භාගයක් - කෑමට පෙර



සාමාන්‍යයෙන් අපට බෙහෙත් පෙති ගැනීමට සිදුවන මාත්‍රා විවිධාකාර වේ. වේලකට එකක්, දෙකක් ගැනීමට සිදුවනවා මෙන්ම පෙත්තකින් භාගයක් ගැනීමට නිර්දේශ කරන අවස්ථා ද බහුලය. 

නමුත් පෙති භාගයක් හරියාකාරව කඩාගැනීමට ඇති අපහසුතාව නිසා සමහරුන්ට භාගයේ මාත්‍රාවම තවත් හිසරදයකි. එක භාගයක් හරිහැටි කඩා ගත්තත් අනෙක් කැබැල්ල ඇතැම් විට කුඩුවී යාම නිසා එය විසි කරන්නට පවා සිදුවේ. මේ නිසා ගෙදර දොරේ පිහියක් වැනි උපකරණයකින් බෙහෙත් පෙති කැඩීමට යාමෙන් බෙහෙත් අපතේ යනවා මෙන්ම එය සෞඛ්‍ය ආරක්‍ෂිත නොවීමද අපට ගැටලුවකි.  


මේ ප්‍රශ්නයට විසඳුමක් යෝජනා කරන්නට ඔබට පුලුවන්ද?




මෙයට සාර්ථක පිලියමක් සොයාගැනීමට වෙන්කට් රාවෝ නම් ඉන්දියානු විද්‍යාඥයා සමත් වී ඇත. එය කෙතරම් සරල උපක්‍රමයක්ද යන වග ඔබට මෙම පෙත්තේ හැඩය දෙස බැලීමෙන්ම පැහැදිලි වනු ඇත. මෙම අදහස ඉදිරිපත් කිරීම නිසා ඔහුට 2012 වසරේ Red Dot ජාත්‍යන්තර නිර්මාණ තරඟාවලියේ ශූරතාව හිමි විය. 
මෙම ක්‍රමය ඔහු නම් කර ඇත්තේ “Half Dose” (භාගයේ මාත්‍රාව) ලෙසිනි.





හරියටම භාගය වෙන් කලයුතු ස්ථානය ඉතා සිහින් ලෙස නිර්මාණය කර ඇති නිසා එතැනට ඇඟිල්ල තබා තද කල විට පහසුවෙන්ම කැබලි දෙකකට වෙන් වී යයි.ආවරණය තුල තිබියදීම වුවත් මෙම ක්‍රමයට බෙහෙත් පෙත්තක් කඩා ගැනීම කල හැකිය.

නිවැරදිවම භාගයේ මාත්‍රාව ගත හැකි වීමත් සෞඛ්‍යාරක්ෂිත වීමත් නිසා මෙම සරල විසඳුම  ඉතාමත් කෙටි කාලයකින් ලොව ඖෂධ කර්මාන්තයට එක්කාසු වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.

වඩාත් සරල ගැටලුවද, නැත්නම් විසඳුමද?
තවත් ගැටලුවක් , ඉතිරි වන භාගයට හුලං වැදෙන නිසා එය තබාගැනීමටත් ක්‍රමයක් අවශ්‍ය වී ඇත.
මෙහි විසඳුමට හිමි සම්මානය ඔබේද?

සැකසුම - යුමාල් චතුරංග

රතු ලේ - නිල් පාට වුනේ කොහොමද ?







මිනිසුන් වන අපගේ රුධිරය රතු පැහැති බව කාටත් නොරහසකි. එය එසේ නම් මඳකට ඔබගේ අතේ මැණික් කටුව ආශ්‍රිතව සමට යටින් පෙනෙන රුධිර නාල දෙස බලන්න. ඔබ තවමත් විශ්වාස කරනවාද රුධිරය රතු පාටමයි කියා?
මොකක්ද එහෙනම් මේ පෙනෙන නිල් පාට?  






