රටකජු මලේ - පස තුල ඵලේ
රටකජු මලේ - පස තුල ඵලේ
Arachis
hypogea නම් විද්‍යාත්මක නමින් හඳුන්වන රටකජු
ශාකය, දකුණු ඇමරිකා මහාද්වීපය නිජබිම කරගෙන වැඩෙන
එම ප්‍රදේශයට දේශීය වූ,රනිල කුලයට අයත් ශාකයකි.එසේ වුවත්
වර්තමානයේදී රටකජු ශාක ලොව පුරා ඝර්ම කලාපීය රටවල් තුල ආහාර බෝගයක් ලෙස බහුලව වගා
කෙරේ.රටකජු ශාකය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 60ක් පමණ උසට වැඩෙන අතර පඳුරක් සෙන්ටිමීටර
1-2 අතර ප්‍රමාණයේ කුඩා කහ පැහැති මල් දරයි. දින භාගයක් පමණ පිපී පවතින මෙම පුෂ්ප
ස්වපරාගනය සඳහා අනුවර්තනය වී ඇත.දින හතරකට පමණ පසු පරාගනය වූ පුෂ්ප කොටස්
ජායාංගධර බවට විකසනය වේ.
ඒ සමඟම පුෂ්ප වෘන්තය දික්වන අතර ජායාංගධර ධන
ගුරුත්වාවර්ථී ලෙස පස තුලට ගමන් කරනු ලබයි.පස තුලට ගමන් ගත ජායාංගධර කරල් බවට
විකසනය වන අතර ඒවා තුල අඩංගු ඩිම්බ, බීජ
බවට පත්වේ.
කරල් මේරීමෙන් පසු ශාකයේ වර්ධක කොටස් මියයන අතර
කරල් වල පොත්ත දිරායාමෙන් පසු කරල් තුල පවතින රටකජු බීජ පස තුලට නිදහස් වී නව
රටකජු ශාක ඇති වීම සිදුවේ.
මෙම රටකජු බීජ තුල අධික ශක්තිජනක අගයකින් යුත්
ආහාර සංචිතව පවතී. රටකජු
කරල් මේරුණු පසු රටකජු පඳුරු උදුරා කරල් කඩා වියලා, බීජ බෝකර ආහාරයට ගනු ලබයි.රටකජු බීජ වල අධික මේද ප්‍රමාණයක් අඩංගු වන
අතර වැඩි පෝෂණ ගුණයකින් යුක්ත වේ.
ජායාංගධර විකසනය වන අවස්ථාවේදී පඳුරු වටා පස්
එක්කිරීමෙන් ඒවා පස තුලට ඇතුල්වීමට පහසු කර වැඩි ඵලදාවක් ලබාගත හැකිවේ.
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සහ අතරමැදි කලාපයේ
මහ කන්නය තුල රටකජු ප්‍රධාන වශයෙන් වගා කරනු ලබයි.මේ සඳහා වැලි සහිත පසක් වඩාත්
යෝග්‍ය වේ.දේශීය වගා කටයුතු සඳහා දේශීයව අභිජනනය කරන ලද තිස්ස, වලව,ටිකිරි
සහ ඉන්දි යන ප්‍රභේද භාවිත කරනු ලබයි.සාමාන්‍යයෙන් හෙක්ටයාර එකකින් කිලෝග්‍රෑම්
2000-2500 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිවේ.මාස 3 ½
- 4 ½ වැනි
කාල වල අස්වැන්න ලබා ගත හැක.
රනිල බෝගයක් වන රටකජු වලද මූල ගැටිති හටගනු ලබන
අතර එම මූල ගැටිති වල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර බෝගයේ නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවය
ලබාදීමට රයිසෝබියම් ආමුකුලන යොදාගනිමින් ඝන ජෛව පාලක ජෛව පොහොර යොදාගනිමින් නයිට්‍රජන්, පොස්ෆරස් හා පොටෑසියම් නිර්දේශිත පොහොර ප්‍රමාණය අවම කිරීම සඳහාත් පර්යේෂණ
සිදුකරනු ලබන අතර එමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත.
(G.S බස්නායක මහතා විසින් විදුනැණ හවුල sms සේවාවෙන් සිදුකරන ලද ''රටකජු
යනු බීජ වල ආහාර තැන්පත් කර ඇති අවස්ථාවක්ද? නැතිනම් මෙය පස තුල බීජ හටගන්නා අවස්ථාවක්ද?'' යන ගැටලුව ආශ්‍රයෙන් සකසන ලදී.)
චතුර නානායක්කාර
තොරතුරු ලබා දුන්නේ
E.M.H.G.S ඒකනායක
පර්යේෂණ නිලධාරී,
මූලික අධ්‍යයන ආයතනය.