ටයාරයකට ජෛව පටල ජෛව පොහොර යෙදිය යුත්තේ මිළි ලීටර් 500ක කුඩා බෝතලයක් පමනි. එමගින් ගොවියන්ට ඉතිරිවන මුදල සහ කාලය ඉතා විශාලය. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අවසරය මත දැනට ජෛව පටල ජෛව පොහොර වාණිජමය මට්ටමින් නිශ්පාදනය ආරම්භකර ඇති අතර ආරම්භක රෝපිතය තිපදවීම සහ අවසන් නිශ්පාදනයේ තත්ව පරීක්ෂාව සිදුකිරීම ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් සිදුකරයි. 

මහාචාර්ය තුමාට අනුව බටහිර විද්‍යාඥයින්ගේ නොදැනුවත්කම නිසා සිදුවූ ඵෛතිහාසික වරදක්වූ කෘතිම රසායනික පොහොර භාවිතය නිසා පරිසර පද්ධතිවල වැදගත්ම අංගයවූ ක්ෂද්‍ර ජීවි ජෛවවිවිධත්වය  විනාශවීම නිවැරදි කිරීමේ ක්‍රමය වන්නේ ජෛව පටල ජෛව පොහොර භාවිතයයි. වර්තමානය වන විට රජය ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායනික තහනම් කරමින් කෘෂිකාර්මික වකුගඩු රෝගය මැඩලීම ආරම්භ කලද ප්‍රායෝගික ප්‍රශ්නය වූයේ එවැනි අහිතකර කෘෂි රසායනික වෙනුවට භාවිතා කල හැකි සාර්ථක පොහොර වර්ගයන් සහ කෘමිනාශක වර්ග නොතිබීමයි.  නමුත් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ලෝකයේ ප්‍රතම වරට එම අභියෝගය සාර්ථකව ජයගැනීමට සමත්වී ඇත. එය මහා පරිමාණයෙන් අප රට තුල භාවිතය ආරම්භකර කෘෂිකර්මාන්තයේ අනිසි භාවිතයන් නිසා දරුණු ලෙස පීඩා විදින ශාක,සත්ව සහ මිනිස් ප්‍රජාව රැකගැනීම නිසි බළධාරීන්ගේ යුතුකම සහ වගකීමයි.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා සමඟ සාකච්ඡා කර සැකසූ ලිපියකි.

ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍යය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති අංශය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.

මෙම ළිපිය 2015 ජූනි මස 15 විදුසර විද්‍යා සඟරාවේද පළවිය.

No comments :

Post a Comment

ශ්‍රී ලංකාවේ කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ

No comments


ශ්‍රී ලංකාව වනාහි ලෝකයේ කුඩා රාජ්‍යයයන් වලින් එකක් වුවද ජෛවවිවිධත්වය අතින් ලෝකයේ ඉහළින්ම සිටිනා රාජ්‍යයකි.එම නිසාම අප දිවයින ජ්‍යාතන්තර ජෛවවිවිධත්ව මර්මස්ථානයක් බවට අන්තර්ජාතික ලෙස පිළිගෙන ඇත. කුඩා දිවයිනක් වුවද විවිධ කාලගුණික තත්වයන් සහ භූවිද්‍යාත්මක වෙනස්කම් නිසා ලංකාව තුල ජීවී විශේෂ වල විවිධත්වය ඉතා අධිකය. මෙම පරිසර පද්ධති වල විවිධත්වය නිසා ශ්‍රී ලංකාව අධික ජාන විවිධත්වක් සහිත වාසස්ථාන වල මර්මස්ථානයක් ලෙස වටිනාකමක් අත්පත් කරගෙන ඇත. 

මකුළුවන් වනාහි පාද 8ක් සහ දළයුඟලක් ( fangs ) සහිත සන්ධිපාදිකයන්ය. ඔවුන් කොදු ඇට පේලියක් රහිත ජීවීන් ගනයට වැටෙන අතර විවිධ වාසස්ථාන වල ජීවත්වේ. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පාරිසරික විද්‍යා සහ පාරිසරික ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා අලුතින් රැස්කරගත් භෞතික සාධක මගින් ශ්‍රී ලංකාවේ වෙසෙන Myrmarachne ගණයට අයත් නාමමාත්‍රකුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ සියල්ල ලක්ෂණ සහිතව විස්තර කිරීමට සහ තවත් මකුළු විශේෂ කිහිපයක් අලුතින් හදුනාගැනීමට සමත්වී ඇත. ඔහුගේ මෙම සොයාගැනීම් අන්තර් ජාතික පර්යේෂණ සඟරාවක් වන Journal of Natural History හි මෙම වර්ෂයේ මැයි කළාපයේ පලවී ඇත. එම පර්යේෂණ පත්‍රිකාවේ වැදගත් අංගයක් වන්නේ සාම්ප්‍රදායික ලෙස භෞතික ලක්ෂණ වචනයෙන් විස්තර කරනවා වෙනුවට එම මකුළුවන්ගේ ඡායාරූප යොදාගනිමින් එක් එක් මකුළු විශේෂයන්ට ආවේනික ලක්ෂණ විස්තර කිරීමයි.



පැන පැන යන මකුළු පවුලේ (Salticidae) වැඩිම ජීවී විශේෂ ගණනක් සිටින ගණය (genus) ලෙස Myrmarachne හෙවත්කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවන් හැදින්වේ. ඔවුන් තම ඉදිරි පාද සොලවමින් කුහුඹුවන්ගේ ස්පර්ශේන්ද්‍රයන් (antennae.) අනුකරනය කරනුලැබේ. නමුත් එම මකුළුවන් කුහුඹුවන් සමග ස්පර්ෂ වීමෙන් සෑම විටම වැලකි සිටී. සමහර මකුලු විශේෂ සෑම අතින්ම කුහුඹුවන්ට සමානකම් දක්වයි. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද Myrmarachne හෙවත්කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවන් ගැන සිදුකර ඇති පර්යේෂණ ඉතා අල්පය. මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතාගේ අධ්‍යයන වලින් පසුව එවැනි මකුලු විශේෂ 12 ක් පැහැදිලිව හදුනාගෙන ඇති අතර ඉන් 6 ක්ම ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ වේ. Myrmarachne aurantiaca ,Myrmarachne dishani සහ Myrmarachne morningside යනු මහාචාර්යතුමා  අලුතින් හදුනාගත් කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ 3 කි. 

Myrmarachne aurantiaca යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතාගල ප්‍රදේශයෙන් හදුනාගත් නව කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවිශේෂයකි.
 
ant_like_jumping_spiders_in_Sri_Lankablog
Myrmarachne aurantiaca



මෙම මකුළු විශේෂය දේහ ප්‍රමාණයෙන්, පැතලි මතුපිට පෘෂ්ඨයෙන් සහ තැබිලි රතු පැහැ උඩු කබලෙන් (carapace) අනෙකුත් මකුළු විශේෂ වලින් වෙන්කර හදුනාගත හැකිය.ඔවුන්ට Myrmarachne aurantiaca යන නාමය ලැබී ඇත්තේද මෙම රතුපැහැ උඩු කබල නිසාය.


