නිදාගැනීමේ ශිල්පය ප්‍රගුණ කරගත් සත්ව ලොවේ සාමාජිකයන්

වර්තමානයේ පවතින කාර්යබහුල ජීවිතයත් සමග උරෙන් උර ගැටෙන මිනිසුන් තමන්ගේ නින්ද පිළිබඳව අඩු සැලකිල්ලක් දක්වයි.සාමාන්‍යයෙන් මිනිසුන් දිනකට පැය 8ක් පමණ කාලයක් සුව නින්දක පහස අත්විඳී. ඒ අනුව අප අපගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක කාලයක් නිදාගනී.


ක්‍රිකට් ලොව හෙල්ලු නවීන තාක්ෂණික මෙවලම්.

ලංකාවාසි අපට ක්‍රිකට් විස්මයජනක ක්‍රීඩාවකි. ශ්‍රි ලංකාව ක්‍රීඩාකරන තරග ක්‍රිකට් නරඹන්නන් ලෙස අපි ඉතා උද්වේගි අන්දමින් නරඹයි. ජාතික තරඟාවලි මෙන්ම අන්තර්ජාතික තරඟාවලි නැරඹීමටද ක්‍රීඩාලෝලීන් පුරුදු වී ඇත. World Cup, Asia Cup, IPL, SLPL වැනි තරඟාවලි ශ්‍රිලංකා ක්‍රීඩාලොලීන්ගේ ප්‍රියතම තරඟාවලි අතර වේ.
Credit - https://www.sportskeeda.com/cricket/stats-kumar-sangakkara-12000-runs-odis
 කාලයත් සමග ලෝකයා හා තාක්ෂණය දියුණු විය. එලෙසින්ම ක්‍රිකට් ක්‍රීඩාවට භාවිතා වන තාක්ෂණයද දියුණු වි ඇත. දශක කිහිපයකට පෙර සියලු තීරණවල බර විනිසුරුකරුවන්ගේ හිස මත පැටවිණි. එනමුත් දැන් නවීන තාක්ෂණයේ දියුණුවත් සමග තීරණ ගැනීමේ කාර්යය ඉතා පහසු වී ඇත. මෙලෙසින් අප සලකා බලන්නුයේ ක්‍රිකට් වලට මුසුවු තාක්ෂණික උපාංගය ගැනයි.
Decision Review System යනු වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි තාක්ෂණයකි. DRS ගොඩනැංවී ඇත්තේ Hawk eye, Hot Spot, Snickometer යන උපාංග මගිනි.
Hawk eye ඔබ දැකලා තියෙනවනේ. එත් ඔබ එම තාක්ෂණය ක්‍රියාකරන අන්දම පිළිබදව දැනුවත්ද? මෙම තාක්ෂණය ක්‍රියාකිරීමට ඉතා අධි තාක්ෂණික කැමරා 6 හෝ 7 ක පද්ධතියක් භාවිතා කෙරේ. මෙම කැමරා පද්ධතිය ක්‍රීඩාංගන වහලේ යටිපැත්තේ සවි කර ඇති අතර විවිධ කෝණවලින් බෝලයේ ගමන් පථය පිළිබඳ දත්ත ලබාගනී. මෙලෙසින් කැමරා 6 න් ලැබෙන දත්ත භාවිතයෙන් බෝලය පන්දු යවන්නාගේ අතින් නික්මුනු මොහොතේ සිට අවසානය දක්වා බෝලයේ ගමන් පථය ත්‍රිමානීයව සකස් කරයි.
Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/

Hot Spot මගින් බෝලය වදින ස්ථානය නිර්නය කරයි. මෙයට අධෝරක්ත කිරණ(Infra-red) භාවිතා කෙරේ. බෝලය පාදයේ හෝ පිත්තේ වැදුන විට එම ස්ථානයේ ඝර්ෂණ තාපය උත්පාදනය වි ඌෂ්ණත්වය ඉහල යයි. මෙම උත්පාදනය වන තාපය සටහන් කිරීමට තාප සංවේදි  කැමරා 2ක් ක්‍රීඩාංගනයේ දෙපස සවි කර ඇත. එමගින් බෝලය වැදුනු තැන ඉතා දීප්තිමත්ව සටහන් වේ.

Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/
Snickometer භාවිතා කරනුයේ බෝලය පිත්තේ හෝ පාදයේ වැදුනු විට නිකුත්වන ශබ්ධ හදුනගැනීමටය. මෙහිදි Snickometer මගින් පරිසර ශබ්ධ පෙරීම හා අදාල සංඥාව වර්ධනය කිරීම සිදුකරයි. දෝලනේක්ෂයක් භාවිතා කර තරංග හැඩය පිලිබඳව අවබෝධයක් ලබාදේ. බෝලය පිත්තේ හෝ පාදයේ වැදුනු විට තරංග හැඩය උස් වු ආකාරයෙන් දිස්වේ. පිත්තේ නොවැදී බෝලය ගමන් කර ඇත්නම් පැතැලි තරංග රටාවක් නිරූපනය කෙරේ. 
Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/
ඔබ ක්‍රිකට් තරඟයක් නරඹන විටදි, පන්දු යවන්නා පන්දුව නිදහස් කල පසු පන්දුවේ වේගය තිරයේ දිස්වන බව දැක තිබේද? මෙලෙසින් ඔවුන් පන්දුවේ වේගය ගණනය කිරීමට Speed Gun භාවිතා කෙරේ. වේගයකින් ගමන් කරන වස්තුවකට ක්ෂුද්‍ර තරංග එල්ල කල විට එම වස්තුවේ ගැටී නැවත පරාවර්තනය වන ක්ෂුද්‍ර තරංගයේ සංඛ්‍යාතය ආරම්භක ක්ෂුද්‍ර තරංගයේ සංඛ්‍යාතයට වඩා වෙනස් වේ. මෙය ඩොප්ලර් ආචරණය නම් වේ. පොලීසිය වාහනවල වේගය නිරීක්ෂණය කිරීමටත්, ක්‍රිකට් වල බෝලයේ වේගය ගණනය කිරීමටත් ඩොප්ලර් ආචරණය භාවිතා කෙරේ.Speed Gun මගින් යම් නියත සංඛ්‍යාතයකින් ක්ෂුද්‍ර තරංග නිකුත් කර බෝලයේ වැදී පරාවර්තනය වන ක්ෂුද්‍ර තරංගයේ වෙනස් වු සංඛ්‍යාතයෙන් බෝලයේ වේගය ගණනය කරයි.
Credit - https://face2faceafrica.com/article/speed-gun-the-south-african-invention-that-changed-global-sports-since-1999
ඉදිරියකට පැන පහර දීමක දී සිදු කරන දවා ගැනීමකදි(Stumping) හෝ දුවද්දි දැවී යාමදී ක්‍රිකට් බේල්ස්(Bails) වර්ණවත් වනවා ඔබ දැක තිබේ. එහෙත් එය එලෙස සිදුවෙන්නේ කෙසේද? මෙම බේල්ස්(Bails) තුල අඩු වොල්ටීයතාවයකින් යුත් වියලි කෝෂ ඇත. එමෙන්ම බේල්ස්(Bails) එකක් ක්‍රිකට් පොලු මතින් ගැලවී යාම සංවේදනය කරන ක්ෂුද්‍ර සකසනයක්(Microprocessor) ඇත.
Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/

