Hybrid රථයක මුහුම් වීමක වෙනස!

                                                                                                                     
සැපපහසුවට ගමන් බිමන් යන්නට මිනිසුන් උනන්දු වුනේ අද ඊයෙකනම්  නෙවෙයි.මිනිසුන් සොයපු ඒ සැපපහසුව යථාර්ථයක් කරන්නට 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේදීම වගේ මෝටර් රථ නිර්මාණකරුවන් සමත් වුනා.නමුත් මේ සැපපහසුවට හිමිවුන ඉහළ වටිනාකම නිසාත්, එවැනි සැපපහසු මෝටර් රථ සඳහා දරන්නට වුනු අති විශාල ඉන්ධන වියදම නිසාත් ගමනේ සැපපහසුව සොයපු පිරිස වේගයෙන් අඩු වුනා.

මෝටර් රථයේ විකාශනයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වුනු දෙමුහුම් මොටර් රථ, මේ සැපපහසුව සොයපු පිරිසට අලුත් බලාපොරොත්තුවක් එක්කලා.අඩු ඉන්ධන වියදමකින්, වැඩි සැපපහසුවක් ලබාදෙන දෙමුහුම් මොටර් රථ මාදිලි රාශියක් දැනටමත් ලෝක රථවාහන වෙළඳපොල ආක්‍රමණය කර අවසානයි.ඔබත් මමත් දන්නා ඒ  hybrid රථ මාදිලි (Civic,Insight,Prius,Camry) ක්‍රියාකාරීත්වයෙන් එකිනෙකට වෙනස් බව ඔබ දැන සිටියාද?  ඔබත් hybrid රථයක හිමිකරුවකු වීමට සිහින මවන්නෙක් නම්, ඔබගේ අනාගත සිහින රථය ක්‍රියාකරන ආකාරය දැනගන්නට ඔබත් කැමති වේවි. Honda, Toyota, Benz, Lexus, BMW වැනි විවිධ වෙළඳ නාම යටතේ දැනට නිෂ්පාදනයව තියෙන බොහෝ hybrid මෝටර් රථවල ක්‍රියාකාරිත්වය මූලික ආකාර කීපයකටයි සිදුවන්නේ.

Hybrid මෝටර් රථයක් කියූ පමණින් සෑම දෙනාම පාහේ දන්නේ ඩීසල්, පෙට්‍රල් වැනි ෆොසිල ඉන්ධනයක දහන ශක්තියට අමතරව බැටරි පද්ධතියක ගබඩා කල ශක්තියද රථය ධාවනයට යොදාගන්නා බවයි. නමුත්, මේ බැටරි පද්ධතිය තුල ශක්තිය ගබඩා වන්නේ කෙසේද? ජව සැපයුම,  hybrid රථ මාදිලිය අනුව වෙනස් වන්නේ නැත්ද? ඔබටත් මේ ගැටළු කිසියම් හෝ මොහොතක පැනනගින්නට ඇති.

ඔබ දැන සිටියාද,දෙමුහුම් ‍මෝටර් රථ ධාවනය කරවන්නට තරම් ප්‍රමාණවත් ශක්තියකින් ඒවායේ බැටරි පද්ධතිය ආරෝපණය වන්නේ ධාවනය කරන අතරතුර රථයට තිරිංග යෙදීමේදී හානිවන ශක්තිය උපයෝගී කරගෙන බව! ඇත්තෙන්ම රථය ධාවනය වෙමින් පවතින විට නිරන්තරයෙන්ම මෙම බැටරි පද්ධතිය මෙලෙසට ආරෝපණය වෙන නිසාම,මෙලෙස ගබඩා වන ශක්තිය රථය ධාවනයට ප්‍රමාණවත් වෙනවා. දැන් ඔබේ මුල්ම ගැටළුවට පිලියමක් ලැබී අවසානයි. දැන් ඔබේ දෙවන ගැටලුවට පිලියමක් ලබාදෙන්නට, ජව සැපයුම් වල තිබෙමේ විවිධත්වයත් සමගම විවිධ කාරයේ hybrid රථ පිලිබඳව  සාකච්ඡා කරමු.


‍අද ලෝකයේ ජනප්‍රියම දෙමුහුම් ‍මෝටර් රථ කාණ්ඩය බවට පත්වෙන්නේ, දෙමුහුම් මොටර් රථයකින් ඔබ බලාපොරොත්තු වන උපරිම ඉන්ධන අරපිරිමැස්ම  ලබාදෙන සමාන්තර දෙමුහුම් (Parallel Hybrid) කාණ්ඩයේ hybrid රථයි.මෙවැනි රථවල සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජිම හා විද්‍යුත් එන්ජිම (බැටරි පද්ධතිය) කිසියම් විශේෂ පද්ධතියක් සාදමින් එකිනෙක හා සම්බන්ධ වෙලා තිබෙනවා. මෙය, රථය ධාවනය කිරීමට ඉන්ධන වල ශක්තිය මෙන්ම විද්‍යුත් ශක්තියද එකවර භාවිතා කරන්නට උපකාරී වෙනවා. ඔබත් දිනපතාම වාගේ දිගු දුර ගමන් යන්නෙක් වේවි නම් ඔබට වඩාත්ම උචිත වන්නේ මෙවැනි සමාන්තර දෙමුහුම් hybrid රථයක්. ලංකාවේදී නම් Honda Insight මෝටර් රථයක් ඔබගේ ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරාවි.

