ගුරුත්වය ජයගත් ශාක


ශාක කියන්නේ අපේ පෘතුවියේ පැවැත්ම සදහා නැතුවම බැරි ජීවී කාණ්ඩයක්. ශාක නැතිනම් අපි වගේ ස්වයංපෝශී නොවන කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. විෂමපෝශී ජීවින් සියල්ලෝම කුමන හෝ අයුරකින් ශාක මත යැපෙනවා. ශාක ස්වයංපෝශීන් ලෙස ආහාර නිපදවීමට අමතරව මිහිතලය මත O2 හා CO2 සමතුලිතතාවය පවත්වාගැනීම වගේ තවත් විශාල කාර්යභාරයන් රැසක් ඉටු කරනවා. ශාක ප්‍රභාසංස්ලේෂණයෙදී පිටකරන O2 වායුව නිසා තමයි මෙසේ වායුගෝලයේ O2 හා CO2 සමතුලිතතාවය ආරක්ෂා වෙලා පවතින්නේ. ඉතින් මෙන්න මේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සිදුවීම සදහා ජලයත් අත්‍යවශ්‍ය සාධකයක්. ඔබ දන්නවා මීටර් 100 කටත් වඩා උසින් වැඩි ඇතැම් ශාක තිබෙනවා කියල. ඉතින් ශාක කඳක් ඔස්සේ එම ශාකයේ ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ජලය මේ තරම් ඉහලට ගමන් කරන්නේ කොහොමද කියල ඔබ දැනගෙන හිටියද? මේ සඳහා මුලධර්ම 3 ක් දායක වෙනවා. ඒවා තමයි,
1.
උත්ස්වේදන චුෂණ බලය.
2.
මූල පීඩනය.
3.
කේශාකර්ෂණ බලය.

උත්ස්වේදන චුෂණ බලය

මුලින්ම අපි බලමු උත්ස්වේදනය කියලා කියන්නේ මොකද කියල. උත්ස්වේදනය කියල කියන්නේ ශාක පත්‍ර වලින් හා ශාකයේ තිබෙන සවිවර සජීවී පටක වලින් ජලය වාෂ්ප ආකාරයෙන් පිට වීමේ ක්‍රියාවලියට. ශාක පත්‍ර වලට පත්‍ර නාරටි වල සිට පැමිණෙන ජලය, පත්‍රයේ පත්‍ර මධ්‍ය සෛල අතර පවතින අන්තර් සෛලීය අවකාශ වලට වාෂ්ප ලෙස ඇතුල් වෙනවා.
මේ ජලවාෂ්ප පත්‍ර වල පවතින පුටිකා සිදුරු හරහා බාහිර වායුගෝලයට පිට වෙලා යනවා. මේ විදිහට ජලවාෂ්ප අන්තර්සෛලීය අවකාශ වලින් පිටවෙලා ගියාම එහි ඇතිවන හිඩැස පිරවීම සදහා පත්‍ර නාරටි වලින් ජලය පත්‍ර තුලට ඇදිල එනවා. මේ නිසා ඉබේම පත්‍ර නාරටි හා ඒවා සම්බන්ධ වී පවතින සෛලම වාහිනී තුල චුෂණ බලයක් ඇති වෙනවා. හරියට අපි බීම බෝතලේකට බටයක් දාලා කටින් උරනවා වගේ. උත්ස්වේදනය කියන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙන ක්‍රියාවක් නිසා මේ විදිහට සෛලම වාහිනී තුල ඇතිවෙන චුෂණ බලය අඛණ්ඩව පවතිනවා. මෙන්න මේ උත්ස්වේදන චුෂණ බලය නිසා ශාකයක සෛලම වාහිනී තුලින් අඛණ්ඩ ජල ධාරාවක් ශාකය ඔස්සේ ඉහලට ගමන් ගන්නවා. සජීවී ශාකයක් තුලින් ජලය ඉහලට ගමන් කිරීමට දායක වන ප්‍රධානතම මුලධර්මය තමයි අපි මේ කතා කරපු උත්ස්වේදන චුෂණ බලය.

මූල පීඩනය

අපි ඊලගට බලමු මොකක්ද මේ මූල පීඩනය කියන්නේ කියල. අපි දන්නවා ශාකයකට පසෙන් ජලය අවශෝෂණය කර ගන්න දායක වෙන්නේ ඒ ශාකයේ මූල පද්ධතිය කියල. ශාකයේ මූල කේශ මගින් අවශෝෂණය කරගන්නා ජලය විසරණය, ආශ්‍රැතිය, හා ස්කන්ධ ප්‍රවාහය යන ක්‍රම මගින් පථ 3ක් ඔස්සේ සෛලම වාහිනී කර ගමන් ගනියි. ඇපොප්ලාස්ට පථය, සිම්ප්ලාස්ට පථය හා රික්තක පථය නම් මෙම පථ 3න් සෛලම වාහිනී කරා ඇතුල් වන ජලය කෙරෙහි ශාකයේ මූල පද්ධතිය මගින් පීඩනයක් ඇති කරයි. ආශ්‍රැති පීඩන අන්තරයක් නිසා හට ගන්නා මෙම මූල පීඩනය මගින්ද ශාක වල සෛලම වාහිනී තුලින් ජලය ඉහලට ගමන් කරයි. මෙම මූල පීඩනයට ශාකයක් තුලින් මීටර් 10 ක් පමණ උසකට ජලය පරිවහනය කල හැක.

කේශාකර්ෂණ බලය

මෙන්න මේ උත්ස්වේදන චුෂණ බලය හා මූල පීඩනයට අමතරව ශාකයක් තුලින් ජලය ඉහලට යාම සදහා කේශාකර්ෂණ බලයද යම්තාක් දුරකට දායක වෙනවා. කේශාකර්ෂණ බලය කියල හදුන්වන්නේ පෘෂ්ටික ආතතිය නම් ක්‍රියාවලිය නිසා හට ගන්නා බලයක්. ඔබ දන්නවා කේශික නලයක් වතුර භාජනයක ගිල්ලු විට එම නලය තුලින් තරමක් දුරට ජලය ඉහල නගිනවා කියල. අන්න ඒ ක්‍රියාවලියම තමයි මෙතනදීත් සිදු වෙන්නේ. සෛලම වාහිනී කියන්නේ ඉතාමත් සියුම් කේශික නලයක් වගේ වාහිනියක්. ඉතින් මේ ඉතා සියුම් සෛලම වාහිනී තුලිනුත් පෘෂ්ටික ආතති ක්‍රියාවලිය නිසා පාංශු ජලය යම්තාක් දුරකට ඉහල නගිනවා. මේ ක්‍රියාවලිය සඳහා සංසක්ති බල හා ආසක්ති බල ලෙස හදුන්වන පෘෂ්ටික ආතති බල දායක වෙනවා. මෙහිදී සංසක්ති බල කියල කියන්නේ ජල අංශු අතර පවතින ආකර්ෂණ බල වලටයි. ආසක්ති බල ලෙස හදුන්වන්නේ ජල අංශු හා සෛලම වාහිනී බිත්ති අතර ඇතිවන ආකර්ෂණ බල වලටයි.

ඉතින් මේ ක්‍රියාවලි 3 නෙහිම දායකත්වයෙන් ශාක කඳක් තුලින් පීඩන අනුක්‍රමනයකට යටත්ව ජලය ඉහලට ගමන් ගන්නවා.

චතුර නානායක්කාර