මෙලෙසින් ඔබ හමුවට ගෙන ආවේ ක්‍රිකට් ක්‍රිඩාවට ශක්තියක් වු තාක්ෂණික මෙවලම් වලින් කිහිපයකි. අනාගතයේදි ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් නිරවද්‍යව ක්‍රීඩා කිරීමටත් තාක්ෂණයේ දියුණුව පිටුවහලක් වන බව නිසැකය.   
සැකසුම - සඳරුවන් මානවඩුගේ
                         කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
                         ජාතික මුලික අධ්‍යාපන ආයතනය

තෙල් පැල්ලම නිසා කඩදාසියට සිදුවන අපූරු වෙනස

කඩදාසියක් මත තෙල් සහිත ආහාරයක් තබා බලන්න. ඔබට අඩ වශයෙන් පාරදෘශ්‍ය තෙල් පැල්ලමක් පෙනෙනු ඇත. තෙල් ගෑවුණු විට මෙවන් පැල්ලම් ඇතිවන්නේ ඇයිදැයි ඔබ දන්නවාද? කඩදාසි සෑදී ඇත්තේ සෙලියුලෝස් තන්තු සහ ඒවා අතර ඇති කුඩා වාත කුහර වලිනි. ඒ නිසා කඩදාසිය හරහා යෑමේදී ආලෝකයට මාරුවෙන් මාරුවට සෙලියුලෝස් තන්තු සහ වාතය හරහා ගමන් කිරීමට සිදුවේ.

තාක්ෂණයෙන් තව තවත් සොබාදහමට සමීප වන ජෛව අනුකරණ සංකල්පය..

තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සොබාදහමට සමීප වීමත් වූ කලී එකිනෙකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පැතිකඩයන් දෙකක් ලෙස බොහෝ දෙනෙකු විසින් නිරීක්ෂණය කිරීමට ලැබෙන්නේ බොහෝමයක් අවස්ථා වලදී සිදුවන තාක්ෂණයේ අවභාවිතය වැඩිවීමත් ඒ හේතුවෙන් පාරසරික ලෙස ඇති වී තිඛෙන හානිදායක බලපෑම් ප්‍රමාණය සිඝ්‍ර ලෙස ඉහල යාමත් නිසාය. වායුගෝලීය උණුසුම ඉහල යාම, දේශගුණික විපර්යාසයන්, පරිසර දූෂණය ඇතුළු දහස් සංඛ්‍යාත තවත් ගැටළු ගණනාවක්ම මීට ඇතුලත් වේ. නමුත් නිවැරදි විද්‍යාත්මක සංකල්ප සහ තාක්ෂණික විඥානයක් සහිත නිවැරදි අධ්‍යයනයන් ඔස්සේ සිදු කරන යෙදීම් තුලින් තව තවත් පරිසරයට සමීප විය හැකි මෙන්ම, පවතින පාරසරික ගැටළු බොහොමයකට විසඳුම් සෙවීම පහසුවෙන්ම සිදුකල හැකි බව මේ වන විටත් සනාථ කොට අවසන් කරුණකි.

Biomimicry හෙවත් ජෛව අනුකරණය යන යෙදුම භාවිතයට එන්නේ 1982 වසරේදී වන අතර අමෙරිකානු ජාතික විද්‍යා උපදේශිකාවක් සහ ලේඛිකාවක් වන ජනීන් බෙනායූස් (Janine Benyus) විසින් ප්‍රකාශයට පත්කල ග්‍රන්ථයක් වන Biomimicry - Innovation Inspired by Nature හි මෙම (Biomimicry) ජෛව අනුකරණය යන යෙදුම භාවිතා කරන ලදී. මෙහිදී මෙය අර්ථ දක්වන ලද්දේ ස්වභාවික සංසිද්ධි ආදර්ශනය හා අධ්‍යයනයන් අනුසාරයෙන් සිදුකරන අනුකරණයන් හෝ අනුගමනයන් ඔස්සේ මානව ගැටළු වලට විසඳුම් සෙවිය හැකි නව විද්‍යාව ලෙසිනි. මෙම ජෛව අනුකාරක සංකල්පයේ ප්‍රධාන අරමුණ ලෙස ඇය ඉදිරිපත් කලේ මානව ගැටළුන් සඳහා ආදර්ශකයක් ලෙස මෙන්ම, නව මානයක් ලෙසත්, උපදේශකයකු ලෙසත් සොබාදහම දෙස අවධානය යොමු කරමින් තිරසාරත්වය තහවුරු කිරීමයි. එසේම මෙම (Biomimicry) ජෛව අනුකාරක සංකල්පය ඔස්සේ තව දුරටත් සාර්ථකව පර්යේෂණ සිදු කිරීම සඳහා 2006 වසරේ බ්‍රයනි ශ්වාන් (Bryony Schwan) සහ ජනීන් ඛෙනායූස් විසින් බයෝමිමික්‍රි ආයතනයද (Biomimicry Institute) ආරම්භ කරන ලදී.

මෙම Biomimicry හෙවත් ජෛව අනුකරණය යන යෙදුම භාවිතයට පැමිණීම පසුකාලීනව සිදු වුවත් අතීතයේ පටන්ම ස්වභාවධර්මය ආශ්‍රය කරගනිමින් ගැටළු වලට විසඳුම් සෙවීම මිනිසා විසින් සිදු කෙරෙමින් පැවතින. ඊට හොඳම උදාහරණයක් ලෙස ලියනාඩෝ ඩාවින්චි (Leonardo Da Vinci) විසින් පියාඹන යන්ත්‍රයක් නිර්මාණය කිරීම සඳහා සිදුකල අධ්‍යයනයන් හඳුනාගත හැක. මෙහිදී ඔහු කුරුල්ලන්ගේ ව්‍යුහ විද්‍යාත්මක හා කායික විද්‍යාත්මක ලක්ෂණයන් අධ්‍යයනය කරමින් එම ස්වභාවික සැකැස්ම පියාඹන යන්ත්‍රයක් නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි වේ දැයි අත්හදා බලන ලදී. කෙසේ නමුදු ලියනාඩෝ ඩාවින්චි හට පියාඹන යන්ත්‍රය නිපදවීමේ ගෞරවය හිමි නොවූවද, 1903 වසරේ රයිට් සහෝදරයන්ද ගුවන්යානය නිපදවීම සඳහා මූලික අඩිතාලම ලබාගෙන ඇත්තේ පරවියන්ගේ පියෑඹීම් චලන සහ ව්‍යුහ විද්‍යාත්මක අධ්‍යයනයන් මගිනි.

මේ වන විට නව සොයාගැනීම්, සංකල්පයන් ඇතුළු බොහෝ නව මානයන් ගණනාවක්ම මේ තුලින් ඉදිරිපත් වී ඇති අතර විවිධ තාක්ෂණික අංශයන් ගණනාවක්ම මේ ඔස්සේ ආලෝකමත් වී ඇත.