Myrmarachne dishani යනු මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා නැගෙනහිර සිංහරාජ වනාන්තරයෙන් හදුනාගත් නව කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂයකි. මෙම නව මකුළු විශේෂය එතුමාගේ බිරිඳ වන දිශානි පි. බෙන්ජමින් නමින් නම්කර ඇත. සිලින්ඩරාකාර උඩු කබල මොහුගේ විශේෂ ලක්ෂණයකි.එම මකුලු විශේෂයේ ඇති උඩු කබලේ ඇති සුදු පැහැති ඉරි ඉතා දර්ශීයවේ.
ant_like_jumping_spiders_in_Sri_Lankablog
Myrmarachne dishani



Myrmarachne morningside යනු මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා නැගෙනහිර සිංහරාජ වනාන්තරයෙන් හදුනාගත් තවත් නව කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂයකි. මෙම මකුළු විශේෂය Myrmarachne spissa නම් වෙනත් කුහුඹුවන් වැනි මකුළු විශේෂයකට සමාන වන අතර පිරිමි සතුන්ගේ ප්‍රජනන ඉන්ද්‍රියන් වල රවුම් හැඩති ප්‍රදේශ සහ හිසෙහි පිටිපස පෙදෙසේ දිලිසෙන ස්භාවය මගින් වෙන්කර හදුනාගක හැකිය. මෙම කුහුඹුවන් වැනි මකුලු විශේෂය ශ්‍රී ලංකාවට ඒකදේශික වන අතර ගිලීමලේ වනාන්තර ප්‍රදේශයෙන්ද මෙම මකුළු විශේෂය හමුවී ඇත.

ant_like_jumping_spiders_in_Sri_Lankablog
Myrmarachne morningside



මීට අමතරව මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා මීට පෙර විවිධ පුද්ගලයන් විසින් හදුනාගත් කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ කිහිපයක ආවේනික ලක්ෂණ ඔහු විසින් අලුතින් සොයාගත් නිදර්ශ මගින් විස්තර කිරීමට සමත්වී ඇත. ඒ අතරට හෝර්ට්න් තැන්න සහ පිදුරුතලාග ප්‍රදේශ වලින් සොයාගත් Myrmarachne imbellis මකුළු විශේෂයේ නිදර්ශ, ගිලීමලේ වනාන්තරයෙන්, කිතුල්ගල, මහනුවර උඩවත්තකැලේ,දුනුමඩලාව සහ නකල්ස් කදු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවට ඒකදේශික යැයි අනුමාන කලහැකි Myrmarachne paludosa මකුළු විශේෂයේ නිදර්ශ, අනුරාධපුරය පදවිය, කොළඹ නාවල, මහරගම සහ කුරුණෑගල නිකවැරටිය යන ප්‍රදේශ වලින් හදුනාගත් Myrmarachne prava මකුළු විශේෂයේ නිදර්ශ, උඩවත්තකැලේ, කෑගල්ල කිතුල්ගල,අම්පාර ලාහුගල, මොණරාගල ඉගිනියාගල, කුරුණෑගල ඇතාඟල යන ප්‍රදේශ වලින් හදුනාගත් M. plataleoides මකුළු විශේෂයේ නිදර්ශ සහ කොළඹ බෙල්ලන්විල - අත්තඩිය, කළුතර බොල්ගොඩ වැව, කුරුණෑගල ඇතාගල සහ ජාතික මූලික අධ්‍යයන ආයතනය පරිශ්‍රයෙන් හදුනාගත් Myrmarachne plataleoides මකුළු විශේෂයේ නිදර්ශ වැදගත්වේ.


ශ්‍රී ලංකාවේ වෙසෙන කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ, සැඟවී ගිය ජෛවවිවිධත්වයේ තර්ජනයට ලක්වූ සුන්දරත්වය මුලු ලොවටම විද්‍යාමානකරයි. අපගේ යුතුකම වන්නේ ‍මෙවැනි ජෛවවිවිධත්වයක් පවතින ඒකදේශීය සතුන්ගේ වාසස්ථාන සුරැකීමයි.මෙම අධ්‍යනයන් සදහා අරමුදල් ලබා දී ඇත්තේ ජාතික මූලික අධ්‍යයන ආයතනය සහ ඇලෙක්ස්සෙන්ඩර් වොන් හම්බෝල්ඩ්ට් පදනමේ අධි ශිෂ්‍යත්වයක් විසිනි.

මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි.

ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍යය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.

මෙම ලිපිය 2015 ජූනි 10 විදුසර විද්‍යා සඟරාවේද පලවිය

No comments :

Post a Comment

වයසට යන විට සෑදෙන බෝනොවන රෝග වල මුල උපතට පෙර...!

No comments


දියවැඩියාවෙන් පෙලෙන අයෙකු ඔබට හමුවුනහොත් ඔබට හැගෙන්නේ ඔහු හෝ ඇය අධික ලෙස පැණිරස කෑමට හුරුවූ අයෙක් ලෙසනේද? නමුත් එසේ අධික ලෙස පැණිරස කෑමට හුරුනොවූ සමහර පුද්ගලයන්ටත් දියවැඩියාව වැළදෙනබව ඔබ දන්නවාද‍?  වර්ෂ 1990 දී බ්‍රිතාන්‍ය ජාතික වසංගත රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය ඞේවිඩ් බාකර් මහතා ඉතා වැදගත් සංකල්පයක් ලොවට හදුන්වා දෙනලදි. එනම් කළල අවදියේදී කළලයට ඇතිවන විවිධ අහිතකර බලපෑම් නිසා එම කළලයේ යලි වෙනස් නොවන ආකාරයේ වෙනස්කම් ඇතිවන බවත් එම වෙනස්කම් නිසා ඡීවිතයේ පසු කාලයේදි දියවැඩියාව. අධි රැධිර පීඩනය, පිලිකා ආදී බෝනොවන රෝග සදහා අවදානම වැඩිවන බවත්ය.

/2015/05/Barker-hypothesis-blog-post.html


ඹහු මෙම සංකල්පය ඉදිරිපත් කිරීම සදහා පාදක කරගත්තේ ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සිදුකල නිරීක්ෂණ කිහිපයකි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී එංගලන්තයේ අඩු බර උපත් (උපතේදී බර 2.5 කි.ග්‍රෑ ට වඩා අඩු) ඉහල අගයක් ගත් ප්‍රදේශම දශක කීපයකට පසු කිරීටක ධමණි හෘදයාභාද (Coronary Heart Diseases) වැඩිම ප්‍රදේශ විය. එමනිසා පර්යේෂණ කණ්ඩායමේ නිගමනය වූයේ උපත් බර අඩු වීම වැඩිහිටි වියේදි කිරීටක ධමණි හෘදයාභාද වැළදීමට අවධානම් සාධකයක් බවයි.

                                             
එම කාලයේදීම එංගලන්තයේ වැඩිහිටි පිරිමින් සහභාගීකරගනිමින් සිදුකල අධ්‍යයන දෙකකින් උපත් බර අඩු වීම සහා කිරීටක ධමණි හෘදයාභාද වැළදීම අතර ශක්තිමත් සබඳතාවයක් ඇතිබව තහවුරු විය.පසුව විවිධ රටවලදී සිදුකල අධ්‍යයන මගින් මෙම සබදතාවය ගැහණු පිරිමි දෙපිරිසම අතර ඇති බව නැවත නැවතත් තහවුරු වී ඇත.

