ස්පර්ශක තිර‍යේ ඔබ නොදුටු පැත්ත



ජංගම දුරකථන ‍හා පරිගණක තාක්ෂණයන්හි එදා මෙදා තුල ඇතිවුණු නවතම ප්‍රවණතාවයන් අතුරින් ස්පර්ශක තිර ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්නවා. නමුත් ඔබ මොහොතකටවත් සිතා තිබෙනවාද මේ සියුම්, පැහැදිලි තිරය පිටුපස සිදුවන බැරෑරුම් කර්තව්‍ය කුමක්ද කියා?


ස්පර්ශක තිර ක්‍රියාකරන්නේ හරියට ඔබේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ තිරයට සවිකොට ඇති අදෘශ්‍යමාන යතුරුපුවරුවක් වගේ. මෙය ක්‍රියාකරන ආකාරය නියමාකාරයෙන් අවබෝධ කිරීමට නම් සාමාන්‍ය පරිගණක යතුරුපුවරුවක් ක්‍රියාකරන ආකාරය පිළිබඳ දැන සිටීම වැදගත්. ඒ නිසා අපි මුලින්ම බලමු සාමාන්‍ය යතුරු පුවරුවක් ක්‍රියාකරන්නේ කොහොමද කියලා.

සාමාන්‍ය යතුරු පුවරුවක සෑම යතුරක්ම විද්‍යුත් පරිපථයක ස්වීචයකට සමානයි. ඔබ එක් යතුරක් තද කරන විට මෙහි එක් විද්‍යුත් පරිපථයක් සම්පූර්ණ වන අතර එය ඔස්සේ විද්‍යුතය ගමන් කරමින් ඔබ විසින් තෙරපන ලද යතුර කුමක්ද යන්න හඳුනාගනියි. ස්පර්ශක තිරවලත් මීට සමාන යමක් සිදුකිරීමට අවශ්‍ය වූවත් සාමාන්‍ය යතුරු පුවරුවලදී මෙන් ස්වීච ආදිය සඳහා ප්ලාස්ටික් ‍වගේ දේවල් භාවිතා කරන්නට බැරි නිසා තිරය මත ඔබේ ස්පර්ශය හඳුනාගැනීමට ,වඩා දියුණු උපක්‍රමයක් භාවිතා කරන්නට සිදු‍වුණා.
දැනට භාවිතයේ තිබෙන ස්පර්ශක තිර අතුරින් එක් වතාවකදී එක් ඇඟිල්ලක් මගින් තිරය මත සිදුකරන ස්පර්ශයන් හඳුනාගත හැකි ඒවා මෙන්ම එක් වතාවකදී ඇඟිලි කිහිපයකින් තිරය මත සිදුකරන ස්පර්ශයන්ද (multi touch) හඳුනා ගන්නට හැකි ඒවාද ඇති බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.
ස්පර්ශක තිර අතුරින් වඩාත්ම ජනප්‍රිය වර්ගය වන්නේ ප්‍රතිරෝධ ස්පර්ශක තිරයි

ප්‍රතිරෝධ ස්පර්ශක තිර (Resistive touchscreens)

අපි මුලින්ම බලමු ප්‍රතිරෝධ ස්පර්ශක තිර සාදා තිබෙන්නේ කොහොමද කියලා
මෙම තිරය මූලිකවම ස්තර 3 කින් සමන්විතයි. මෙහි මතුපිටින්ම පවතින්නේ ඇතුළු පැත්තෙන් සන්නායක ස්ථරයක් ආලේප කරන ලද නම්‍යශීලී, පොලියෙස්ටර් පටලයක්. මීට ඇතුලතින්,සන්නායක ස්තරයක් ආලේප කරන ලද තුනී වීදුරු .තහඩුවක් පවතින අතර මෙ‍ම ස්ථර දෙක අතර මැදින් සමාන පරතර වලින් තබන ලද ඉතා කුඩා  පරිවාරක ගෝල (spacers) සහිත ස්ථරයක් පවතිනවා.


ඔබ මෙහි තිරය ස්පර්ශ කරන විට, ස්පර්ශ කරන ස්ථානයේ පොලියෙස්ටර් පටලය වීදුරු තහඩුවේ සන්නායක ස්තරය සමඟ ස්පර්ශ වී සාමාන්‍ය යතුරුපුවරුවකදී මෙන් පරිපථය සම්පූර්ණ කරන අතර තිරයේ පවතින චිපයක් මගින් එම ස්පර්ශ කරන ස්ථානය නිර්ණය කරනු ලබනවා.

 

ඒ වගේම තමයි මෙවැනි ස්පර්ශක තිරයක් ස්පර්ශ කිරීම සඳහා ඔබේ ඇඟිල්ල වගේ විද්‍යුතය සන්නයනය කරන දෑ මෙන්ම විද්‍යුතය සන්නයනය නොකරන ප්ලාස්ටික් කූරක් (stylus) වුනත් භාවිතා කරන්නට පුළුවන්









Capacitive ස්පර්ශක තිර (Capacitive Touchscreen)