ගෘහ නිර්මාණ ශිල්පය යනු මෙම ජෛව අනුකාරක සංකල්පය මගින් ආලෝකමත් වූ එක් සුවිශේෂී අංශයක් වන අතර ඊට එක් උදාහරණයක් ලෙස සිම්බාබ්වේ හරාරේ නුවර (Harare, Zimbabwe) නිර්මාණය කරන ලද ඊස්ට් ගේට් සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ල (East Gate Shopping Mall) හදුනාගත හැක. මෙම ගොඩනැගිල්ලේ ඇති විශේෂත්වය වන්නේ, ගොඩනැගිල්ල ඇතුලත වාතනය වීම ස්වභාවිකව සිදුවන අතර බාහිර පරිසරයේ උෂ්ණත්වයවය වෙනස් වීම අනුව ගොඩනැගිල්ලේ අභ්‍යන්තර උෂ්ණත්වය නොවෙනස්ව, එනම් නියතව තබා ගැනීමය. එනම් මෙම ගොඩනැගිල්ල සඳහා වායු සමීකරණ යන්ත්‍ර හෝ කාමර උණුසුම් කිරීමේ යන්ත්‍ර වල අවශ්‍යතාවයක් කිසිම දිනෙක පැන නොනගී. එමනිසා මෙමගින් සිදුකරන බලශක්ති පරිභෝජනය සහ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කිරීම, මේ ප්‍රමාණයේ සාමාන්‍ය ගොඩනැගිල්ලකින් සිදු කරන ප්‍රමාණයට සාපේක්ෂව අතිශය අවම අගයක් ගනී.



මෙහිදී මෙම නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන ඇත්තේ වේයන් විසින් ඉදිකරනු ලබන තුඹසක අභ්‍යන්තර ව්‍යුහයයි. වේයන් විසින් ඔවුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය තුඹසක් තුල පවත්වාගන්නා අතර ඒ තුල පවතින වාස්තු විද්‍යාත්මක තාක්ෂණය මගින් ස්වභාවිකවම ඔවුන්ට එය සිදුකරදෙනු ලැබේ. මෙම ව්‍යුහාත්මක සැකැස්ම අධ්‍යයනය කර එය පරිගණකගත මොඩලයකට අනුගත කිරීමෙන් අනතුරුව වේයන් විසින් භාවිත කරන මෙම ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවේදයන් අධ්‍යයනය කරන ලද අතර, ඒ අනුව එම තාක්ෂණය මිනිසාගේ ගෘහ නිර්මාණ කටයුතු සඳහාද යොදා ගැනීමට අවස්ථාව හිමිකරගනිමින් වඩා සුවපහසු මෙන්ම පරිසර හිතකාමී ගොඩනැගිලි නිර්මාණය සඳහා කටයුතු සම්පාදනය වන ලදි.
 

ඒ සමගම මෙම ජෛව අනුකාරක සංකල්පය යොදාගත් තවත් වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස චීනයේ බීජිං නුවර (Beijing, China) පිහිටා ඇති ඔලිම්පික් ක්‍රීඩාංගනය හදුනාගත හැක. මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ කුරුළු කූඩුවක සැකැස්මයි. මෙහිදී තම පැටවුන්ට අවශ්‍ය උණුසුම රඳවා ගතහැකි ලෙස හා කූඩුව තුළට සුලඟ ඇතුලූ වීම අවම වන පරිදි කුරුල්ලන් විසින් තම කූඩුව නිර්මාණය කරනු ලැබේ. ඒ අනුව මෙම ඔලිම්පික් ක්‍රීඩාංගනය නිර්මාණය කර ඇත්තේද මෙම කුරුළු කූඩුවක ඇති තාක්ෂණික ප්‍රයෝග අධ්‍යයනය කිරීම මගිනි. මෙම ක්‍රීඩාංගනය ඇතුලත උණුසුම රඳවා ගත හැකි ලෙස මෙය නිර්මාණය කර ඇති අතරම සුලඟින් සිදුවිය හැකි බාධාද අවම මට්ටමක පවත්වා ගත හැකි පරිදි මෙය නිර්මාණය කර තිබේ. 41875 ක් වූ ලෝහ තහඩු කුරුළු කූඩුවක රිකිලි මගින් සිදු කරන කෘත්‍යයද, පාරදෘශ්‍ය ටෙට්‍රා ෆ්ලුරො එතිලීන් (Tetrafluoroethylene) පැනල මගින් කුරුළු කූඩුවක තිඛෙන පිහාටු හා මඩ මිශ්‍රිත පාසි වර්ග ආදියෙන් සිදුකරන පරිවරණ කෘත්‍යයද ඉටු කරයි.


ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම ඉංජිනේරු තාක්ෂණික අංශයද මෙම ජෛව අනුකාරක සංකල්පය මගින් ආලෝකමත් වූ තවත් අංශයකි. මෙම අංශයේද මෙම සංකල්පය යොදාගත් අවස්ථා ගණනාවක්ම හඳුනාගත හැකි අතර ඊට හොඳම නිදසුනක් ලෙස ජපානයේ නිර්මාණය කරන ලද අධිවේගී දුම්රියේ (Bullet Train) ඉදිරිපස පෙනුම හඳුනාගත හැකිය. මෙම අධිවේගී දුම්රිය නිෂ්පාදනයේදී මුල්කාලීන ගැටළුවක් වූයේ දුම්රිය උමං තුලින් ගමන් ගන්නා විට හටගන්නා ගිගුරුමක් වැනි අධික ශබ්දයයි. උමග තුල පවතින පීඩනය සහ ඉන් පිටත පවතින පීඩනය අතර පීඩන අන්තරයක් පවතින නිසා දුම්රියට එකිනෙකට පීඩනය වෙනස් මාධ්‍ය දෙකක් ඔස්සේ ගමන් කිරීමට සිදුවේ. මෙහිදී උමගෙන් දුම්රිය එලියට පැමිණෙන විට අධික ගිගුරුමක් (Tunnel Boom) හටගන්නා අතර මෙමගින් දුම්රියට, උමගට මෙන්ම අසල පිහිටි ගොඩනැගිලි වලටද හානි සිදු වියහැක.

මෙම ගැටළුවට විසඳුම සොයාගත හැකිවූයේ පිලිහුඩුවෙකු අහසේ සිට වේගයෙන් ජලය තුලට ඇතුළු වී ජලය තුල සිටින මාලූවෙකු ගොදුරු කරගන්නා අවස්ථාව නිරීක්ෂණය කිරීමෙනි. මෙහිදී වාතය හා ජලය ඝනත්වය වෙනස් මාධ්‍යයන් දෙකක් වුවත් ජලයේ රැලි ඇති නොකරමින් එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට පිළිහුඩුවා ඇතුළු වේ. එයට හේතුව පිළිහුඩුවාගේ හිස සහ හොටය ඇතුළු ඉදිරිපස හැඩය වන අතර මෙම සංසිද්ධිය අධ්‍යයනය කිරීම මගින් අධිවේගී දුම්රිය නිෂ්පාදනයේදී දුම්රියේ ඉදිරිපස මුහුණත පිලිහුඩුවාගේ ඉදිරිපස සැකැස්ම අනුසාරයෙන් නිර්මාණය කරන ලදී. ඒ අනුව මෙම ගිගුරුමක් වැනි ශබ්දය ඇතිවීමේ ගැටලුව මගහරවාගත හැකි වූ අතරම මේ නිසා වායු ප්‍රතිරෝධයද අඩු වූ බැවින් දුම්රිය ධාවනයේදී බලශක්ති හානියද අවම වන ලදී.