වර්ථමානය වනවිට උපත් බර අඩු වීම සහ වෙනත් විවිධ බෝනොවන රෝග (දියවැඩියාව. තරබාරැකම. අධි රැධිර පීඩනය, පිලිකා සහ අධික කොලෙස්ටරෝල් ආදී ) අතර සබදතාවය විවිධ පර්යේෂණ මගින් තහවුරුවී ඇත.මෑතකදී සිදුකල පර්යේෂණ සමාලෝචනයකින් වාර්තාවන අන්දමට උපත් බරහි වැඩිවන සෑම 1 කි.ග්‍රෑ ටම රුධිර පීඩනය 2 mmHg බැගින් අඩුවේ. උපත් බර අඩු වීම නිසා වැඩිහිටි වියේදී සෛලවල ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance)  ඉහළයාම සහ නිරාහාර රුධිරගත ග්ලුකෝස් ( Fasting  Blood Glucose) මට්ටම ඉහළයාම නිසා දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) සදහා අවධානම ඉහළ යනබව හෙලිවී ඇත.පසුකාලීනව ලෝකයේ විවිධ රටවලදී සිදුකරන ලද විවිධ පර්යේෂණ සහ දීර්ඝකාලීන අධ්‍යන මගින් අඝාතය (Stroke), පලමු වර්ගයේ දියවැඩියාව,විශාදය, පියයුරු පිලිකා, පුරස්ථිති ග්‍රන්ථි පිලිකා,ලියුකේමියාව වැනි බෝනොවන රෝග සහ උපත් බර අඩු වීම අතර සබදතාවයන් පැහැදිළිව හදුනාගෙන ඇත.


වර්තමානය වනවිට උපත් බර අඩු වීම සහ බෝනොවන රෝග අතර සබදතාවය විස්තර කිරීමට විද්‍යඥයින්ට හැකිවී ඇත.එහිදී ප්‍රධන ලෙස යාන්ත්‍රණ දෙකක් හදුනාගෙන ඇත. ඉන් පළමුවැන්න කළලයට ලැබෙන පෝෂණය අඩුවීමයි. උපත් බර සහ කළල අවධියේදී මවගේ පෝෂණ තත්වය අතර ඍජු සබදතාවයක් පවතී. ගර්භණී අවධියේදී ගන්නා ආහාර වල කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් අතර අනුපාතය අසමබර වීම සහ ක්ෂද්‍ර පෝෂක ( micro nutrients)  අඩුවීම මෙහිදී කැපීපෙනේ. ඉන්දියාවේ සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත්තේ ගර්භණී අවධියේදී පළතුරු සහා කොළ පැහැති එළවලු අහාරයට එක්කරගැනීම සහ දරුවාගේ උපත් බර හා ග්ලූකෝස් ජීර්ණය කිරීමේ හැකියාව අතර හිතකර සබදතාවයක් ඇතිබවයි. තවද ගර්භණී අවධියේදී ප්‍රමාණවත් තරම් ඉහල කැල්සියම් ප්‍රමාණයක් ශරීරයට ලැබීම දරුවාගේ වැඩිහිටි වියේදී රුධිර පීඩනය අඩුවීමට හේතු වනබව සොයාගෙන ඇත.පොදුවේ ගත් විට කළලයට ලැබෙන පෝෂණය අහිතකර ලෙස වෙනස් වීම ඍජු හා වක්‍ර ලෙස කළලයට බලපාන අයුරු පහත සටහනේ පරිදි විස්තර කලහැකිය.

/2015/05/Barker-hypothesis-blog-post.html


දෙවන යාන්ත්‍රණය මගින් කළල අවධියේදී  ග්ලූකෝස් ඌනතාවයට ( Hypoglycemia) භාජනය වූ දරුවන් හට පසු කාලයේදී දියවැඩියාව වැළදීම විස්තර කිරීමට හැකිවිය. ඉන්සියුලින් යනු සෛල තුලට ග්ලූකෝස් ඇතුලුකිරීමට උපකාරීවන ප්‍රධාන හෝර්මෝනයයි.ගර්භණී අවධියේදී කළලයට නිසි පොෂණයක් නොලැබෙන විටදී කළලය ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය අඩුකර ඉන්සියුලින් සදහා ප්‍රතිරෝධීතාව වැඩිකරගනී. එමගින් ඉතිරිකරගන්නා ග්ලූකෝස් ඉතා වැදගත් ඉන්ද්‍රියන් වන මොළය සහ හදවතට ළබාදීම එහි අරමුණයි. උපතෙන් පසු ජීවිතයේදී මනා පෝෂණයක් ලැබෙනාවිටදී කළලයේ ඇතිවූ ඉන්සියුලින් සදහා ප්‍රතිරෝධීතාව නිසා දියවැඩියාව වැළදීමේ අවධානමට ගොදුරුවේ.
                                             
     
/2015/05/Barker-hypothesis-blog-post.html

මෙසේ කළලයේ පරිසරය අහිතකර ලෙස වෙනස් වීමේදී ( නිසි පොෂණයක් නොලැබීම ,දුම් පානය ,මවගේ මානසික ආතතිය ආදී) කළලය තම පැවත්ම උදෙසා විවිධ වෙනස්වීම් සිදුකරගනුලබයි. ආරම්භයේදී මෙම වෙනස්වීම් තාවකාලික වූවත් පරිසරයේ එම අහිතකර වෙනස දීර්ඝකාලීනව පවතීනම් කළලයේ ඇතිවෙන එම වෙනස යලි යථා තත්වයට පත්නොවේ. 

මෙස් වැඩිහිටි වියේදී සෑදෙන බෝනොවන රෝග බොහෝමයක මූලාරම්භය උපතට පෙර කළල අවධියේ සිදුවන බව බාකර් විසින් ලොවට හෙලිකිරීම බෝනොවන රෝග නිවාරණයේ නව මන්පෙත් විවර කරදී ඇත.බාකර් ගේ මෙම සොයාගැනීම් තුලින් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල් වල ජීවන රටාව වෙනස් වීම,ආහාර රටාව බටහිරකරණය වීම, මත් පැන් සහ දුම් වැටි භාවිතය ඉහළයාම, ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීම සහ ගර්භනී අවධියේදී නිසි පෝෂණයක් නොලැබීම සහ බෝනොවන රෝග ව්‍යාප්තිය ඉහල යෑම අතර සබදතාවය මනාව විස්තර කරනබව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.දරුවෙකු කුස පිළිසිදගත් දා සිට මව නිසි පෝෂණයනින්, නිසි මානසික සහ කායික ස්‍යෙඛයකින් යුක්තවීම දරුවාගේ ළමා කාළයේ වර්ධනය සදහා පමනක් නොව වැඩිහිටි වියේදී  දියවැඩියාව. අධි රැධිර පීඩනය, පිලිකා ආදී බෝනොවන රෝග වලින් වැළකීම සදහාද බෙහෙවින් උපකාරීවන බව අප සියලුදෙනාම මතක තබාගැනීම වටී.

ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති අංශය,
ජාතික මූලික අධ්‍යයන  ආයතනය,
මහනුවර.

No comments :

Post a Comment

ක්ෂණික නූඩ්ල්ස් ගැන ඔබ නොදත් දේ........

No comments


           

             
ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඩ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළදපොළේ තියන මෙම ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන. 