Capacitive ස්පර්ශක තිර නිපදවා තිබෙන්නේ වීදුරු ස්ථර කිහිපයකිනි. මේ ස්තර වලින් ඇතුලතින්ම පවතින ස්තරය හා පිටතින්ම පවතින ස්තර වල ඉන්ඩියම් ටින් ඩයොක්සයිඩ් (Indium Tin dioxide) වැනි විනිවිද පෙනෙන සන්නායක ස්තරයක් ආලේප කොට තිබෙන අතර මේ හරහා විද්‍යුතය සන්නයනය කරනු ලබනවා.මේ නිසා මේ තිරය හරියට විද්‍යුත් පරිවාරකයක් අතරමැදි කොට ගත් සන්නායක ස්තර දෙකක්, කොටින්ම කිව්වොත් ධාරිත්‍රකයක් වගේ.
ඔබේ ශරීරය මගිනුත් විද්‍යුතය සන්නයනය කරන නිසා ඔබ මෙහි තිරය මතුපිට ස්පර්ශ කළ විට මතුපිට සන්නායක ස්තරයේ පවතින ආරෝපණ වලින් ස්වල්පයක් ඔබේ ශරීරය වෙත ගමන් කරන අතර එවිට තිරයේ ඇති විද්‍යුත් ක්ෂෙත්‍රයේ සිදුවන වෙනස්වීම තිරයේ කොන්වල ඇති පරිපථ මගින් හඳුනාගෙන ඒ අනුව ස්පර්ශ කළ ස්ථානය හඳුනාගනු ලබනවා. ඒ වගේම capacitive ස්පර්ශක තිර වලට හැකියාව තිබෙනවා තිරයේ  ස්ථාන කිහිපයක් ඔස්සේ සිදුවන ස්පර්ශ කිරීම් හඳුනාගන්නට. නමුත් මෙවැනි තිරයක් ස්පර්ශ කිරීම සඳහා පරිවාරක ද්‍රව්‍යය එනම් අත්වැසුම් පැළඳි අත් හෝ ප්ලාස්ටික් කූරු (stylus) භාවිතා කරන්න‍ට බැහැ.

 



Surface Acoustic Wave ස්පර්ශක තිර

ස්පර්ශක තිර ධ්වනි තරංග ඇසුරිනුත් නිපදවා තිබෙන බව ඔබට විශ්වාස කළ හැකිද? මෙවැනි තිරවල දාර වලට අනුරූපව x හා y අක්ෂවල ඇති පාරනායක (transducer) මගින් ජනනය කොට දාර අතර පරාවර්තනය කරනු ලබන අති ධ්වනි තරංග පවතින අතර මෙම තිරය මත එක් පාරනායකයකින් නිකුත් කරනු ලබන සංඥා අනෙක වෙත පරාවර්තනය කළ හැකි පරාවර්තකද අඩංගු වෙනවා.


(පාරනායකයක් (transducer) කියන්නේ එක් ආකාරයක ශක්ති ප්‍රභේදයක සංඥා වෙනත් ආකාරයක ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය කළ හැකි උපකරණයක්).

 ඔබ මෙම තිරය ස්පර්ශ කළ විට ඔබේ ඇඟිල්ල මගින් මෙම තරංග වල පවතින ශක්තියෙන් කොටසක් අවශෝෂණය කොට තරංග පද්ධතියට බාධා පමුණුවනු ලබනවා. මෙවිට තිරය මගින් ඔබ ස්පර්ශ කළ ස්ථානය හඳුනාගනු ලබනවා.

මෙවැනි ස්පර්ශක තිරවල මතුපිට සෑදීමට ලෝහ භාවිතා නොවන නිසා මෙම තිර අනෙක් ඒවාට සාපේක්ෂව ඉතා පැහැදිලි හා සියුම් බවකින් යුක්තයි.





Near Field Imaging ස්පර්ශක තිර (NFI Touch screens)

 ඔබේ නිවසේ තිබෙන පැරණි ගුවන්විදුලි යන්ත්‍රයක් අසලට ඔබේ දෑත් ගෙනගිය විට එයින් ශබ්දයක් නිකුත් වන ආකාරය ඔබ අත්දැක ඇති. මෙසේ සිදුවන්නේ වෙන කිසිවක් නිසා නොවේ ගුවන් විදුලි යන්ත්‍රයේ ඇන්ටෙනාව වටා නිර්මාණය වී ඇති විද්‍යුත් චුම්භක  ක්ෂෙත්‍රයට ඔබේ ශරීරය මගින් බාධා පමුණුවන නිසයි. NFI ස්පර්ශක තිර ක්‍රියාකරන්නෙත් මීට සමාන සංකල්පයක් පාදක කොට ගෙනයි. NFI  ස්පර්ශක තිරවල කොන් 4 හි ඉතා කුඩා වෝල්ටීයතාවයන් යොදා ඇති අතර මෙමගින් තිරය මත විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනු ලබනවා. ඔබේ ඇඟිල්ල තිරය අසලට ගෙන ආ විට විද්‍යුත් ක්ෂෙත්‍රයෙහි සිදුවන වෙනස්වීම් තිරය මගින් හඳුනාගනු ලබනවා
 මෙවැනි තිර රළු භාවිතයන්ට ඔරොත්තු දෙන නිසා බොහෝ විට යුධමය කටයුතු වලදී භාවිතා වෙනවා




අපි ඉහතින් සඳහන් කළ තාක්ෂණයන්ට අමතරව අධෝරක්ත කිරණ ඇසුරින් ක්‍රියාත්මක වන ස්පර්ශක තිරද දැනට භාවිතයේ පවතිනවා.ඒවගේම ඔබේ ඇඟිලි ස්පර්ශක තිරය මත තැබූ විට  එ මත පවතින රූපයේ ව්‍යුහය; රළු හෝ සුමට බව ආදියත් ඔබේ ඇඟිල්ලට දැනෙන ලෙස සකසා ඇති අති ධ්වනි තරංග ඇසුරින් ක්‍රියාත්මක වන නවීන ස්පර්ශක තිරත්  නොබෝ දිනකින්ම භාවිතයට පැමිණේවි.


සැකසුම - දිනේශි තලකිරියාව