ඒ සමගම කොට්ටෝරුවන්ගේ හිස අධ්‍යයනය කිරීමෙන් නිර්මාණය කරන ලද කම්පන අවශෝෂක පද්ධතියද මෙම ජෛව අනුකාරක සංකල්පය භාවිත කරන ලද තවත් සාර්ථක සොයාගැනීමකි. කොට්ටෝරුවෙකු විසින් ගසක බෙනයක් සෑදීම සඳහා තත්පරයකට පහර 18 සිට 22 අතර ප්‍රමාණයක් එල්ල කරන අතර මෙම එක් පහර දීමකදී හොට ගසේ පෘෂ්ඨයේ වැදීමෙන් හිස සමගින් මොලය පෘථිවියේ ගුරුත්වජ ත්වරණය මෙන් 1200 ගුණයක් තරම් වූ ඉහල මන්දනයකට ලක් වේ. නමුත් ඔවුන්ගේ හිසේ ඇති සුවිශේෂී කම්පන අවශෝෂක පද්ධතිය මගින් මේවාට ආරක්ෂාව සපයන අතර කැලිෆෝනියා විශ්ව විද්‍යාලය (University of California) මගින් සිදුකල පර්යේෂණ වලදී හෙලිකරගන්නා ලද්දේ මූලික ක්‍රමවේද 4 ක් ඔස්සේ මෙම කම්පන අවශෝෂණය සිදුවන බවයි. දැඩි මෙන්ම ප්‍රත්‍යස්ථ හොටත්, ස්පොන්ජිමය හිස් කබලත්, මොලය සහ හිස්කබල අතර පවතින කම්පන අවශෝෂක තරලයත් හා තවදුරටත් කම්පන අවශෝෂනය කරගන්නා Hyaloid ස්තරයත් ඇතුළු සුවිශේෂී ව්‍යුහයන් මීට ඇතුලත් වේ.

මේ සැකැස්ම අනුසාරයෙන් ගුවන් යානා වල කළු පෙට්ටියේ ආවරණය සැකසීම සිදුකරන අතර කළු පෙට්ටියකට පෘථිවි ගුරුත්වජ ත්වරණය මෙන් 1000 ගුණයක් තරම් ඉහල මන්දනයකට යටත්වී ආරක්ෂාවීමේ හැකියාව ඇත. එසේම සේප්පු නිර්මාණයද මේ සඳහා ඇතුලත් වේ. කෙසේ නමුත් තවදුරටත් මෙම ව්‍යුහාත්මක අධ්‍යයනයන්ගෙන් පසුව පෘථිවි ගුරුත්වජ ත්වරණය මෙන් 60000 ගුණයක් තරම් වූ ඉතා අධික මන්දනයකට යටත් විය හැකි කම්පන අවශෝෂක නිර්මාණය කිරීමට පර්යේෂකයන්ට මේ වන විට හැකියාව ලැබී තිබේ.

එම අංශයන් හැරුණුකොට තවත් බොහෝමයක් අංශයන් තම ගැටළු නිරාකරණය කරගැනීම සඳහා මෙම සංකල්පය භාවිතා කරන ලදි. මෝරාගේ සමේ අන්වීක්ෂීය ව්‍යුහය අධ්‍යයනය කිරීමෙන් සකසන ලද ක්ෂුද්‍ර ජීවී විකර්ශක ආස්තරණයද මෙම සංකල්පය යොදාගත් සාර්ථක සොයාගැනීමකි. මෝරා යනු මුහුදේ වෙසෙන දැවැන්ත මත්ස්‍යයෙකු වුවත් ඔවුන්ගේ සිරුර බැක්ටීරියා, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවී ගහණ වලින් තොරවේ. මීට හේතු වී ඇත්තේ මෝරන්ගේ චර්මීය ක්ෂුද්‍ර දන්තිකා යන ව්‍යුහයන් මගින් ඔවුන්ගේ සමේ සිදුවන බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවී වර්ධනයන් වලක්වාලනු ලැබීමයි.

ඇමෙරිකානු නාවික පර්යේෂණ නිලධාරීන් මෙම සංසිද්ධිය ව්‍යුහාත්මක වශයෙන් අධ්‍යයනය කල අතර ඉන් අනතුරුව නැව් වල බදේ මුහුදු ජීවීන් වර්ධනය වීම වැලැක්වීම සදහා නැව්බඳ ආවරණය කලහැකි Sharklet ලෙස නම් කල පෘෂ්ඨයක් නිර්මාණය කරන ලදී. එසේම මෙම තාක්ෂණය අනුසාරයෙන් රෝහල් වල භාවිතා කරන අත්වැසුම් සහ එවැනි පහසුවෙන් ක්ෂුද්‍රජීවී වර්ධනයවීම් සිදුවිය හැකි පෘෂ්ඨයන් සඳහා භාවිතා කිරීමට ක්ෂුද්‍ර ජීවී වර්ධනය වැලක්විය හැකි ආස්තරණයක් නිර්මාණය කිරීමද සිදු කරන ලද අතර මේ නිසා විෂබීජ නාශනයට අමතර වෙහෙසක් ගැනීම අවශ්‍ය නොවන බැවින් කටයුතු බොහෝ සෙයින් පහසු කරගැනීමට හැකිවන ලදි.



වායු ගෝලීය ජල වාෂ්ප ද්‍රව ජලය බවට පත්කර එය පානයට ගන්නා කාන්තාරවාසී නැම්බියානු කුරුමිණියා (Namibian Beetle) සතු තාක්ෂණයද මෙම ජෛව අනුකරණය මගින් මිනිසාට අනුකූල කරගතහැකි වූ තවත් අනගි තාක්ෂණික යෙදවුමකි. මෙම නැම්බියානු කුරුමිණියාගේ කවචයේ ඇති අන්වීක්ෂීය නෙරීම් මගින් වායුගෝලීය ජල වාෂ්ප රඳවාගත හැකි අතර කවචයේ සැකැස්ම අනුව එම ජල වාෂ්ප එකතු වීමෙන් ජල බිදිතිද, එම ජල බිදිති එකතු වීමෙන් විශාල ජල බිංදු නිර්මාණය වී ස්වභාවිකවම මුඛය තුලට ගලාගෙන එන ලෙස එම ව්‍යුහය සැකසී පවතී.