සාමාන්‍ය නූඩ්ල්ස් වලින් ක්ෂණික නූඩ්ල්ස් වෙනස් වන ප්‍රධාන සාධකය තමයි ඒවාගෙ අඩංගු වෙන රස කාරක පැකට්. ක්ෂණික නූඩ්ල්ස්වල රස කාරක පැකට් 2ක් හෝ කිහිපයක් අඩංගුවෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල අලුත්ම සාමාජිකයා තමා කප් නූඩ්ල්ස් කියන්නේ. කාර්ය බහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා තියෙනනේ උදේට ගෘහණියන්ගේ කාර්යබහුලත්වය නිසා වගේම කුඩා ලමුන්  ක්ෂණික නූඩ්ල්ස් වලට දක්වන දැඩි කැමත්ත නිසා.  

ක්ෂණික නූඩ්ල්ස් මේතරමටම අපේ ජීවිත වලට සමීප වුන නිසා නොදැනුවත්වම අපිට සමීප වුන නරක ප්‍රතිඵළත් එමටයි.  අද වෙනකොට විවිධ රට වල සිදුකල පර්යේෂණ වලින් අපි මේතරම් සමීප කරගත්ත ක්ෂණික නූඩ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා.  පෝෂණවේදීන් ක්ෂණික නූඩ්ල්ස් හදුන්වන්නේ බාල තත්වයේ ආහාරයක්  ( junk food ) විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික පිටි ගතිය , ලුණු ගතිය , තෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග ( additives ). 
අපි ගන්න ක්ෂණික නූඩ්ල්ස් වලට අම්ල යාමක ( acid regulators) , රස උත්දීපක ( flavor enhances)  , ආහාර පරිරක්ෂක ( preservatives)  , ප්‍රති කැටිකාරක (anticaking agents) වැනි කෘතිම ආකලන එකතුකරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගුවෙනවා. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගතහැකි උපරිම සෝඩියම් ප්‍රමාණය 2000 mg ( එක තේ හැන්දක්) වුනාට සමහර ක්ෂණික නූඩ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000 mg ට වඩා තියෙනවා.  කප් නූඩ්ල්ස් වල තියන සුප් ගතිය නිසා ඒවගේ තියන සෝඩියම් ප්‍රමාණය නූඩ්ල්ස් පැකට් වල තියන ප්‍රමාණයට වඩා වැඩියි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කලාම අධි රෑධිර පීඩනය , ආඝාතය , වකුගඩු නරක් වීම සහ පිලිකා වගේ දරැණු රෝගවලට තියන අවදානම වැඩිවෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙම්න් පවතින අවධියේ ඉන්න කුඩා ලමයින්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමා මේ ක්ෂණික නූඩ්ල්ස්.

ක්ෂණික නූඩ්ල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට වැක්ස් වර්ගයක් භාවිතාකරනවා. ඒ වැක්ස් තමා ක්ෂණික නූඩ්ල්ස් වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ .ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඩ්ල්ස් හදනකොට උණු වතුර දැම්මාම උණු වතුරේ දියවෙලා අපේ ශරීරයට උරාගැනීමට ලේසි තත්වයකට පත්වෙනවා.මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මාව සහ වකුගඩු වල තැන්පත්වෙලා එම අවයව වලට හානි කරනවා. 

                                           


ක්ෂණික නූඩ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් ( monosodium glutamate ) නැතහොත් MSG බහුලව භාවිතාකරනවා. MSG වලින් කුකුලු මස් රස නූඩ්ල්ස් වල රස වඩා කුකුලු මස් රස කරනවා. ඉස්සෝ රස ක්ෂණික නූඩ්ල්ස්වල රස වඩා ඉස්සෝ රස කරනවා. ආහාර වලින් දීර්ඝකාලීනව MSG ශරීරයට ලැබුනාම විවිධ ආසාද්මිකතා වලට , පපුව දැවිල්ලට , හිසරදය සෑදීමට , මතක ශක්තිය අඩුවෙන්න වගේම ක්ෂණික නූඩ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා. ලංකාවේ දැනට තියන නීතියට අනුව අවුරුදු 3ට අඩු ලමයි වෙනුවෙන් සකස් කරලතියන ආහාර වලට MSG දානඑක තහනම්. ඒතරම් MSG දරුවන්ට අහිතකර වුනාට ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුනගමන් ක්ෂණික නූඩ්ල්ස් කවනවා. ඒවගේම ලංකාවේ නීතිය අනුව වියලි නූඩ්ල්ස්වලට MSG දානඑක තහනම්. ඒ හින්ද තමයි නූඩ්ල්ස් පැකට් ඇතුලේ වෙනමම තියන රසකාරක පැකට් එකේ MSG අඩංගුවෙන්නේ. 

කප් නූඩ්ල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැම්මහම ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිලිකා කාරක සංඝටක උණු ජලයේ දියවෙලා නූඩ්ල්ස්වලට මිශ්‍ර වෙනව කියල නිරීක්ෂණය කරල තියනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය ගොඩක් වැඩී. ඒක නිසා ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල්වලට ගොඩක් වැඩී. ඒවගේම ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ලවෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයාගෙන තියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවධානම් සාධකයක්.



ක්ෂණික නූඩ්ල්ස්වල තියන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියාගන්න එම තෙල් හයිඞ්‍රජනීකරනය කියන ක්‍රියාවලියට ලක්කරනවා. එම ක්‍රියාවලියේදී හැදෙන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතුවෙනවා. මෙම තෙල් නිසා  ක්ෂණික නූඩ්ල්ස්වල ශක්ති ප්‍රමානය අධික වෙලා දීර්ඝකාලීන ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික ආහාර ආකලන ප්‍රමානය කුඩා ලමයින්ගේ ශරීරවල තැන්පත්වීම හින්දා, ක්ෂණික නූඩ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5 ට අඩු කුඩා ලමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරාගැනීමේ හැකියාව අඩුවෙනවා කියලා තහවුරු වෙලා තියනවා. එය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමටද හේතු වෙනවා. 

දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙල කරන්න පුලුවන් වුනත් ඒවගේ තියන භයානක ප්‍රතිපල අති විශාලයි කියලා.  ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටවල් වල ආහාර රටාව වේගයෙන් බටහිරකරනය වෙනවා. ඒකනිසා දවසින් දවස ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය වැඩිවෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පොෂණ මට්ටම සහ ස්‍යෙඛ්‍යය මට්ටම පිරිහෙන එක. එහෙම වුනාම ඉස්සරහට අපේ රටේ පිලිකා රෝගීන්, දියවැඩියා රෝගීන් , හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගෙ ගණන තව තවත් වැඩිවෙනවා. මේ භයානක තත්වය තේරැම් අරගෙන අපි උත්සාහ කරන්න ඔනේ මේ ක්ෂණික නූඩ්ල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.
 ඒසදහා පෝෂණවේදීන් ක්‍රම 2ක් යෝජනා කරල තියනවා. පළෙවෙනි එක තමයි ක්ෂණික නූඩ්ල්ස් වෙනුවට තමන්ගේ ගෙදර දි රස කාරක අඩංගු නැති සාමන්‍ය නූඩ්ල්ස් පිළියෙල කරන එක. එතකොට අපිට පුලුවන් තෙල් අඩුවෙන් , රස කාරක නැතිව , එළවලු වැඩිපුර එකතුකරලා , කුඩා ළමයින්ටනම් බිත්තරයක් හරි මස් හරි මාළු එකතුකරල පෝෂණ ගුණය වැඩිකරලා පිලියෙල කරන්න. ඉලග යොජනාව තමයි ක්ෂණික නූඩ්ල්ස් කනකොට ප්‍රමාණය පාලනය කරනඑක. ඔබ වෙනදට ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් තනියම කනවනම් අද ඉදන් කාත් එක්කහරි බෙදාගෙන කන්න පුරුදුවෙන්න. 
මේ ලිපිය කියවන ඔබත් අනිවාර්යයෙන් ක්ෂණික ක්ෂණික නූඩ්ල්ස්වලට ආස කරන කෙනෙක් වෙන්න ඇති. දැන් ඔබත් කල්පනා කරන්න ක්ෂණික නූඩ්ල්ස්වල රස බලලා ඡීවිතේ ලෙඩරෝග වලට බිලිදෙනවද නැතිනම් ක්ෂණික නූඩ්ල්ස්වලින් ඈත් වෙලා බොහෝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත්වෙනවද කියලා. ඔබ හොදින් මතක තියාගන්න අපි ගන්න ආහාරයක් ක්ෂණික වෙන තරමට එකෙන් ශරීරයට තියන අහිතකර බලපෑමත් වැඩිවෙනව කියලා. 


ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.


No comments :

Post a Comment

අලුත් අවුරුදු කෑම මේසයේ ගුණ අගුණ....

No comments

අලුත් අවුරුද්ද කිව්වාම ගොඩක් අයට ඉස්සෙල්ලාම මතක්වෙන්නේ කැවුම්, කොකිස් , කිරිබත් , අලුවා පිරුනු අවුරුදු කෑම මේසේ. පවුලේ හැමෝම ඒ අවුරුදු කෑම මේසේ වටවෙලා ආහාර අනුභව කරන නැකත ආවාම අවුරුදු කැවිලි වල රස බලනවා. මේපාර අලුත් අවුරුද්දට ඔයාලත් එහෙම ගෙදර අයත් එක්ක එකතුවෙලා රස කැවුම්, කොකිස් , කිරිබත් ,අලුවා වල රස බැලුවානේද? ඒත් ඔයාලා නිකමට හරි ඔය කැවිලින් ඔයාට ලැබෙන පෝෂණ ගුණය ගැන කල්පනාකරලා බැලුවද? කැවුම්, කොකිස් , කිරිබත් වගේ දේශීය කැවිලි වර්ග වල අතීතය ගොඩක් පරණයි.ඒ වුනාට ඒ කැවිලිවල පෝෂණ ගුණය ගැන කරල තියන පර්යේෂණ  ගොඩක් අඩුයි. මම ඔයාලට කියලදෙන්න හදන්නේ අවුරුදු මේසේ තියන රස කැවිලි කීපයක පෝෂණ ගුණය ගැන.

අපි ගන්න හැම ආහාරයකම කාබෝහයිඩ්ඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය කියන පෝෂ පදාර්ථ 3 න් එකක් හරි කිහිපයක් හරි තියනවා.අපි උදාහරණහයකට ගමු කැවුම්. කැවුම් හදන්න ගන්න හාල් පිටි නිසා කැවුම් වල කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් තියනවා. කැවුම් බදින්න ගන්න පොල්තෙල් නිසා කැවුම් වල මේදය තියනවා. මේ හැම පෝෂ පදාර්ථයකින්ම අපේ ශරීරයට ශක්තිය ලැබෙනවා. කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් ග්‍රෑම් 1 කින් ශක්තිය කිලෝ කැලරි (kcal) 4ක් අපේ ශරීරයට ලැබෙනවා. කිලෝ කැලරි (kcal) කියන්නේ අපි ගන්න ආහාර වල තියන ශක්තිය මනින ඒකකය. මේදය ග්‍රෑම් 1 කින් ශක්තිය කිලෝ කැලරි (kcal) 9ක් අපේ ශරීරයට ලැබෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති තෙල් සහිත කෑමක් කෑවහම වැඩිපුර ශක්තිය ලැබෙන්නේ කොහොමද කියලා. ලංකාවේ සාමාන්‍ය මට්ටමකට ක්‍රියාශීලි වැඩිහිටි පිරිමි කෙනෙකුට දිනකට කිලෝ කැලරි 2900 පමණ ශක්තිය අවශ්‍ය වෙනවා. සාමාන්‍ය මට්ටමකට ක්‍රියාශීලි වැඩිහිටි ගැහැණු කෙනෙකුටනම් දිනකට අවශ්‍ය වෙන්නේ කිලෝ කැලරි 2400 පමණ ශක්ති ප්‍රමානයක්. මේ දෛනික ශක්ති අවශ්‍යතාවයට වැඩියෙන් ශක්තිය අපිට කෑමෙන් ලැබුනොත් අපේ ශරීරයේ ශක්ති අතිරික්තයක් ඇතිවෙලා ශරීරයේ බර අනවශ්‍ය විදිහට වැඩිවෙනව වගේම අධික කොලෙස්ටරෝල් , හෘද රෝග සහ දියවැඩියාව වගේ ලෙඩ රෝග හැදෙන්න තියන අවධානමත් වැඩිවෙනවා. දෛනික ශක්ති අවශ්‍යතාවයට අඩුවෙන් ශක්තිය අපිට කෑමෙන් ලැබුනොත් අපේ ශරීරයේ ශක්ති හිගයක් ඇතිවෙලා ශරීරයේ බර අනවශ්‍ය විදිහට අඩු වෙලා අපේ ශරීරය දුර්වලවෙනවා. ඒනිසා අපි ගන්න ආහාර වලින් ශරීරයට ලැබෙන ශක්ති ප්‍රමාණය ගැන දැනුවත්වෙලා අපගේ ශරීරයට අවශ්‍ය ප්‍රමානයට ආහාර ගැනීම හරිම වැදගත්.


අලුත් අවුරුදු කෑම මේසයේ ගුණ අගුණ....

                                       
අපි දැන් අවුරුදු කෑම මේසයේ තියන කැවිලි වර්ග කිහිපයක පෝෂණ ගුණය ගැන හොයල බලමු. කිරිබත් කියනනේ අවුරුදු කෑම මේසේ විතරක් නෙමේ ඕනෑම වැදගත් අවස්ථාවක චාරිත්‍රයක් විදිහට පිළියෙල කරන ආහාරයක්. සමාන්‍ය ප්‍රමානයේ කිරිබත් කැටයක ( 55 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 240 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 6.3 ක් සහ මේදය ග්‍රෑම් 6.5 කුත් එක කිරිබත් කැටයක අඩංගුවෙනවා.ඒකියන්නේ කිරිබත් කැට දෙකක් ඔබ ආහාරයට ගත්තොත් ශක්තිය කිලෝ කැලරි 500 ක් පමණ, ඒකියන්නේ මුලු දවසටම අවශ්‍යකරන ශක්ති ප්‍රමාණයෙන් 1/5 ක් පමණ ලැබෙනවා. කිරිබත් පිළියලකරනකොට මුංඇට එකතුකරල මුං කිරිබත් හැදුවොත් කිරිබත් වල රස වගේම ගුණයත් තව වැඩිවෙනවා. මුංඇට කියන්නේ රනිල කුලයේ ඇට වර්ගයක්. රනිල කුලයේ ඇට වල ප්‍රෝටීන් සහ තන්තු බහුලයි. ආහාර වල තියන තන්තු වලට පුලුවන් ආහාර ජීර්ණය පහසු කරන්න. ඒවගේම තන්තු අපි ගන්න ආහාරවල තියන මේදය ශරීරයට උරාගන්න එක අඩු කරනවා.