දෙමුහුම් රථ නිෂ්පාදනයවී ති තවත් ඒක් ප්‍රසිද්ධ කාරයක් වන ශ්‍රේණි දෙමුහුම් (Series Hybrid) රථ, ලංකාවේ අපට නම් තවමත් එතරම් හුරුපුරුදු නැහැ. මෙහි විශේෂත්වය වන්නේ රථය ධාවනය කරන්නට බැටරි පද්ධතිය කෙලින්ම ශක්තිය ලබාදීමයි.අනෙකුත් දෙමුහුම් රථවල මෙන් නොව, මෙහිදී අභ්‍යන්තර දහන ෆොසිල ඉන්ධන එන්ජිම මගින් සිදුවන්නේ රථයේ බැටරි පද්ධතිය නැවත ආරෝපණය කිරීමට ශක්තිය සැපයීමයි. දිගු ගමන් වලදී (සැතපුම් 50ට වැඩි) අභ්‍යන්තර දහන ෆොසිල ඉන්ධන එන්ජිම මගින්ද අමතර ශක්ති සැපයීමක් සිදුවෙනවා. රථය, හි ගබඩා වූ ශක්තියෙන්ම පමණක් රථය ධාවනය කරවන්නට තරම් හැකියාවක් ඇති මෙවැනි අධි ධාරිතා බැටරි පද්ධති මිලෙන් අධික නිසාම, ශ්‍රේණි දෙමුහුම් කාණ්ඩය වටිනාකමින් ඉහල Hybrid රථ කීපයකටම හිමිකම් කියනවා. Fisker මාදිලියේ Fisker Karma සුඛෝපභෝගී රථයත් ශ්‍රේණි ආකාරයේ එක් වටිනා Hybrid රථයක්.

The Fisker Karma
            
දෙමුහුම් කාණ්ඩයන් අතුරින්, වටිනාකමින් වඩාත්ම පහල මෝටර් රථ අයත් වන්නේ මෘදු දෙමුහුම් හෙවත් Mild Hybrid නම් කාණ්ඩයටයි. මේ කාණ්ඩයේ රථවල විද්‍යුත් එන්ජිම අනෙකුත් Hybrid රථවල මෙන් තනිව ක්‍රියා නොකරන අතර වැඩිපුර ජවය අවශ්‍ය වූ විට පමණක් රථය ධාවනය කිරීමට අභ්‍යන්තර දහන එන්ජිමට සහායට ජවය සපයයි. මේ කාණඩයේ රථවල විශේෂත්වයක් නම්, රථයේ වේගය අඩුවී රථය නැවතීමට ගතවන කාලය තුලදී එහි අභ්‍යන්තර දහන එන්ජිම ක්‍රියාවිරහිත වීමයි. මෙමගින් මෙම කාණ්ඩයේ රථ වඩා පරිසර හිතකාමී Hybrid රථ බවට පත්වෙනවා. බැටරි පද්ධතියෙන් ලැබෙන  සහය අඩු බැවින්, ඉන්ධන අරපිරිමැස්මෙහි ඇතිවූ දුර්වලතා නිසාම, Mild කාණ්ඩයේ Hybrid රථ නිෂ්පාදනයේ සීමාවීමක් අද වන විට දක්නට ලැබෙනවා.

දෙමුහුම් රථ තාක්ෂණයේ සිදුවන වේගවත් දියුණුවීමත් සමගම වර්තමානය වන විට   Parallel, Series හා Mild යන මූලික දෙමුහුම් තාක්ෂණයන් රාශියක් එකට කැටිකොටගත් මෝටර් රථ මාදිලි පවා ලොකයා හමුවේ එලිදැක්වී හමාරයි. Plug-in Hybrid රථ මෙම තාක්ෂණික දියුණුවේ එක් වැදගත් සංධිස්ථානයක්.සාමාන්‍ය Hybrid රථයකට වඩා මෙහි විශේෂත්වය නම්, බාහිර විද්‍යුත් සැපයුමක් මගින් ආරෝපණය කල හැකි අමතර බැටරි පද්ධතියක් තිබීම හා එය රථයේ ප්‍රධාන ජව සැපයු ලෙස ක්‍රියාකිරිමයි.මේ හේතුව නිසා Plug-in hybrid රථවල ෆොසිල ඉන්ධන භාවිතය ඉතාමත්ම අඩුය. එබැවින් මෙම රථ අනාගතයට සුරක්ෂිත පරීසරයක් වෙනුවෙන් ගොඩනැගුනු “Go-green” සංකල්පයේ නියමුවන් ලෙස හැදින්වූවාටද වරදක් නැත. BMW i8, Toyota Prius Plug-in,Chevrolet Volt අද ලෝකයේ ජනප්‍රියම Plug-in hybrid රථ අතුරින් කිපයක්.

The BMW - i8
                                                                                           
Plug-in Hybrid රථයක බැටරි අාරෝපණය
                                                                                                         

























දෙමුහුම් රථ ගැන ඔබ නොදැන සිටි ඇතැම් කරුණු ගැන ඔබට දැන් අවබෝධයක් ලැබෙන්නට ඇති. නුදුරු අනාගතයේදීම ලෝකයාට මුහුණදෙන්නට සිදුවන බලශක්ති අර්බුදයට මෙම දෙමුහුම් රථ හොඳ විසඳුමක් සපයාවි. දැනටමත් මෝටර් රථ වෙළඳපොලේ අසිරිමත් ආක්‍රමණිකයා බවට පත්ව සිටින Hybrid රථයට, අනාගතය වෙනුවෙන් හිතකාමී සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.


සැකසුම - සචින්ත වනිගසේකර
www.howstuffwork.com අැසුෙරන්