මෙම සංසිද්ධිය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ (Oxford University) පර්යේෂක ඇන්ඩ‍ෘ පාකර් (Andrew Parker) විසින් අධ්‍යයනයට ලක් කල අතර මේ වන විට මෙම නැම්බියානු කුරුමිණියාට වඩා දස ගුණයක ජල සම්පාදන කාර්යක්ෂමතාවයක් සහිත මතුපිටක් නිර්මාණය කිරීමට පර්යේෂකයන්ට හැකියාව හිමි වී තිබේ. එසේම මෙම ව්‍යුහාත්මක අධ්‍යයනයන් තවදුරටත් සිදු කිරීම මගින් දකුණු කොරියාවේ සෝල් සරසවියේ (Seoul National University) පර්යේෂණ කණ්ඩායමක් විසින් Dew Bank Bottle නම් වායුගෝලීය ජලවාෂ්ප ද්‍රව ජලය බවට පත්කරමින් එකතකුරගත හැකිවන පරිදී බෝතලයක් නිර්මාණය කිරීමට සමත්විනි.



එමෙන්ම තවත් මෙවන් අනර්ඝ සොයාගැනීම් බොහොමයක් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ඉන් එකක් ලෙස කෝර්නෙල් සරසවියේ (Cornell University) පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කෙරෙන, ශාක වල ජල පරිවහනය අධ්‍යයනය කිරීමෙන් එය විශාල ගොඩනැගිලිවල ජල පරිවහනය සදහා යොදාගත හැකිද යන්න සිදුකරන පර්යේෂණය හදුනාගත හැකිය. ශාකයක් විසින් පාංශු ද්‍රාවණයේ ඇති ජලය ලබාගෙන එය ශෛලම පටකය ඔස්සේ ශාකයේ ඉහලට සහ අනෙකුත් කොටස් වලට ඛෙදාහරිනු ලබන අතර මීට වෙනත් බාහිර පොම්ප භාවිත කිරීමක් හෝ අමතර ශක්තිය වැය කිරීමක් හෝ සිදු නොකරයි. මේ සදහා උත්ස්වේදන චූෂණය, කේෂාකර්ෂණය ආදී සාධක බලපානු ලබන අතර මෙම සරල සංසිද්ධිය යොදාගෙන ගොඩනැගිලිවල පහල සිට ඉහලට ජලය පරිවහනය සිදුකල හැකිවේද යන්න මෙහිදී අත්හදා බැලේ. එවිට ජලය පොම්ප කිරීම සදහා අමතර බල ශක්තියක් වැය නොවන අතර පාරිසරික වශයෙන්ද මෙය හිතකාමී ක්‍රියා පිලිවෙතක් වේ.


එසේම කේම්බ්‍රි‍ජ්හි (MIT, Cambridge) MIT තාක්ෂණික ආයතනය මගින් පර්යේෂණය කරන ලද මිනිස් කර්ණ ශංඛය අධ්‍යයනය කිරීමෙන් නිපදවූ රේඩියෝ තරංග, රූපවාහිනී තරංග ඇතුළු තරංග ග්‍රහණය කරගත හැකි චිපයද මෙම ජෛව අනුකාරක සංකල්පය පාදක කොටගත් විශිෂ්ට සොයාගැනීමක් ලෙස හදුනාගත හැකි වේ. මෙය සාමාන්‍ය චිපයකට වඩා විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුක්ත වූ තරංග ග්‍රහණයට හැකියාව පවතින අතර මෙමගින් සිදුකරන බලශක්ති පරිභෝජනයද ඉතාමත් අවම මට්ටමක පවතී. මෙම පර්යේෂණය අවසන් අදියරේ පවතින එකක් වන අතර මෙහි එලිදැක්වීම් කිහිපයක්ද මේ වන විට සිදුකර තිබේ.


ස්වභාවික ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය අධ්‍යයනයෙන් හිරු එලිය භාවිතා කර කෘත්‍රිමව වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් තිරකිරීම මගින් කාබනික ද්‍රව්‍ය නිපදවීමට සිදුකරන පර්යේෂණයන්ද අනාගතය ආලෝකමත් කිරීමට මගබලමින් සිටින ඒවා වන අතර එය මිනිසා අනාගතයේ ලබන දැවැන්ත ජයග්‍රහණයක්ද වනු ඇත.

එසේම මානව අස්ථී වල අන්තර්ගතය සහ ව්‍යුහය අධ්‍යයනය කිරීමෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය නිර්මාණය කිරීමද මේ වන විට පර්යේෂණ මට්ටමේ පවතින විශිෂ්ට සොයාගැනීමකි. මානව අස්ථී වල පවතින ලෝහ වලට වඩා සවිමත් වීමේ සහ ලෝහ වලට වඩා සැහැල්ලූ වීමේ ගුණයන් ගොඩනැගිලි නිර්මාණයට ඉතා වැදගත් කරුණු ලෙස මෙහිදී සලකා බලා ඇත.

හූනකුට බාහිර ආධාරකයකින් තොරව බිත්ති දිගේ ගමන් කිරීමට උපකාරී වන අත් සහ පාද වල මතුපිට සැකැස්ම අනුසාරයෙන් සකසන ලද අත්වැසුම, දලඹුවෙකුගේ චලන ආශ්‍රයෙන් නිර්මාණය කරනු ලබන ගස් නැගිය හැකි රොබෝ, සූරියකාන්ත මලේ චලනයන් ආශ්‍රයෙන් නිපදවූ සූර්යලෝකය පැමිණෙන දිශාව අනුව තම දිශානතිය වෙනස් කරගන්නා පැනල ආදියද නුදුරු අනාගතයේම භාවිතයට පැමිණීමට නියමිත ඒවා වේ.



තවත් මෙවන් අතිසාර්ථක යෙදීම් සහ තාක්ෂණික ප්‍රයෝගයන් සහිත සොබාදහමේ අපූර්ව නිර්මාණයන් අපමණ සංඛ්‍යාවක් මිහිමත පවතින අතර තේරුම්ගත යුතු කාරණාව වන්නේ එම පවතින සෑම නිර්මාණයක්ම සහ සංසිද්ධියක්ම කිසියම් හේතුවක් නිසා සිදු වන බවයි. ඊට අදාල සරල විද්‍යාත්මක හේතුව නිසිලෙස ග්‍රහණය කරගත හැකි වන්නේ නම් එමගින් වඩාත් ඵලදායී විය හැකිවේ. මේ සදහා අවශ්‍ය වන්නේ ගවේෂණාත්මක හා නිර්මාණශීලී චින්තනයත්, සරල විද්‍යා සංකල්ප වල මුලික දැනුමත් පමණක් බව පසක් කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.

