මේස ලුණු + ජලය





සම්පුර්ණයෙන් ජලයෙන් පිරී ඇති වතුර වීදුරුවකට මේස ලුණු කුඩු අහුරක් එක් කල විට සිදු වන්නේ කුමක්ද කියල ඔබට අනුමාන කරන්න පුලුවන්ද? ලුණු එකතු කල විට එම එකතු කරන ලද ලුණුද ජලය අඩංගු වීදුරුව තුල යම් පරිමාවක් ගන්නා නිසා වීදුරුවේ ඇති වතුර එයින් ඉවතට ගලායාවී කියල සමහර විට ඔබ සිතනවා ඇති. නමුත් මේ විදිහට වතුර පිරිච්ච කොප්පෙකට ලුණු එකතු කිරීමේදී ඇත්තටම වතුර පිටතට වැක්කෙරෙන්නේ නෑ. තරමක් පුදුම හිතුනත් එක තමයි ඇත්ත. මේක ඔයාල ඕනෙම කෙනෙක්ට ගෙදරදී කරලා බලන්න පුළුවන් පුංචි පරීක්ෂණයක්.
ඇත්තටම ලුණු එකතු කිරීමේදී එම ලුණු කුඩුත් වීදුරු භාජනයේ ඉඩක් ගන්නවා තමයි. එහෙනං ඇයි කෝප්පයේ කට ගාවට වෙනකන් පුරවල තිබිච්ච වතුර ඉවතට ගලාගෙන නොගියේ.
අපි භාවිතා කරන ලුණු කියන්නේ NaCl කියන රසායනික සංයෝගය කියල අපි කවුරුත් දන්නවනේ. අපි ලුණු ජලයට එකතු කිරීමේදී ලුණු ජලයේ දියවෙනවා අපිට බලාගන්න පුළුවන්. ලුණු ජලයේ දියවෙනවා කියන්නේ ලුණු වල තියෙන NaCl ස්පටික Na+ හා Cl- යන අයන වලට විඝටනය වීමයි.

ඔබ දන්නවා නේද ජලය කියන්නේ ධ්‍රැවීය අණුවක්  කියල. ඒ නිසා ජල අණු වලට පුළුවන් එකිනෙක අතර ආකර්ෂණ බල සාදා ගන්න. මෙන්න මේ ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල හයිඩ්‍රජන් බන්ධන කියල හදුන්වනවා. නමුත් මේ ජල අණු අතරට Na+ හෝ Cl- වගේ අයනයක් පැමිණියාම ජල අණු එම අයනය වට කරමින් ඒ අයනයත් සමග අන්තර් අණුක ආකර්ෂණ බල සාදා ගන්නවා. මෙසේ සාදා ගන්න අයන ස්ථිර ද්විද්‍රව ආකර්ෂණ බල කලින් ජල අණු අතර පැවති H බන්ධන වලට වඩා ප්‍රභලයි. මේ නිසා ජල අණු අතර පැවති අවකාශය පෙරටත් වඩා අඩු වෙනවා. අන්න ඒ නිසා තමයි වතුර පුරවපු කෝප්පයකට ලුණු කුඩු එකතු කිරීමේදී ජලය ඉවතට වැක්කෙරෙනවා වෙනුවට ජල මට්ටම කලින් තිබුනටත් වඩා අඩු වෙන්නේ.
චතුර නානායක්කාර.