පුදුමාකාර රසායනික සංයෝග




අපි ජීවත් වෙන මේ ලෝකය තුල විවිධාකාර රසායනික සංයෝග දහස් ගණනක් පවතිනවා. මේ හැම සංයෝගයක්ම හැදිලා තියෙන්නේ විවිධ මුලද්‍රව්‍යන්ගේ පරමාණු, අණු හා අයන වලින්. ඔබ අහල තියෙනවද "විසෙන් විස නසනවා" කියල පැරණි කියමනක්? මේ කියමන හැදිලා තියෙන්නේ අතීතයේදී භාවිතා කරපු ඇතැම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම නිසා. ඇත්තටම ඉස්සර කාලේ ඇතැම් විෂ වර්ග නිසා හටගත් ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීමට වෙනත් විෂ වර්ග යොදාගෙන තියෙනවා. අදටත් විවිධ අවස්ථා වලදී මේ ක්‍රමය භාවිතා කරනවා. නමුත් පුදුම සහගත දේ තමයි අපි මේ කතා කරපු විසෙන් විස නසනවා කියන සංසිද්ධිය අපි අවරුදු ගණනාවක් තිස්සේ ඉගෙන ගත්ත රසායනික විද්‍යාව කියන විෂයේදීත් හමු වෙන එක.


ඔබට මතක් කරන්න පුලුවන්ද ඒ වගේ අවස්ථාවක්. ගොඩක් ගැඹුරට හිතන්න යන්න එපා. හුඟක් සංකීර්ණ ගැටළු වලට උත්තර තියෙන්නේ අපි හිතන්නෙවත් නැති තරම් සරල මට්ටම් වල. මම ඔබට කිව්වොත් අපි දිනපතා පානය කරන වතුරත් මම කලින් සඳහන් කරපු සංසිද්ධියට උදාහරණයක් කියල ඒක විශ්වාස කරන්න පුලුවන්ද? ටිකක් හිතල බලන්න. වතුර හැදිලා තියෙන්නේ H හා O කියන මුලද්‍රව්‍ය වලින්. H මුලද්‍රව්‍යය සාමාන්‍යයෙන් පවතින්නේ H2 අණු විදිහට කියල අපි කව්රුත් දන්නවනේ. H2 වායුව කියල කියන්නේ ජ්වලනාංකය ඉතාමත් අඩු අධික ලෙස දාහ්‍ය වායුවක්. H2 වායුව තියෙන තැනකට කුඩා ගිනි පුපුරක් වැටුනත් එය ස්පෝටනය වෙමින් ගිනි ගන්නවා. O මුලද්‍රව්‍යය සාමාන්‍යයෙන් පවතින්නේ O2 වායුව විදිහටයි. O2 වායුව කියල කියන්නේ දහනයට නැතුවම බැරි සාධකයක්. එනම් O2 කියන දහන පෝෂකය නැතිනම් එතන දහනයක් ඇතිවෙන්නේ නෑ. ඉතින් මොකක් හරි වස්තුවක් දහනය වෙනකොට, වෙනත් විදිහකට කියනවනම් ගිනි ගන්නකොට ඇති වන ගින්නට O2 වායුව තිබීම අනිවාර්යයි. එතෙන්ට H2 වායුවත් එකතු වුනොතින් සිදු වන්නේ මහා විනාශයක්. හරියට ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම වගේ.

නමුත් මෙන්න මේ O2 හා H2 වලින් හැදිලා තියෙන ජලය කියන්නේ දහන අපෝෂකයක් නේද.? ගින්නකට ජලය දැම්මොත් ඒ ගින්නට වෙන්නේ මොකක්ද කියල මම කියන්න ඕනේ නැනේ. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න. ගින්නක් ඇතිවීමට හා පැතිරීමට උපකාරී වන O2 හා H2 වලින් සැදුණ ජලයම නේද මේ ගින්න නිවල දාන්නත් දායක වෙන්නේ.

ජලය විතරක් නෙමෙයි. අපි හැමදාම ආහාර සදහා යොදන ලුණුත් මේ සඳහා උදාහරණයක්. ඔබ දන්නවා නේද ලුණු වල පවතින්නේ NaCl කියන රසායනික සංයෝගය කියල. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න. මතකද ඉස්සර අපි පාසලේ විද්‍යාගාරයට වෙලා කරපු පුංචි පුංචි පරීක්ෂණ. එතකොට අම්ල භෂ්ම ප්‍රතික්‍රියා වලට උදාහරණ විදිහට අපි සිදු කළේ සෝඩියම් හයිඩ්රොක්සයිඩ් එහෙමත් නැත්නං කෝස්ටික් සෝඩා වලට හයිඩ්රෝක්ලොරික් අම්ලය එකතු කරපු එක. සෝඩියම් හයිඩ්රොක්සයිඩ් කියන්නේ ප්‍රභල භෂ්මයක් කියල මම කියන්න ඕනේ නැනේ. එක අපි හැමෝම දන්නා දෙයක්. ඒ විතරක් නෙමෙයි. හයිඩ්රෝක්ලොරික් අම්ලය කියන්නේ ඉතාමත් ප්‍රභල අම්ලයක්. මේවා කොයිතරං ප්‍රභලද කියනවනං මේ අම්ලයෙන් පොඩ්ඩක් හරි අපේ අතේ ගෑවුනොත් එහෙම අපේ හම පිච්චිලා යනවා. එත් මේ ප්‍රභල අම්ලය හා භෂ්මය එකතු වෙලා හැදෙන NaCl එහෙමත් නැතිනම් අපි නිතර නිතර ආහාරයට ගන්න මේස ලුණු කියන්නේ පොඩ්ඩක්වත් ආම්ලික හෝ භාෂ්මික ගුණ දරන්නේ නැති උදාසීන සංයෝගයක්. ඉතින් මෙතැනදී වෙලා තියෙන්නෙත් NaOH හා HCL කියන ප්‍රභල අම්ලය හා භෂ්මය එකතු වෙලා විෂෙන් විෂ නැසීමක් නේද?.

අපි කවුරුත් දන්නවා භෂ්මයක් හා අම්ලයක් එකතු උනාම උදසීනීකරණයක් වෙනවා කියල. ඒත් මම කලින් සදහන් කරපු කරුණු ගැන ඔබ නිකමටවත් සිතුවාද? මේ වගේ සංසිද්ධි අප අවට පරිසරයේ ඕනේ තරම් තිබෙනවා. නමුත් වැදගත් වන්නේ ඒ සංසිද්ධි දිහා වෙනත් කෝණයකින් බැලීමයි. ලෝකයේ ගොඩක් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ තමන් ඉගෙන ගත්ත කරුණු වලම එල්බගෙන ඉන්නේ නැතුව ලෝකය දිහා වෙනස් විදිහකින් බලන්න පුරුදු වෙච්ච මිනිසුන් නිසා. අපිත් ලෝකය දිහා මීට වඩා වෙනස් විදිහකට බැලුවොත් අපේ පුංචි රටත් ලෝකයේ ගොඩක් දියුණු තත්වයකට කවද හරි පත් වේවි.!


චතුර නානායක්කාර.