හිමොග්ලොබින් වර්ණකය පවතින තාක් අපගේ රුධිරය රතු පාට වේ. හිමොග්ලොබින් ඔක්සිජන් වායුව සමඟ සම්බන්ධ වූ විට, දීප්තිමත් රතු පාටක් ගන්නා ඔක්සි හිමොග්ලොබින් සාදයි. එමෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව සමඟ සම්බන්ධ වීමෙන් කාබ්-ඇමයිනො හිමොග්ලොබින් සාදයි.මෙම සංයෝගය නිල් පැහැ බව බොහෝ දෙනා සිතුවත් සැබවින්ම එය තද රතු පැහැයක් ගනී.
පිටතින් බැලූ විට නිල් පාට නම්, තුවාලයක් වැනි මොනයම් ආකාර හෝ රුධිර වහනයකදී රුධිරය නිල් පාටින් දිස්විය යුතු නොවේද?
නමුත් ඔබ ජීවිතයේ කිසිම දිනක රතු හැර වෙනත් වර්ණයකින් මිනිස් රුධිරය දැක තිබෙනවාද? එසේනම් මෙම මායාව අපි දැන් විසඳා ගනිමු.
අපගේ සම හරහා ආලෝකය ගමන් කිරීමේදී එහි සියලුම වර්ණ වලට සම හරහා වැඩි දුරක් යා නොහැක.
සංඛ්‍යාතය අඩු වර්ණ වන රතු,තැඹිලි වැනි ඒවාට සම හරහා ගමන් කිරීමට හැකියාවක් නොමැති තරම් ය. එනමුත් නිල්, දම් වැනි වර්ණ වලට ඒවායේ සංඛ්‍යාතය  වැඩි නිසාම, සම හරහා පහසුවෙන් ගමන් කිරීමටත් නැවත පරාවර්තනය වී පිටතට පැමිණීමටත් පුළුවන.

මේ හේතුව නිසා ශිරා වෙත වැදී නැවත පරාවර්තනය මඟින් එන නිල් ආලෝකය නිසා අපට ඒවා නිල් පැහැයෙන් පෙනේ. අපට ශිරා පමණක් පැහැදිලිවම නිල් පාටින් පෙනීමට හේතුව ශිරා තුලින් ගමන් කරන, ඔක්සිජන් අඩු, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල රුධිරයේ ඇති තද රතු පැහැයයි.  





මෙය ප්‍රායෝගිකව අත්හදා බැලීමට ක්‍රමයක් ඇතැයි ඔබ සිතනවා ද ?

ලොව විද්‍යාඥයින් එය ආදර්ශනය කර පෙන්වන්නේ අපූරු ක්‍රමයකටය. ඔවුන් රුධිර සාම්පල අඩංගු පරීක්ෂණ නල ගෙන, සමෙහි මේද, ප්‍රෝටීන අනුපාත වලට සමාන සංයුතියක් ඇති කිරි භාජනයක ගිල්වයි. නිශ්චිත ගැඹුරකදී එම සාම්පල නිල් පාටින් දැකගත හැකි විය.

බලන්න, මෙය ඔබේ යහළුවන්ගෙන් විමසීමට කුතුහලය දනවන පැනයක් නේද ? සමහරවිට ඔබ නොදන්නවා ඇති ඔබේ යහළුවන් කොපමණ කලක සිට රුධිරය නිල් පාට යැයි විශ්වාස කරනවාද කියා.  


සටහන - යුමාල් චතුරංග 

කොරල්පර රකින කැස්බෑවෝ



සාගර පරිසර පද්ධති ආශ්‍රිතව ඉතා පුළුල් ජෛව විද්‍යාත්මක. පාරාදීසයක් නිර්මාණය කිරීමට ප්‍රධාන ලෙසම දායක වන ජෛවීය ව්‍යුහය වන්නේ කොරල්පර ය. ඔවුන් සමස්ථ සාගර භූමි ප්‍රමාණයෙන් 0.1% ක් පමණ වෙන්කර ගනු ලැබුවද, සාගර ජීවී විශේෂ 25% කට පමණ වාසස්ථානයක් ලෙස ක්‍රියා කරයි.