අලුත් අවුරුදු කෑම මේසයේ ගුණ අගුණ....මුං කැවුම් අවුරුදු කෑම මේසයේ තියන ඉතා රසවත්ම කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමානයේ මුං කැවුමක ( 20 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 187 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.6 ක් සහ මේදය ග්‍රෑම් 1.7 ක් පමණත් එක මුං කැවුමක අඩංගුවෙනවා. මම කලින් පැහැදිලිකලා වගේම මුංඇට කියන්නේ ප්‍රෝටීන් සහ තන්තු බහුල ඇට වර්ගයක්. කොකිස් අපි කවුරුත් ආසාවෙන් කන කැවිලි වර්ගයක්. විවිධ හැඩතල වලට හදන සමාන්‍ය ප්‍රමානයේ එක කොකිසකින් ( 5 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 56 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 ක් සහ මේදය ග්‍රෑම් 1.8 ක් පමණත් එක කොකිසක අඩංගුවෙනවා. ඒඅනුව ගත්තාම කොකිස් අනිත් රසකැවිලි වලට වඩා අඩු ශක්ති ප්‍රමානයක් සහිත කැවිළි වර්ගයක්.



වැලිතලප නම් හැබැයි ශක්ති ප්‍රමාණය තරමක් වැඩි රස කැවිලි වර්ගයක්.ඊට හේතුව අධික පැණිරස ගතිය. සමාන්‍ය ප්‍රමානයේ වැලිතලපයකින් ( 20 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 257 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 2.3 ක් සහ මේදය ග්‍රෑම් 2.5 ක් පමණත් එක වැලිතලපයක අඩංගුවෙනවා. වැලිතලප වගේම ශක්ති ප්‍රමාණය තරමක් වැඩි කැවිලි වර්ගයක් තමයි පැණි වළලු කියන්නේ. සාමාන්‍ය ප්‍රමානයේ පැණි වළල්ලකින් ( 20 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 247 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.7 ක් සහ මේදය ග්‍රෑම් 12.9 ක් පමණත් එක වළල්ලක අඩංගුවෙනවා. අවුරුදු කෑම මේසයේ තියන කැවිලි වර්ග අතරින් මේදය වැඩිම කැවිලි වර්ගයක් තමයි මේ පැණි වළලු.

අලුත් අවුරුදු කෑම මේසයේ ගුණ අගුණ....



අලුවා කියන්නේ සෑම නිවසකම වගේ අලුත් අවුරුද්දට හදන කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමාණයේ අලුවා කෑල්ලකින් ( 25 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 145 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් සහ මේදය ග්‍රෑම් 3.4 ක් පමණත් එක අලුවා කෑල්ලක අඩංගුවෙනවා. අලුවා හදනකොට  වියළි කජු එකතුකළාම අලුවා වල රස වගේම ගුණයත් වැඩිවෙනවා. කජු වල තියන අසංතෘප්ත මේද අම්ල කියන විශේෂ මේද වර්ගයට පුලුවන් අපේ ශරීරයේ තියන නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොද කොලෙස්ටරෝල් වැඩිකරන්න.

කේක් කියන්නේ පාරම්පරික අවුරුදු කෑම මේසයේ තිබුන කැවිලි වර්ගයක් නොවුනට අද වෙනකෙට අවුරුදු කෑම මේසයේ විතරක් නෙමේ ඕනෙම උත්සව අවස්ථාවක නැතුවම බැරි කැවිලි වර්ගයක් වෙලා. සමාන්‍ය ප්‍රමාණයේ බටර් කේක් කෑල්ලකින් ( 30 ග්‍රෑම් පමණ) ශක්තිය කිලෝ කැලරි 110 ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් සහ මේදය ග්‍රෑම් 4.5 ක් පමනත් එක බටර් කේක් කෑල්ලක අඩංගුවෙනවා. අපි වෙළදපොළෙන් මිලදීගන්න අයිසිං කේක් සහ චොකලට්  කේක් වගේ කේක් වර්ගවල  ශක්තිය සහ මේදය ප්‍රමාණය මීට වඩා වැඩිවෙනවා.

අලුත් අවුරුදු කෑම මේසයේ ගුණ අගුණ....

කෙසෙල් කියන්නේ රස කැවිලි වර්ගයක් නොවුනට අවුරුදු කෑම මේසය ලස්සන වෙන්න වගේම අවුරුදු කෑම මේසය පෝෂණ ගුණය වැඩිකරන්නත් උදව්වෙන පළතුරක්. අපේ රටේ විවිධ වර්ග වල කෙසෙල් වැවෙනවා. කෙසෙල් වර්ගය අනුව පෝෂණ ගුණය වෙනස් වුනාට සමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් ( 80 ග්‍රෑම් පමණ) ශක්තිය ශක්තිය කිලෝ කැලරි 68ක් පමණ අඩංගුවෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1 ක් පමණ සමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක අඩංගුවෙනවා. කෙසෙල් වල මේදය අඩංගුවෙන්නේ නැහ. බලන්න කෙසෙල් වල බරට සාපේක්ෂව අපේ ශරීරයට ලැබෙන ශක්ති ප්‍රමාණය රස කැවිලිවලට වඩා ගොඩක් අඩුයිනේද? ඒක නිසා කෙසෙල් ශරීරයේ බර පාලනයට හරි වැදගත්. කෙසෙල් වල විටමින් C, A, E සහ විටමින් K වලට අමතරව තන්තුත් බහුලව අඩංගුවෙනවා. ඒ හින්දම කෙසෙල් කියන්නේ මළ බද්දය, අධි රැධිර පීඩනය, මානසික ආතතිය වගේම ග්‍රැස්ට්‍රයිටිස් සුවකිරීම සදහාද උපකාරීවෙන ඉතාමත් ගුණ පළතුරක්.

දැන් ඔයාලට අවුරුදු කෑම මේසයේ තියන ප්‍රධාන කැවිලි වර්ග කිහිපයක ශක්ති ප්‍රමාණය සහ පෝෂණ ගුණය ගැන තරමක අදහසක් එන්න ඇති. අපි වැලිතලප , පැණි වළලු සහ අයිසිං කේක් වගේ ශක්තිය අධික ආහාර ගන්නකොට ඒවගේ ප්‍රමාණය පිළිබදව අවධානය යොමුකරන්න ඕනේ. එහෙම නැතිව අපි පාලනයක් නැතිව ශක්තිය අධික ආහාර ගත්තොත් අපේ ශරීරයේ අනවශ්‍ය ශක්තියක් ඉතිරිවෙලා අපි ලෙඩ වෙන්න වුනත්  පුලුවන්. ඒවගේම කැවුම් ,කොකිස් වගේ කැවිලි ගැඹුරු තෙලේ බඳිනකොට ඒ තෙල් නැවත නැවත ප්‍රයෝජනයට ගන්න හොද නැහ. ඊට හේතුව තමයි කැවුම් , කොකිස් බඳිනකොට තෙල් අධික උෂ්ණත්වයකට රත්වුනාම තෙල් වල සංයුතිය වෙනස් වෙලා ට්‍රාන්ස් මේදය (Trans fat) කියල සංයෝගයක් හැදෙන එක. ඒ ට්‍රාන්ස් මේදය අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිකරනවා.