ඉන්ද්‍රජිත් අත්තනායක
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

පාට මාරු කරන ගස් එහෙම කරන්නේ ඇයි?

picture courtesy:http://all4desktop.com/data_images/original/4245359-autumn.jpg
වසන්තය ගිම්හානය පසුකර සරත් සමය, සීත ඍතුව එළැඹෙන බව අපට කියන්නේ කාලයත් සමඟ එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් සැරසෙන සොබාදහමයි. මේ අතුරෙන් ගිම්හානයේ ඇති හරිත වර්ණ තුරුවැල් සරත් සමයේදී රතු කහ පැහැයට හැරෙන අයුරු කැපී පෙනේ. ගහකොළ වලට මේ අපූරු පැහැයන් ලැබෙන්නේ කෙසේ ද? අවශ්‍ය විටෙක ඔවුන් එම පැහැයන් වෙනස් කරගන්නේ කොහොම ද? මේ සිදුවීම් සියල්ල පසුපස අප නොසිතූ අරුමයක් සැඟව ඇත්ද? 

පොලිතින් තහනම විද්‍යාත්මක ඇසින්..

පොලිතින් තහනම සහ ඒ ආශ්‍රිත නොයෙකුත් මතවාදයන් වර්තමාන සමාජ පසුබිමෙහි නොයෙකුත් ආකාරයෙන් කතාබහට ලක්වෙමින් පවතී. පාරිසරික වශයෙන් බැලූ කළ මෙවන් ප්‍රයත්නයන් අනර්ඝ නමුත් නුදුරු ඉතිහාසය දෙස බැලූ කළ පෙනී යන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙය අළුත් තත්වයක් නොවන බවයි. මීට පෙර අවස්ථා දෙකකදී රජය මෙම නීතිය රට තුල ස්ථාපනය කිරීමට උත්සහ කළද ඒවා ව්‍යර්ථ වී ගියේ ඇතැම් ජන කොටස් සතුව මේ සම්බන්ධව තිබූ දැනුම, උනන්දුව මඳකම සහ කාලයත් සමඟ රජය සතු වූ අනවධානයයි.

polythene-ban-sri-lanka
image source:
http://www.hindustantimes.com/world-news/sri-lanka-bans-plastic-after-garbage-crisis/story-PfM1zsZUDPcYdPmTlafHSM.html
කසල කලමනාකරණය පිලිබඳ දැවැන්ත ගැටළු මතුවීම සහ දිවයින පුරා ඩෙංගු වැනි රෝග පැතිරීමත් සමඟ පොලිතින් නිසා වන හානිය වැඩි වශයෙන්ම දැනෙන්නට වූ අතර මෙවැනි නීතියක අවශ්‍යතාවය නැවතත් මතුවන්නට විය. මේ අනුව සැප්තැම්බර් පළමු වනදා සිට මෙම නීතියට අදාල කරුණු බලපැවැත්වෙන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන්පසු මෙම කාලය ජනවාරි පළමු වන දා තෙක් දීර්ඝ කර සහන කාලයක් ලබාදෙන ලදි. මේ වන විට බොහොමයක් ජනතාව සහ සුපිරි වෙලඳසැල් මීට අනුගත වෙමින් පවතින බවක් දක්නට ලැඛෙන නමුත් තවමත් ඇතැම් පිරිස් මේ සම්බන්ධ නිසි අවධානයක් යොමු නොකර ඇති සේයාවක් දක්නට ලැබේ.

සරලව ගත්කල පොලිඑතිලීන් (Polyethylene - PE) යනු බහුඅවයවීකරණය වූ කාබන් දාමයකි.

polythene-ban-sri-lanka
එතීන් ⟶ පොලිඑතිලීන් බවට පත්වීම (Ethene ⟶ Polyethylene) 

ඇතැම් අවස්ථාවල මෙයට H (හයිඩ්‍රජන්) පරමාණු වෙනුවට වෙනත් කාබන් දාම සමග බහුඅවයවීකරණය වීමෙන් ශාඛනය වූ දාම සහිත පොලිඑතිලීන් නිර්මාණය වේ. අඩු ඝනත්ව පොලිඑතිලීන් (Low Density Polyethylene -LDPE ) යනු මෙයයි.

polythene-ban-sri-lanka

ශාඛනය වූ එනම් අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE) නිර්මාණය වීමකට උදාහරණයක් ලෙස මෙම ප්‍රතික්‍රියාව හඳුනාගත හැකිය.
එසේම ශාඛනය නොවූ රේඛීය (Linear) කාබන් දාමයන් වැඩි ඝනත්ව පොලිඑතිලීන් (High Density Polyethylene- HDPE) ලෙස හදුන්වයි.

අප දන්නා පරිදී පොලිතීන් ජෛව හායනයට (Bio-degrade) ලක් නොවන අතර මෙය ලක්වන්නේ ප්‍රකාශ හායනයටයි (Photo-degrade). එනම් කාලයත් සමග මේවා විෂ සහිත අතිශය කුඩා අංශු බවට කැඩීයාම සිදුවේ (Petro -Chemicals). පස සහ ජලයත් සමඟ ඉන්පසු මෙම ඉතා කුඩා අංශු මුසුවන අතර පහසුවෙන් ජීවීදේහ වලට ඇතුළුවීම සිදුවේ. ජලජ පරිසර වලදී මෙය ඉතා සුලභ අතර ප්ලාස්ටික් ඇතුලු මෙවන් කාබනික අංශු ශරීරගත වීම කාබනික ද්‍රව්‍ය ජෛව සමුච්චනයට (Bio Accumulation) ලක්වීමට පවා බලපායි.

polythene-ban-sri-lanka
image source:
https://lankainformation.lk/news/business-news/item/confusion-reigns-over-new-polythene-ban
ශ්‍රී ලංකාවේ රජය මගින් භාවිත කලහැකි පොලිතින් වල අවම ඝනකම ලෙස 20μm ලෙස සීමා පනවා ඇත. ඝනකම ඉහල වීම මගින් නැවත නැවත අදාල පොලිතින් බෑගය භාවිතා කල හැකිවන අතරම ප්‍රකාශ හායනයට ලක්වීමට ඇති හැකියාවද යම්තාක් දුරකට පාලනය වේ. තමා භාවිතා කරන පොලිතින් වල ඝනකම 20μm ඉක්මවූ පමණින් එම පොලිතින් භාවිතය වැඩි වශයෙන් සිදුකිරීම හෝ එය පරිසර හිතකාමී යැයි සිතීම සාවද්‍ය වේ. ඝනකම වැඩි පොලිතින් පරිසරයට මුදාහැරීමෙන් පෙරටත් වඩා පොලිතින් පදාර්ථ ප්‍රමාණයක් පරිසරයට එකතු වන අතර මෙම පියවර පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය ගත් මූලික පියවරක් බව තේරුම් ගතයුතුය. මෙයින් පරිසරයට පොලිතින් මුදාහැරීමේ සහ පරිසරය දූෂණය වීමේ යම් අවම වීමක් රජය බලාපොරොත්තු වන අතර ඉන්දියාව වැනි රටවල මෙම අවම ඝනකම් සීමාවේ අගය 40μm - 50μm දක්වා වර්ධනය කර ඇත.