කොරල්පර සැදෙන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? ඇත්තෙන්ම කොරල්පර ද ජීවී ව්‍යුහයකි. ලොව ඇති විශාලතම සජීව ව්‍යුහය ලෙස ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය සැලකෙන බව ඔබ දැනටමත් දන්නවා ඇත.  කොරල්පර යනු සැබවින්ම සාගර පත්ලේ වෙසෙන ඉතා කුඩා බුහුබා ආකාර එකයිනොඩමේටා සත්ව විශේෂ, තම ආරක්ෂාව සඳහා ශ්‍රාවය කරන පිටසැකිලි වේ. කොරල්පර ඉතා සූක්ෂමව නිරීක්ෂණය කලවිට මෙම සතුන් දැකගැනීමට ඉඩකඩ ලැබේ. කොරල්පර තුල අන්තර්ගත ප්‍රධාන සංයෝගය කැල්සියම් කාබනේට් වේ.  
බහුලවම කොරල් පර සැදීමට දායක වන විශේෂ අත‍ර කොරල් බුහුබාවා ( coral polyps ), 
මුහුදුමල ( sea anemone ) ප්‍රමුඛ ස්ථානයන් ගනී.


කොරල්පර වල පැවැත්ම සඳහා කැස්බෑවන් දායක වන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවකි. විද්‍යාඥයින්ගේ  හෙළිදරව් කරගැනීම් වලට අනුව කොරල්පර මත ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඇල්ගී විශේෂ ඇත. අධික වර්ධන වේගයක් ඇති මේවා, කොරල්පර සමඟ තරඟකර ඒවා විනාශ කර දමයි.  

කොළ කැස්බෑවා නම් කැස්බෑ විශේෂය මගින් මෙවැනි ඇල්ගී ආහාරයට ගන්නා බැවින් කොරල්පර වල පැවැත්ම ආරක්ෂා වන බව ඔවුන් අනාවරණය කරගෙන ඇත.


(මෙම සටහන විදුනැණ හවුල sms සේවාවට C දිල්හානි ශිෂ්‍යාව විසින් යොමු කල,  “කොරල්පර ඇතිවන්නේ කෙසේද?ඒවා ඇතිවීමට හේතුවන ජීවීන් කවුරුද?කැස්බෑවන් වඳ වීම නිසා කොරල්පර විනාශ වේ.මෙයට විද්‍යාත්මක හේතුව කුමක්ද?”  ප්‍රශ්නය අලලා සකස් කරන ලද්දකි.)
සැකසුම - යුමාල් චතුරංග


අපි නොදන්න 3D



වර්තමානයේ ඉතා පෙරළිකාර තාක්ෂණයක් වන 3D තාක්ෂණය අද වනතුරුත් භාවිතා නොවන උපකරණ ඇත්නම් ඒ ඉතාමත් අතලොස්සකි.
දිග, පළල හා ගැඹුර යන මාන තුනෙහි සංකලනයන්ගෙන් යුත් දර්ශන අඩංගු 3D (Three Dimensional) රූප, අපගේ ඇසට සෘජුවම හඳුනාගත නොහැක. ඒ වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇස පළඳනා භාවිතා කෙරේ.බැලු බැල්මට එක ඇසකට නිල් වර්ණයත්, අනෙක් ඇසට රතු වර්ණයත් අඩංගු වන සෙල්ලම් කන්නාඩියක් ලෙස මේවා දිස්වේ.
පිටතින් සරලව දිස්වනවාක් මෙන්ම එහි ක්‍රියාකාරීත්වය ද පහසුවෙන් වටහා ගත හැකි එකකි.



3D උපැස් යුවලක් මගින් මූලිකව සිදු කරන්නේ යම් ඡායාරූපයකින් සකසා ගත් එකිනෙකට වෙනස් රූප දෙකක්, අපගේ ඇස් දෙකට වෙන වෙනම ලඟා කරවීමයි.




