කොරල්පර රකින කැස්බෑවෝ



සාගර පරිසර පද්ධති ආශ්‍රිතව ඉතා පුළුල් ජෛව විද්‍යාත්මක. පාරාදීසයක් නිර්මාණය කිරීමට ප්‍රධාන ලෙසම දායක වන ජෛවීය ව්‍යුහය වන්නේ කොරල්පර ය. ඔවුන් සමස්ථ සාගර භූමි ප්‍රමාණයෙන් 0.1% ක් පමණ වෙන්කර ගනු ලැබුවද, සාගර ජීවී විශේෂ 25% කට පමණ වාසස්ථානයක් ලෙස ක්‍රියා කරයි.

කොරල්පර සැදෙන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? ඇත්තෙන්ම කොරල්පර ද ජීවී ව්‍යුහයකි. ලොව ඇති විශාලතම සජීව ව්‍යුහය ලෙස ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය සැලකෙන බව ඔබ දැනටමත් දන්නවා ඇත.  කොරල්පර යනු සැබවින්ම සාගර පත්ලේ වෙසෙන ඉතා කුඩා බුහුබා ආකාර එකයිනොඩමේටා සත්ව විශේෂ, තම ආරක්ෂාව සඳහා ශ්‍රාවය කරන පිටසැකිලි වේ. කොරල්පර ඉතා සූක්ෂමව නිරීක්ෂණය කලවිට මෙම සතුන් දැකගැනීමට ඉඩකඩ ලැබේ. කොරල්පර තුල අන්තර්ගත ප්‍රධාන සංයෝගය කැල්සියම් කාබනේට් වේ.  
බහුලවම කොරල් පර සැදීමට දායක වන විශේෂ අත‍ර කොරල් බුහුබාවා ( coral polyps ), 
මුහුදුමල ( sea anemone ) ප්‍රමුඛ ස්ථානයන් ගනී.


කොරල්පර වල පැවැත්ම සඳහා කැස්බෑවන් දායක වන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවකි. විද්‍යාඥයින්ගේ  හෙළිදරව් කරගැනීම් වලට අනුව කොරල්පර මත ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඇල්ගී විශේෂ ඇත. අධික වර්ධන වේගයක් ඇති මේවා, කොරල්පර සමඟ තරඟකර ඒවා විනාශ කර දමයි.  

කොළ කැස්බෑවා නම් කැස්බෑ විශේෂය මගින් මෙවැනි ඇල්ගී ආහාරයට ගන්නා බැවින් කොරල්පර වල පැවැත්ම ආරක්ෂා වන බව ඔවුන් අනාවරණය කරගෙන ඇත.


(මෙම සටහන විදුනැණ හවුල sms සේවාවට C දිල්හානි ශිෂ්‍යාව විසින් යොමු කල,  “කොරල්පර ඇතිවන්නේ කෙසේද?ඒවා ඇතිවීමට හේතුවන ජීවීන් කවුරුද?කැස්බෑවන් වඳ වීම නිසා කොරල්පර විනාශ වේ.මෙයට විද්‍යාත්මක හේතුව කුමක්ද?”  ප්‍රශ්නය අලලා සකස් කරන ලද්දකි.)
සැකසුම - යුමාල් චතුරංග


අපි නොදන්න 3D



වර්තමානයේ ඉතා පෙරළිකාර තාක්ෂණයක් වන 3D තාක්ෂණය අද වනතුරුත් භාවිතා නොවන උපකරණ ඇත්නම් ඒ ඉතාමත් අතලොස්සකි.
දිග, පළල හා ගැඹුර යන මාන තුනෙහි සංකලනයන්ගෙන් යුත් දර්ශන අඩංගු 3D (Three Dimensional) රූප, අපගේ ඇසට සෘජුවම හඳුනාගත නොහැක. ඒ වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇස පළඳනා භාවිතා කෙරේ.බැලු බැල්මට එක ඇසකට නිල් වර්ණයත්, අනෙක් ඇසට රතු වර්ණයත් අඩංගු වන සෙල්ලම් කන්නාඩියක් ලෙස මේවා දිස්වේ.
පිටතින් සරලව දිස්වනවාක් මෙන්ම එහි ක්‍රියාකාරීත්වය ද පහසුවෙන් වටහා ගත හැකි එකකි.



3D උපැස් යුවලක් මගින් මූලිකව සිදු කරන්නේ යම් ඡායාරූපයකින් සකසා ගත් එකිනෙකට වෙනස් රූප දෙකක්, අපගේ ඇස් දෙකට වෙන වෙනම ලඟා කරවීමයි.




 ඇස්  එකිනෙකින් වෙන්ව පැවතීම නිසා, අප සාමාන්‍යයෙන් ඇස් දෙකෙන්ම වස්තුවක් දෙස බැලීමේදී එම වස්තුවේ ඡායාවන් දෙකක් ඇස් දෙකට වෙන වෙනම ලැබේ. මේ හේතුවෙන් එම වස්තුවේ දිග,පළල,ගැඹුර පමණක් නොව එය චලිත වන වේගය පිළිබඳවද නිවැරදි අවබෝධයක් අපට ගත හැක. එය තනි ඇසකින් යමක් නිරීක්ෂණය කිරීමෙන් අපට ලබාගත නොහැකි අත්දැකීමකි.
3D තාක්ෂණයට පදනම් කරගෙන ඇත්තේද මෙම ස්වභාවික සංසිද්ධියම ය. අප කලින් සඳහන් කල රූප දෙක සකස් කරගන්නේ මෙලෙස සජීවී බවක් එම රූපයට එක්වන ලෙසටය.
සකසා ගත් රූප දෙක වෙන වෙනම ඇස් වෙත සමීප කරවීමට  මිනිසා සොයාගත් අතිශය සරල උපකරණය ලෙස මෙම 3D උපැස් යුවල හැඳින්විය හැක. පළමුව වෙන වෙනම ලැබිය යුතු රූප, නිල් හා රතු යන වර්ණ දෙකෙන් වෙන වෙනම සකස් කර, එකම රූපයක් ලෙස ඒවා එක්කාසු කරනු ලැබේ. මෙවිට එය පියවි ඇසින් නිරීක්ෂණයේදී ඉතා අපැහැදිලි ස්වරුපයක් ගනී.

නමුත් 3D උපැස් යුවල තුලින් බැලීමේදී එහි අඩංගු රතු පටලය මගින් නිල් දර්ශනය පමණක් ද, එසේම නිල් පටලය මගින් රතු දර්ශනය පමණක් ද විනිවිද යාමට ඉඩ සලස්වයි. මෙනිසා නිරායාසයෙන්ම ඇස දෙකට ලැබෙන්නේ එකිනෙකට වෙනස් දර්ශන දෙකය. 3D රූපවාහිනී, චිත්‍රපට යනාදී විවිධ 3D දර්ශනයක් නැරඹීම සඳහා මෙම සරල උපකරණය අත්‍යවශ්‍යම මෙවලමක් වී ඇත්තේ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇත.

සටහන - යුමාල් චතුරංග