සමාඡ විද්‍යාඥයින් කියන විදිහට අවුරුදු කාලයේ ගමේ ලොකු පොඩි හැමෝම ගැහැණු පිරිමි භේදයකින් තොරව කණා මුට්ටි ගැසීම, කොට්ට පොර ගැසීම, කඹ ඇදීම, ඔංචිලි පැදීම , ලිස්සන ගහේ නැගීම වගේ අවුරුදු ක්‍රීඩා වල නිරතවෙන්නේ අවුරුදු කාලෙට කන කැවිලි වලින් ශරීරයට ලැබෙන අධික ශක්තිය වැය කරලා නිරෝගීව ඡීවත්වෙන්න. ඉතින් ඔයාලත් අවුරුදු කාලෙට විවිධ රස කැවිලි වර්ග රස බලනව වගේම අවුරුදු ක්‍රීඩා වල නිරතවෙලා ශරීරය නීරෝගීව තියාගන්නත් අමතක කරන්න එපා.

ප්‍රදීප් පියතිලක,
සන්නිව්දන සහ මාධ්‍ය නිලධාරී.
ජාතික මූලික අධ්‍යයන ආයතනය.

No comments :

Post a Comment

රාමුවෙන් පිටත සිතන්නට අපිත් හුරු වෙමු ද ?

No comments



           මෙම ප්‍රහේලිකාව විසඳීමට ඔබත් උත්සහයක් දරන්න.මෙම තිත් නවය සරල රේඛා  හතරක් හෝ ඊට අඩු ගණනකින්එකිනෙක යා කිරීමට ඔබට හැකිදැයි බලන්න.          පෑන ඔසවන්නේ නැතිව එක දිගට ඉරි ඇඳිය යුතු බව ද සලකන්න.

ඔබටත් කවුරුන් හෝ රාමුවෙන් පිටත හිතන්නයැයි  පවසා ඇත් ද? ඒ ඔබේ ගුරුවරිය විය හැකිය.නැතහොත් ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානියා විය හැකිය.ඇත්තෙන්ම මෙම සංකල්පය ඉතා වටිනා එකකි.මෙහි ගැබ්වී ඇත්තේ අනෙක් අය දකින‚ සිතන ආකාරයට වඩා වෙනස් වූ යමක් නිර්මාණාත්මක ලෙස දැකීමට සිතීමට හුරු වීමයි.

ඇත්තෙන්ම රාමුවෙන් පිටත සිතීමනැත්නම්  “Thinking out of the box” යන සංකල්පයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ඔබ ඉහත උත්සාහ කල තිත් නවයේ ප්‍රහේලිකාවයි. මෙය විසඳීමට ඔබත් උත්සාහ කලා නම් සමහරවිට එම තිත් නවය මායිම් වී ඇති මනඃකල්පිත කොටුව තුල සිරවී නොයෙක් උත්සහයන් දරන්නට ඇති. නමුත් මෙය විසඳීමට නම් එම කොටුවෙන් පිටතට දිවෙන ඉරි ඇඳිය යුතු බව පහත දී ඇති විසඳුම නිරීක්ෂණය කලහොත් ඔබට වැටහේවි. 
පළමු උත්සහයේදී සෑම දෙනාම පාහේ එම මනඃකල්පිත රාමුව තුල සිරවීමෙන් පෙන්‍නුම් කරන්නේ ප්‍රශ්නයකට විසඳුම් සෙවීමේදී අපේ මනස අනවශ්‍ය සීමාවන් වල කොටුවීමට නැඹුරු වන බවයි. අපි උත්සහ කල යුත්තේද මේ අනිසි කොටුවීමෙන් මිදීමටයි.

විසඳුම

පෘථිවිය පැතලි හැඩැති යැයි යන මතය දරන අවධියක එය ගෝලාකාර විය යුතු බව පෙන්වා දෙන්නට pythagoras වැනි දාර්ශනිකයෙක්ට හැකි වුයෙත් ‚ඇපල් ගසකින් ගෙඩියක් වැටෙනවා දැක එවන් සරල සංසිද්ධියක් තුලින් ගුරුත්වාකර්ෂණ බලය ගැන අදහසක් පල කරන්න  Isaac Newton විද්‍යාඥයාට හැකි වුයෙත් ඔවුන් එකී රාමුවෙන් මිදුනු නිසා නොවේද ?

එවැනි නිර්මාණාත්මක බව නැතිනම් වෙනස් ආකාරයකට සීතීමේ හැකියාව උත්පත්තියේ සිටම ගෙන එන හැකියාවක් ලෙස සිතීමට බොහෝ දෙනා පෙළඹී ඇත.නමුත් ඇත්තෙන්ම එය  අනෙක් බොහෝ දේ මෙන් පුරුදු පුහුණුවෙන් අපේ ජීවිත වලට එකතු ක‍රගන්නට හැකි දෙයක්ය.

ඔබ ගත කරන කාර්යබහුල ජීවිතයත් සමග රාමුවෙන් පිටත සිතීමට හුරු වීම කොතැනින් ආරම්භයක් ගත යුතු දැයි ඔබට සිතෙන්නට පුළුවන්.එය එතරම් අපහසු දෙයක් නොවේ. එයට හේතුව වන්නේ ඔබේ ජීවන රටාවේ සිදුකරන සුළු වෙනස්කමක් වුවද ඔබේ චින්තනයේ විශාල පෙරලියක් ඇති කිරීමට හැකි වීමයි.එනිසා ඒකාකාරී ජීවන රටාවෙන් මදක් මිදීමට අපිත් හුරු විය යුතුය. ඔබ නිවාඩු දිනකදී පිටින් ආහාර ගැනීමට යන්න හුරු වී ඇති කඩය දිනකට වෙනස් කර බලන්න ඔබ සිතා නැද්ද? නැත්නම් හවස නිවසට යන මාර්ගය හැකි නම් දවසකට වෙනස් කර බලන්න.ඔබ නිදහසේ තනිව පාරේ ඇවිදින විට හෝ ඔබ නිවසේදී නාමින් සිටියදී නොයෙක් ආකාරයේ නැවුම් සිතුවිලි‚ අදහස් ගලා එන බව ඔබට තේරී ඇති.එවන් අවස්ථාවන්ට  ඔබ ඉඩ හසර ලබා දිය යුත්තේ එය ඔබේ නිර්මාණාත්මක හැඟීම් මතු කිරීමට ඉවහල් වන බැවිනි.තවද නිවසේදී ඔබට සිතෙන පරිදි අලුත් විදිහේ ආහාරයක් පිළියෙල කිරීමට උත්සහයක් දැරීම‚ වෙනත් භාෂාවක් ඉගෙනීමට උත්සුක වීම හෝ වෙනත් ක්ෂේත්‍රයක් පිළිබඳ අධ්‍යනය කිරීමට උනන්දු වීම ද ඔබේ මනසට නිදහසේ සිතීමට හුරු වීමට අවකාශය ලබා දෙන බව මනෝවිද්‍යාඥයින් පවසනවා.                                          


රාත්‍රියේදී පරිගණකය‚ දුරකථනය ආදී සියල්ල විසන්ධි කර‚ ආලෝක පහන් නිවා කළුවරේ  ඔබ කාමරයේ සිටින අවස්ථාවක් පිළිබඳ සිතා බලන්න.රාත්‍රියේ නිදාගැනීමට පෙර එවන් නිසංසල අවස්ථාවක් හෝ උදෑසන අවදි වන අවස්ථාවක්, ඉතා ගැඹුරින් ඕනෑම දෙයක්  පිළිබඳ සිතා බැලීමට කදිම වේලාවක්.එවැනි අවස්ථාවක චිත්ත රූප මවමින් කල්පනාවේ යෙදීමට ඔබේ මනසට ඉඩ දීම                                                    රාමුවෙන්  පිටත සිතීමට මං පෙත් විවර කරන්නකි.