 ඇස්  එකිනෙකින් වෙන්ව පැවතීම නිසා, අප සාමාන්‍යයෙන් ඇස් දෙකෙන්ම වස්තුවක් දෙස බැලීමේදී එම වස්තුවේ ඡායාවන් දෙකක් ඇස් දෙකට වෙන වෙනම ලැබේ. මේ හේතුවෙන් එම වස්තුවේ දිග,පළල,ගැඹුර පමණක් නොව එය චලිත වන වේගය පිළිබඳවද නිවැරදි අවබෝධයක් අපට ගත හැක. එය තනි ඇසකින් යමක් නිරීක්ෂණය කිරීමෙන් අපට ලබාගත නොහැකි අත්දැකීමකි.
3D තාක්ෂණයට පදනම් කරගෙන ඇත්තේද මෙම ස්වභාවික සංසිද්ධියම ය. අප කලින් සඳහන් කල රූප දෙක සකස් කරගන්නේ මෙලෙස සජීවී බවක් එම රූපයට එක්වන ලෙසටය.
සකසා ගත් රූප දෙක වෙන වෙනම ඇස් වෙත සමීප කරවීමට  මිනිසා සොයාගත් අතිශය සරල උපකරණය ලෙස මෙම 3D උපැස් යුවල හැඳින්විය හැක. පළමුව වෙන වෙනම ලැබිය යුතු රූප, නිල් හා රතු යන වර්ණ දෙකෙන් වෙන වෙනම සකස් කර, එකම රූපයක් ලෙස ඒවා එක්කාසු කරනු ලැබේ. මෙවිට එය පියවි ඇසින් නිරීක්ෂණයේදී ඉතා අපැහැදිලි ස්වරුපයක් ගනී.

නමුත් 3D උපැස් යුවල තුලින් බැලීමේදී එහි අඩංගු රතු පටලය මගින් නිල් දර්ශනය පමණක් ද, එසේම නිල් පටලය මගින් රතු දර්ශනය පමණක් ද විනිවිද යාමට ඉඩ සලස්වයි. මෙනිසා නිරායාසයෙන්ම ඇස දෙකට ලැබෙන්නේ එකිනෙකට වෙනස් දර්ශන දෙකය. 3D රූපවාහිනී, චිත්‍රපට යනාදී විවිධ 3D දර්ශනයක් නැරඹීම සඳහා මෙම සරල උපකරණය අත්‍යවශ්‍යම මෙවලමක් වී ඇත්තේ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇත.

සටහන - යුමාල් චතුරංග

රටකජු මලේ - පස තුල ඵලේ


රටකජු මලේ - පස තුල ඵලේ




Arachis hypogea නම් විද්‍යාත්මක නමින් හඳුන්වන රටකජු ශාකය, දකුණු ඇමරිකා මහාද්වීපය නිජබිම කරගෙන වැඩෙන එම ප්‍රදේශයට දේශීය වූ,රනිල කුලයට අයත් ශාකයකි.එසේ වුවත් වර්තමානයේදී රටකජු ශාක ලොව පුරා ඝර්ම කලාපීය රටවල් තුල ආහාර බෝගයක් ලෙස බහුලව වගා කෙරේ.රටකජු ශාකය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 60ක් පමණ උසට වැඩෙන අතර පඳුරක් සෙන්ටිමීටර 1-2 අතර ප්‍රමාණයේ කුඩා කහ පැහැති මල් දරයි. දින භාගයක් පමණ පිපී පවතින මෙම පුෂ්ප ස්වපරාගනය සඳහා අනුවර්තනය වී ඇත.දින හතරකට පමණ පසු පරාගනය වූ පුෂ්ප කොටස් ජායාංගධර  බවට විකසනය වේ.