ඒ සමගම ශ්‍රී ලංකාවේ මෙම නීතියට අනුව විවෘත භූමි වල පොලිතින් ප්ලාස්ටික් හෝ ප්ලාස්ටික් අන්තර්ගත ද්‍රව්‍ය දහනය කිරීම තහනම් වේ.

polythene-ban-sri-lanka
image source:
http://dailynews.lk/2017/07/17/local/122195/burning-polythene-plastics-open-places-be-banned

බොහොමයක් පොලිතීන් දහනය කිරීම පහසු කටයුත්තක් නොවන අතර දහනය කරන විට පොලිතින් ද්‍රව බවට පත්වී බොහෝ වේලාවක් පවතී. සම්පූරණයෙන්ම දහනය කිරීමට නම් වැඩි වේලාවක් තාපය සැපයිය යුතු වේ. බොහෝ අවස්ථා වලදී මෙම දහනයේදී කර්කෂ දුගන්ධයක් අත්විදිය හැකි අතර බොහෝසෙයින් විෂවන සංඝටකයන් මේ දුම තුල අන්තර්ගත වේ. ඒ සමග මීට හේතුවන මෙම ප්ලාස්ටික් අන්තර්ගතයන් ලෙස හයිඩ්‍රොකාබන, සයනයිඩ් සංඝටකයන් Polychlorinated biphenyls (PCBs), ක්ලොරිනීකෘත පොලිඑතිලීන් (Chlorinated Polyethylene), Chlorinated polyvinyl chloride (CPVC), Chlorosulfated polyethylene (CSPE), Polyvinyl Chloride (PVC) ආදිය හඳුනාගත හැක.

මෙම ප්ලාස්ටික් වර්ග දහනයෙන් ඩයොක්සීන් (Dioxin ) නිපදවෙන අතර වායුගෝලයට මුදාහැරේ. මෙය දරුණු පිලිකා කාරකයක් (Carcinogenic) වන අතර ඇමරිකාවේ ජාතික ප්‍රමිති හා තාක්ෂණ ආයතනය (National Institute of Standards and Technology) මගින් අංශුමාත්‍ර මූලද්‍රව්‍යයක් වන ආසනික් (As) වලට වඩා අර්ධ මිලියන ගුණයක පිලිකාකාරක හැකියාවක් මෙහි පවතින බව සනාථ කර තිබේ. මෙය ජීවීදේහ තුලට ඇතුළු වී මේදය තුල ද්‍රාවණය වී අතිශය ඉහල ස්ථායීතාවයක් සහිතව රඳා පවතින අතර මෙය ජෛව සමුච්චනයටද ලක්වේ.
polythene-ban-sri-lanka
image source: https://en.wikipedia.org/wiki/Carcinogen
ඒ සමගම පොලිස්ටයරීන් (Polystyrene) දහනය කිරීමෙන් තවත් විෂවායුවක් වන ස්ටයරීන් (Styrene) වායුව මුදාහැරෙන අතර මෙම වායුව මිනිස් සම හා පෙනහළු මගින් අවශෝෂණය කරගනී. මෙය මධ්‍යම ස්නායු පද්ධතියට දරුණු බලපෑම් එල්ල කරන අතර පෙනහළු ආබාධ, හිසරදය ඇතුළු සිරුර දුර්වල කිරීමට සමත් නොයෙකුත් විභවයන් මේ තුල අන්තර්ගත වේ.

පාලිත තත්වයන් යටතේ දහනය කිරීම මගින් විෂ ද්‍රව්‍ය වායුගෝලයට මුසුවීම යම්තාක් දුරකට අවම කරගත හැකි අතර විවෘත දහනය මගින් විශාල විෂ වායූන් ප්‍රමාණයක් වායුගෝලයත් සමග එකතු වේ. මේ නිසා දහනය සිදු කරන පුද්ගලයාත් ඇතුළුව ඒ අවට වෙසෙන සියල්ලන්ටම මෙම අවධානමට ලක් වීමට සිදුවේ. මේ නිසා සිදුකල හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ඉවත් කිරීමට අවශ්‍ය පොලිතීන් හා ප්ලාස්ටික් එකතුකර ඝන අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයක් වෙත භාර දීමය.

polythene-ban-sri-lanka
image source: https://cornware.co.uk/recycling-2/
නිවෙස්‌ හෝ ආයතන තුළ වෙන් වෙන් කසල බදුන් තබා ගැනීමෙන් අපද්‍රව්‍ය වෙන් කිරීමේ කාර්ය පහසු කරගන්න පුළුවන්

ඒ සමගම උත්සව කටයුතු වලදීද පොලිතීන් භාවිතය තහනම් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය පැසසිය යුතු අතර විශාල වශයෙන් පොලිතීන් පරිසරයට මුදාහරින අවස්ථා ලෙස මෙම උත්සව අවස්ථා හදුනාගත හැකිය.

ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් මෙම පොලිතීන් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඇතැම් රටවල් එය සාර්ථක කර ගෙන ඇති නමුත් ඇතැම් රටවල එය අසාර්ථක වී ඇත. උදාහරණයක් ලෙස රුවන්ඩාව මෙම පොලිතීන් භාවිතය අවම කිරීම ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර බංග්ලාදේශය 2002 වසරේ පොලිතීන් තහනමක් ප්‍රකාශ කලද වර්තමානය වනවිට එය අභාවයට ගොස් තිබේ. මේ ආකාරයෙන් ඇතැම් රටවල් මෙම නීති ස්ථාපිත කිරීම සාර්ථක කරගන්නේද ඇතැම් රටවල් අසාර්ථක වන්නේද මේ කෙරෙහි ජනතාවගේ ක්‍රියාකලාපය අනුව බව ජනතාව වටහාගත යුතුය.

polythene-ban-sri-lanka
image source:
www.mynewsdesk.com/swedbrand/blog_posts/which-are-the-benefits-of-choosing-jute-bags-59291
සිලි මලු වෙනුවට බංගලාදේශයේ සුලබව ශාවිතා කෙරෙන හණ වලින් සෑදු මලු හෙවත් ගෝනි බෑග්


polythene-ban-sri-lanka
image source:
http://www.aliexpress.com/store/product/Magic-Kitchen-Creative-Bento-box-Korean-Style
හැමදාමත් ලන්ච් ෂීට් හාවිතා කරනවා වෙනුවට මෙවැන්නකට යොමු වන්න අපටත් පුළුවන්
ශ්‍රී ලංකාව වැනි රටක් තුල නම් ප්ලාස්ටික් මලූ හෝ වෙනත් ප්ලාස්ටික් භාවිතයන්ට විකල්ප විසදුම් නැතැයි රජයට දොස් පැවරීම අනුමත කල නොහැකි කරුණකි. ඇති කරගත යුත්තේ ආකල්පමය වෙනසක් වන අතරම බිය ඇතිකරගත යුත්තේ නීතිය කෙරෙහි නොව පොලිතින්, ප්ලාස්ටික් භාවිතය සහ අක්‍රමවත් කසල කලමනාකරණය හේතුවෙන් ඇතිවිය හැකි භයානක අතුරු ප්‍රතිඵලයන් කෙරෙහි බව ජනතාව තේරුම් ගත යුතුය.