නව නිපැයුමක් කිරීමට උත්සහ කරන අයෙක්ට වේවා‚ වෙනස් වූ තේමාවක නවකතාවක් ලියන කෙනෙක්ට හෝ ප්‍රහේලිකාවක් විසඳමින් සිටින කෙනෙක්ට වේවා නැත්නම් ක්ෂේත්‍රයේ නව පෙරලියක් ඇති කිරීමට සිතන ව්‍යාපාරිකයෙක්ට හෝ වේවා  පැන නගින අදහස්‚ සිතුවිලි අපමණ විය හැකිය.මනෝවිද්‍යාඥයින් පවසන්නේ එවැනි අවස්ථාවක සිතට නැංවෙන අදහස් සිතේ හිර නොකර ‚හැකි නම් තමුන් සමගම ශබ්ද නගා කතා කර සංවාදයේ යෙදෙමින්‚ ඒවා සිතින් නිදහස් කල යුතු බවයි.එවිට විවිධාකාර අදහස් අතරින් සුදුසුම දේ තෝරාගැනීමට පහසු වනු ඇත. මෙහිදී විශේෂ කාරණයක් වන්නේ මේක නම් එතරම් සාර්ථක වෙන්නැතිවෙයි’ මේක ඉවරයක් කරගන්න බැරිවෙයි වැනි සෘණාත්මක ආකල්ප වලින් බැහැර වීමයි.

J.K.Rowling වැනි කතෘවරියක් , Harry Potter වැනි වෙනස් ලෝකයක් කරා අපව ගෙන යන කතා මාලාවක් රචනා කලෙත්‚ Apple සමාග‍මේ සම-ප්‍රාරම්භක Steve Jobbs  කාලයත් සමග නවීන නිර්මාණ එළි දැක්වුවෙත්, Mark Zuckerberg වැනි තරුණයෙක් Facebook වැනි සමාජ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පෙළඹුනෙත් එලෙස ඔවුන්ට නැගුණු සිතුවිලි ‍වලට ඉඩ හසර ලබා දුන් නිසයි.

අපි ඇසුරු කරන පුද්ගලයින් ද බොහෝ සෙයින් අපගේ ආකල්ප වර්ධනයට හේතු වෙනවා. ඒ නිසා නැවුම් අදහස් දරන පුද්ගලයින් ඇසුරු කිරීමත්‚ ඔවුන්ගේ අදහස් වලට සවන් දීමත් ‚ ඔවුන්ගේ සිතන රටාවන් අවබෝධ කරගැනීමත් අපට රාමුවෙන් පිටත හිතන්නට ඉවහල් වනු ඇත.

වෙනස් කෝණයකින් යමක් දිහා බැලීමට නම් සැබැවින්ම මනස තියුණු විය යුතුය. මනස තියුණු කරගැනීමට දිනපතා අත්හදා බැලිය හැකි ක්‍රියාකරකම් ඇමරිකානු කර්තෘ Mike Byster ඔහුගේ කෘතියක සඳහන් කර ඇත. මග තොටේදී‚පාසලේදී හෝ කාර්යාලයේදී දිනකට කෙතරම් ඉංග්‍රීසි වචන නෙත ගැටෙනවා ඇතිද? එලෙස වචනයක් දුටු විට මුලින්ම එය හොඳින් කියවා නිරීක්ෂණය කර තේරුම් ගන්න.පසුව එය ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට මනෝමයෙන් පෙළගස්වන්න.උදා;SILENT යන වචනය   E-I-L-N-S-T ලෙස මනෝමයෙන් පෙළගස්වා කියවා බලන්න.මෙය මනසට එක්තරා ව්‍යායාමයකි. තවත් ඉතා සරල ක්‍රියාකරකමක් වන්නේ ඔබ නිදහසේ සිටිනා විට අංක කිහිපයක් ගෙන ඒවා මනෝමයෙන් එකතු කිරීමයි.උදා; 7+3+5+8+10+2. මෙය ඔබ කඩයකින් බඩු මිලදි ගන්නා අවස්ථාවක වුවද කිරීමට උත්සහ කල හැකි සරල දෙයකි.එහෙමත් නැත්නම් ඔබ දවසේ සෑහෙන වේලාවක් දුරකථනයෙන් මිතුරෙක් සමග කෙටි පණිවිඩ සංවාදයක හෝ ‍facebook සංවාදයක යෙදෙමින් සිටින කෙනෙක් නම් එවිට වුවද මෙ‍වන් ක්‍රියාකරකමක් උත්සහ කල හැකිය.ඔබට eඅකුර සහිත වචන  මගහරිමින් සංවාද‍යේ යෙදෙන්න හැකිදැයි උත්සහ කර බලන්න. එය ඔබට අවශ්‍ය දේ පැවසීමට බාධාවක් නොකර ගත යුතුය. එලෙස සුදුසු වචන සොයමින් සංවාද‍යේ යෙදීම වෙහෙසකාරී නම් වෙනත් අකුරකට මාරු වෙන්න.මෙවැනි සරල ක්‍රියාකරකම් වල නිරත වීමට උත්සුක වේ නම් ඔබත් සියුම් දෑ තියුණු මනසකින් නිරීක්ෂණය කරමින්‚ වෙනස් පැතිකඩක් හරහා හිතන්නට හුරු වන බව සත්‍යකි.

කෙසේ වුවත් රාමුවෙන් පිටත හිතමින් අත්හදා බලන සියල්ල සැමවිටම සාර්ථක වේ යැයි අපට විශ්වාස කිරීමට නොහැකි බවද අපි සිහියේ තබා ගත යුතුය. නමුත් අසාර්ථක වේවි යන බියට ඔබ පියවරක් ඉදිරියට නොතබනවා නම් දියුණු ලොවක් කරා යන ගමන අඩපණවනු නිසැකයි. එ නිසා වඩා වැදගත් වන්නේ උත්සහවන්ත වීමයි.නැත්නම් කෙදිනක හෝ ඔබට සිදුවන්නේද අලුත් අදහස් නොමැතිව; අලුත් දෑ ගවේෂණය කිරීමටද නොහැකිව ළි‍‍‍‍‍‍ඳේ ඉන්නා මැඩියන් සේ කල් ගෙවීමටයි.






සැකසුම- කුමුදු රණසිංහ

No comments :

Post a Comment