ඒ සමඟම පුෂ්ප වෘන්තය දික්වන අතර ජායාංගධර ධන ගුරුත්වාවර්ථී ලෙස පස තුලට ගමන් කරනු ලබයි.පස තුලට ගමන් ගත ජායාංගධර කරල් බවට විකසනය වන අතර ඒවා තුල අඩංගු ඩිම්බ, බීජ බවට පත්වේ.
කරල් මේරීමෙන් පසු ශාකයේ වර්ධක කොටස් මියයන අතර කරල් වල පොත්ත දිරායාමෙන් පසු කරල් තුල පවතින රටකජු බීජ පස තුලට නිදහස් වී නව රටකජු ශාක ඇති වීම සිදුවේ.
මෙම රටකජු බීජ තුල අධික ශක්තිජනක අගයකින් යුත් ආහාර සංචිතව පවතී. රටකජු කරල් මේරුණු පසු රටකජු පඳුරු උදුරා කරල් කඩා වියලා, බීජ බෝකර ආහාරයට ගනු ලබයි.රටකජු බීජ වල අධික මේද ප්‍රමාණයක් අඩංගු වන අතර වැඩි පෝෂණ ගුණයකින් යුක්ත වේ.
ජායාංගධර විකසනය වන අවස්ථාවේදී පඳුරු වටා පස් එක්කිරීමෙන් ඒවා පස තුලට ඇතුල්වීමට පහසු කර වැඩි ඵලදාවක් ලබාගත හැකිවේ.
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සහ අතරමැදි කලාපයේ මහ කන්නය තුල රටකජු ප්‍රධාන වශයෙන් වගා කරනු ලබයි.මේ සඳහා වැලි සහිත පසක් වඩාත් යෝග්‍ය වේ.දේශීය වගා කටයුතු සඳහා දේශීයව අභිජනනය කරන ලද තිස්ස, වලව,ටිකිරි සහ ඉන්දි යන ප්‍රභේද භාවිත කරනු ලබයි.සාමාන්‍යයෙන් හෙක්ටයාර එකකින් කිලෝග්‍රෑම් 2000-2500 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිවේ.මාස 3 ½   - 4 ½   වැනි කාල වල අස්වැන්න ලබා ගත හැක.


රනිල බෝගයක් වන රටකජු වලද මූල ගැටිති හටගනු ලබන අතර එම මූල ගැටිති වල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර බෝගයේ නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවය ලබාදීමට රයිසෝබියම් ආමුකුලන යොදාගනිමින් ඝන ජෛව පාලක ජෛව පොහොර යොදාගනිමින් නයිට්‍රජන්, පොස්ෆරස් හා පොටෑසියම් නිර්දේශිත පොහොර ප්‍රමාණය අවම කිරීම සඳහාත් පර්යේෂණ සිදුකරනු ලබන අතර එමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත.


(G.S බස්නායක මහතා විසින් විදුනැණ හවුල sms සේවාවෙන් සිදුකරන ලද ''රටකජු යනු බීජ වල ආහාර තැන්පත් කර ඇති අවස්ථාවක්ද? නැතිනම් මෙය පස තුල බීජ හටගන්නා අවස්ථාවක්ද?'' යන ගැටලුව ආශ්‍රයෙන් සකසන ලදී.)

චතුර නානායක්කාර
තොරතුරු ලබා දුන්නේ
E.M.H.G.S ඒකනායක
පර්යේෂණ නිලධාරී,
මූලික අධ්‍යයන ආයතනය.


ගින්නක් නැතිව නගින දුම

ගින්නක් නැතිව නගින දුම
 
සංගීත සංදර්ශන සහ චිත්‍රපට වල ඉතා සුලභව භාවිතා වන ෆොග් මැෂිම හෙවත් කෘත්‍රිම දුම නංවන යන්ත්‍ර අප කොතෙකුත් දැක ඇත. 
ඒවායින් දුම ඇති කරන්නේ කෙසේද යන වග දැනගැනීමට ඔබ කැමතිද?

මෙම යන්ත්‍ර මගින් මීදුමට සමාන තරමක් ඝන දුමක් පිටතට එවනු ලබයි. මෙම දුම සාදාගන්නා ක්‍රම කීපයක් පවතී.ඉන් බහුලව භාවිතා වන්නේ, විශේෂිත ද්‍රාවණයක් වාෂ්පීකරණය කිරීමෙන් සාදාගන්නා වාෂ්පය එකවර වාතයට මුදාහැරීමයි.ජලය සහ ග්ලයිකොල් වල මිශ්‍රණයක් ,එසේත් නැතිනම් ග්ලිසරීන් පාදක කරගත් ද්‍රාවණයක් මෙයට යොදාගනී.

