රතු ලේ - නිල් පාට වුනේ කොහොමද ?







මිනිසුන් වන අපගේ රුධිරය රතු පැහැති බව කාටත් නොරහසකි. එය එසේ නම් මඳකට ඔබගේ අතේ මැණික් කටුව ආශ්‍රිතව සමට යටින් පෙනෙන රුධිර නාල දෙස බලන්න. ඔබ තවමත් විශ්වාස කරනවාද රුධිරය රතු පාටමයි කියා?
මොකක්ද එහෙනම් මේ පෙනෙන නිල් පාට?  






හිමොග්ලොබින් වර්ණකය පවතින තාක් අපගේ රුධිරය රතු පාට වේ. හිමොග්ලොබින් ඔක්සිජන් වායුව සමඟ සම්බන්ධ වූ විට, දීප්තිමත් රතු පාටක් ගන්නා ඔක්සි හිමොග්ලොබින් සාදයි. එමෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව සමඟ සම්බන්ධ වීමෙන් කාබ්-ඇමයිනො හිමොග්ලොබින් සාදයි.මෙම සංයෝගය නිල් පැහැ බව බොහෝ දෙනා සිතුවත් සැබවින්ම එය තද රතු පැහැයක් ගනී.
පිටතින් බැලූ විට නිල් පාට නම්, තුවාලයක් වැනි මොනයම් ආකාර හෝ රුධිර වහනයකදී රුධිරය නිල් පාටින් දිස්විය යුතු නොවේද?
නමුත් ඔබ ජීවිතයේ කිසිම දිනක රතු හැර වෙනත් වර්ණයකින් මිනිස් රුධිරය දැක තිබෙනවාද? එසේනම් මෙම මායාව අපි දැන් විසඳා ගනිමු.
අපගේ සම හරහා ආලෝකය ගමන් කිරීමේදී එහි සියලුම වර්ණ වලට සම හරහා වැඩි දුරක් යා නොහැක.
සංඛ්‍යාතය අඩු වර්ණ වන රතු,තැඹිලි වැනි ඒවාට සම හරහා ගමන් කිරීමට හැකියාවක් නොමැති තරම් ය. එනමුත් නිල්, දම් වැනි වර්ණ වලට ඒවායේ සංඛ්‍යාතය  වැඩි නිසාම, සම හරහා පහසුවෙන් ගමන් කිරීමටත් නැවත පරාවර්තනය වී පිටතට පැමිණීමටත් පුළුවන.

මේ හේතුව නිසා ශිරා වෙත වැදී නැවත පරාවර්තනය මඟින් එන නිල් ආලෝකය නිසා අපට ඒවා නිල් පැහැයෙන් පෙනේ. අපට ශිරා පමණක් පැහැදිලිවම නිල් පාටින් පෙනීමට හේතුව ශිරා තුලින් ගමන් කරන, ඔක්සිජන් අඩු, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල රුධිරයේ ඇති තද රතු පැහැයයි.  





මෙය ප්‍රායෝගිකව අත්හදා බැලීමට ක්‍රමයක් ඇතැයි ඔබ සිතනවා ද ?

ලොව විද්‍යාඥයින් එය ආදර්ශනය කර පෙන්වන්නේ අපූරු ක්‍රමයකටය. ඔවුන් රුධිර සාම්පල අඩංගු පරීක්ෂණ නල ගෙන, සමෙහි මේද, ප්‍රෝටීන අනුපාත වලට සමාන සංයුතියක් ඇති කිරි භාජනයක ගිල්වයි. නිශ්චිත ගැඹුරකදී එම සාම්පල නිල් පාටින් දැකගත හැකි විය.

බලන්න, මෙය ඔබේ යහළුවන්ගෙන් විමසීමට කුතුහලය දනවන පැනයක් නේද ? සමහරවිට ඔබ නොදන්නවා ඇති ඔබේ යහළුවන් කොපමණ කලක සිට රුධිරය නිල් පාට යැයි විශ්වාස කරනවාද කියා.  


සටහන - යුමාල් චතුරංග