ෆොග් යන්ත්‍රය තුල ඇති තාප හුවමාරුකාරකයක් තුලට මෙම ද්‍රාවණය පොම්ප කෙරේ.එතුළ පවත්වාගන්නා අධික  උෂ්ණත්වය හේතුවෙන් ද්‍රාවණය ඉක්මනින් වාෂ්පීකරණය වේ. ඉන්පසු එය කුඩා වායු ක්ෂේපයක් (nozzle) හරහා බාහිර පරිසරයට නිකුත් කිරීම නිසා, වාෂ්පය ක්ෂණිකව ප්‍රසාරණය වීමට ලක්වේ.මෙනිසා වාෂ්පයේ උෂ්ණත්වයද පහල බසී.   

ද්‍රවීකරණයට ඇති නැඹුරුව ද සමඟ, එය බාහිර වාතය සමඟ මිශ්‍ර වීමේදී පාරාන්ධ එරසෝලයක් නිර්මාණය වේ.සංගීත සංදර්ශන වේදිකාව සිසාරා පැතිර යන්නේ මෙම දුම ය.   

සාමාන්‍ය යන්ත්‍රයක  දුම තත්පර 15 ක පමණ කාලයක් නොකඩවා පවත්වාගත හැකි බව අප දැක ඇත. 
ඉන්පසු තාප හුවමාරුකරණය නැවත රත් වීමට මිනිත්තුවක පමණ කාලයක් ගනියි.  

වාෂ්පීකරණ ක්‍රමය සුලභව භාවිතා වන අතර ඛනිජ තෙල්,වියලි අයිස්,ද්‍රව නයිට්‍රජන්,ද්‍රව වාතය වැනි ආරම්භක ද්‍රව්‍ය යොදාගන්නා උපකරණද මහා පරිමාණ කටයුතු සඳහා යොදාගනී.
මෙහිදී නිකුත් වන දුම නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවන බව සිහිතබා ගත යුතුය.කෙටිකාලීනව නිරාවරණය වීමෙන් හිසරදය,කරකැවිල්ල,වෙහෙස වැනි තත්ත්ව ඇති වන අතර, එයට දිගුකාලීනව නිරාවරණය වන 
පුද්ගලයින්, දරුණු ශ්වසන රෝග තත්ත්ව වලට ගොදුරු වීමේ අවධානමක්ද  පවතී.

සැකසුම - යුමාල් චතුරංග

එකමුතුකමේ අරුමය


එකමුතුකමේ අරුමය


සැන්දෑ වරුවක ඉහල අහසේ පියාඹන කුරුළු රෑනක් දෙස මඳකට ඔබගේ අවධානය යොමු කර බලන්න. එකම රටාවකින් එකම දිශාවකට පියාඹන ඔවුන්ගේ එකමුතුව කෙතරම් අපූරුද?

මෙහිදී ඔවුන් පියාඹන රටාව සුවිශේෂී වේ.බොහෝවිට V ආකාර රටාවක් ඇති මෙම එකමුතුව කියාපාන විද්‍යාත්මක රහසක් ද නැතුවාම නොවේ.

මෙම රටාවන්ට ප්‍රධාන හේතු කාරණා 2ක් 
ඇත.පළමුවැන්න ශක්තිය වැයවීම අඩුකර 
ගැනීමයි.සෑම විටම ඉදිරියෙන් ගමන් කරන කුරුල්ලාට වඩා මඳක් හෝ ඉහල මට්ටමකින් පිටුපස කුරුල්ලා ගමන් කරයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස එකිනෙකාට තනිව පියාඹන විට මුහුණ දීමට සිදුවන වාත ප්‍රතිරෝධයට වඩා බෙහෙවින් අඩු ප්‍රතිරෝධයක් සමූහයක් ලෙස පියාඹන විට යෙදවේ.
දෙවන හේතුව වන්නේ එකිනෙකා අතර සන්නිවේදනය නිසියාකාරව සිදු කරගත හැකි වීමයි.
කුරුළු රෑනම එකම පථයක තබාගැනීමට මෙය ප්‍රයෝජනවත්ය.
විශේෂයෙන් දිගු ගමනාන්තයන් කරා පියාසැරියේ යෙදෙන විට මෙබඳු කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගැනීම වැදගත් වේ.


මෙහිදී ඉදිරියෙන්ම ගමන් කරන කුරුල්ලා මත අනෙක් කුරුල්ලන්ට වඩා වැඩි වාත ප්‍රතිරෝධයක් ක්‍රියාකරන නිසා ඔහුට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ.ඔවුන් අතර පවතින සාමුහිකත්වය කෙතරම්ද යත් ඉදිරියෙන්ම ගමන් කරන කුරුල්ලා වෙහෙසට පත් ව ඇතැයි හැඟෙන විට වහාම වෙනත් පසුපස කුරුල්ලෙකු ඉදිරියට විත් අභියෝගයට මුහුණ දෙයි.


මෙම අපුර්ව ස්වභාවික රහස මිනිසුන් භාවිතා කරන අවස්ථාවක් ලෙස, ගුවන් හමුදා වල fighter වර්ගයේ ජෙට්  යානා සමූහ ගුවන්ගත කරන රටාව දැක්වීමට පිළිවන.

සැකසුම - යුමාල් චතුරංග  

ඉක්කයි මායි




ඉක්කාව ඇතිවන්නේ කෙසේදැයි දැනගැනීමට ඔබ කැමතිද?



ඉක්කාව දක්නට ලැබෙන්නේ ක්ෂීරපායි සතුන් තුල පමණි.මෙයට මුලිකව හේතුවන්නේ අපගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහයක් වන,මහා ප්‍රාචීරයේ ක්‍රියාවේ වෙනස් වීමකි. සාමාන්‍ය අවස්ථාවලදී මහා ප්‍රාචීරය ඉතා කාර්යක්ෂම කාර්යයක් සිදු කරයි.ආශ්වාසයේ දී පෙනහළු කරා වාතය ඇතුළු කිරීමට එය පහලට චලනය වේ.එසේම ප්‍රශ්වාසයේ දී එය ඉහලට චලනය වී, ප්‍රශ්වාස වාතය පිට කරයි.


නමුත් සමහර විශේෂ අවස්ථා වලදී එහි ස්නායු අන්ත වල වේදනා ඇති වේ.එවිට ඉතා ක්ෂණිකව පහලට යමින්,උගුර පෙදෙසට අසාමාන්‍ය ලෙස වාතය ඇද ගැනීමට මහා ප්‍රාචීරය ක්‍රියා කරයි.මෙම වාතය ඔබගේ ස්වරාලය හරහා යත්ම "හික්!" හඬද සමගින් ඉක්කාව උපදී. මේ අතර අන්නශ්‍රෝතයේ ක්‍රමාකුංචන චලනද මදකට නවතී .

මහාප්‍රාචීරයේ මෙවැනි හදිසි වේදනා හට ගැනීමට විවිධ හේතු ඇත.ඉතා ඉක්මනින් ආහාර ගැනීම,අමාශයේ හා උගුරේ වේදනාආමාශයික යුෂ ශ්‍රාවය යනාදිය ඒ අතර ප්‍රධාන වේ.



තවද ක්ෂීරපායින්ට ලඟින්ම නෑකම් කියන උභයජීවීන්, සිය ශ්වසනයේදී ජලීය මාධ්‍යයේ දියවූ ආශ්වාස වාතය ඔවුන්ගේ ජලක්ලෝම හරහා ගමන් කිරීම සහ ක්ෂීරපායි සතුන්ගේ ඉක්කාව ඇතිවීම,යම් පරිනාමික බන්දුතාවක් ඉස්මතු වන අවස්ථාවක් ලෙස කැනේඩියානු විද්‍යාඥයින් විශ්වාස කරයි.




සැකසුම - යුමාල් චතුරංග