ඉන්ද්‍රජිත් අත්තනායක,
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

අභ්‍යවකාශ ජනාවාසකරණය සහ මානව පැවැත්ම

මිහිතලය මත වෙසෙන සාර්ථකම ජීවීන් කොට්ඨාසය වන මානව සංහතියේ ආරම්භය මීට වසර මිලියන ගණනාවකට පෙර ප්‍රයිමේටාවන්ගේ පටන් සිදුවූ අතර එතැන් පටන් මේ දක්වා එනම් එහි දියුණුතම අවස්ථාව වන Homo sapiens sapiens දක්වා පරිණාමය වීම නොයෙකුත් වූ වාසිදායක සහ සුවිශේෂීකරණය වූ ලක්ෂණ හඳුන්වාදෙමින් සිදුවිය. මීට උදාහරණ කිහිපයක් ලෙස මොළයේ වර්ධනය සහ පුළුල් නළලක් ඇතිවීම, ප්‍රාථමික වක්‍ර 2ක් සහ ද්විතීක වක්‍ර 2ක් සහිතව කොඳුඇට පෙල සමගින් සෘජුකාය විලාසය ඇතිවීම, මහපට ඇඟිල්ලේ පිලිමල් ස්වභාවය හා මුහුණ පැතලි වීම ගත හැකිය. මෙම සුවිශේෂී වූ ලක්ෂණ වල හඳුන්වාදීම සහ ඒවායේ වර්ධනය මානව ජීවියාට මිහිතලය මත ජනිත වී ඇති අනෙකුත් ජීවීන් අභිබවා ජීවිත සටන ජයගනිමින් මිහිමත තම පැවැත්ම තහවුරු කරගැනීමට මනාම වූ පිටිවහලක් වන්නට ඇති බව ඉතා පැහැදිලිවම සිතිය හැකි කරුණකි.

space colonization
image source:http://www.bbc.co.uk/programmes/p0022nyy
ප්‍රථමාවධියේදී මානවයාගේ මූලික අවශ්‍යතාවයන් ආහාර ලබාගැනීම සහ ආරක්ෂාව පමණක් වුවත් කල්ගතවත්ම එය මීට අමතරව ඇඳුම් පැලඳුම් වාසස්ථාන අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු විශාල මූලික අවශ්‍යතාවයන් රැසක් බවට පත්විය. මෙහිදී මෙයට වැඩි වශයෙන්ම හේතුවූවා යැයි සැලකිය හැකි කරුණ වන්නේ මිනිසාට ඉගෙනගැනීමට ඇති සුවිශේෂී වූ හැකියාවයි. මිහිමත වෙසෙන බොහොමයක් ජීවීන්ට ඉගෙනගැනීමට හැකියාව තිබුනත් එය අත්දැකීම් වලට පමණක් සීමාවන අතර මිනිසා සුවිශේෂී වන්නේ ඔවුන්ට බුද්ධිමත්ව කරුණු විමසා බලමින් තාර්කිකව ඉගෙනුම ලැබීමට ඇති හැකියාවෙනි. මෙය අනෙක් ජීවීන්ට සාපේක්ෂව මානවයා ප්‍රමුඛ වීමට ලක් වූ ප්‍රධාන හේතුව ලෙස සැලකිල්ලට භාජනය කලහැකි අතර ගින්දර සොයාගැනීම, රෝදය සොයාගැනීම සහ ට්‍රාන්සිස්ටරය සොයාගැනීම වැනි සන්ධිස්ථානයන් තුලින් එය සාර්ථකව පසක් කර තිබේ. මේ අනුව බලන කළ මේ වනවිට මිනිසාට ජීවිත සටන සඳහා අනෙකුත් ජීවීන් සමඟ පවතින්නේ නිතරඟයක් බව පැහැදිලි වේ.

මෙලෙසින් කාලයත් සමග මිනිස් ගහණය වර්ධනය වූ අතර සංක්‍රමණ, ආක්‍රමණ ආදී ක්‍රම සහ භූ විද්‍යාත්මක හේතූන් පදනම් කර ගනිමින් පෘතුවිය පුරා මානව ගහණය වර්ධනය වීමට ලක්විය. වර්තමානය වනවිට මෙම මානව ගහණය බිලියන 7.5කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී පවතින අතර වර්ධන වේගය 1.1% පමණ අගයක් ගනී. මෙම සංඛ්‍යාත්මක අගය මිහිමත වෙසෙන අනෙකුත් ඇතැම් ජීවීන් සමඟ සසඳා බලන කළ කුඩා අගයක් වුවත්, සියලූම ජීවීන්ට අයිතිව පවතින භූමි ප්‍රමාණය සහ සීමිත සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගත් කල මෙම අගය සීමා ඉක්මවා යාමක් බව පැවසීම සාවධ්‍ය නොවේ.

මෙම සාර්ථක මානව පරිණාමයත් වර්ධනයත් සමඟ මිනිසා භාවිතා කරන තාක්ෂණයද ඊට සමගාමීව ඉතා ඉහළ වේගයක් සහිතව වර්ධනය වීමට ලක් වූ අතර මෙලෙසින් වර්ධනය වී වර්තමානය වන විට එය සාපේක්ෂව ඉතා ඉහළ ස්ථානයකට සපැමිණ තිබේ. තොරතුරු තාක්ෂණික, වෛද්‍ය හා ජෛව විද්‍යාත්මක, රසායනික විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක ක්ෂේත්‍ර මීට ඇතුළත් කළ හැකි වැදගත් ක්ෂේත්‍රයන් වේ.
මේ අතරින් අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන්ද ප්‍රධාන පෙලේ ස්ථානයක් හිමිකර ගන්නා අතර වර්තමාන තාක්ෂණික මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් බොහොමයක්ම පාහේ සපුරාලීමට මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවන් භාරගෙන තිබීම නිරීක්ෂණය කලහැකි කරුණකි.

මෙහි සුවිශේෂ කෘත්‍යයක් ලෙස විශ්වය පිලිබඳ සිදු කෙරෙන අධ්‍යයනයන් සැලකිය හැකි වේ. ඉතිහාසයේ පටන් මේ දක්වා විශ්වය පිලිබඳ පැවති දුර්මතාන්ත දුරු කරමින් ආගමනයෙන් පසු වර්තමානය වන විට සාපේක්ෂව ප්‍රශස්ථ මට්ටමක අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින අතර නාසා ආයතනය (NASA-The National Aeronautics and Space Administration) සමගින් හබ්ල් දුරේක්ෂය(Hubble Space Telescope)- සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයද (International Space Station) මෙහිලා ඉහළ දායකත්වයක් දක්වනු ලබයි. මේ සමඟ චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක්ද පෘතුවිය එපිටින් පවතින තාරකා ග්‍රහලෝක මෙන්ම ජීවයන් පිලිබඳ ගවේෂණයන්හි නියැලෙමින් පවතී.

space colonization
image source:
https://www.space.com/20657-stephen-hawking-humanity-survival-space.html

මෙම අභ්‍යවකාශ හා අජටාකාශ විද්‍යාවේ නවමු වූ මානයක් ලෙස අභ්‍යවකාශ ජනාවාසකරණ (Space Colonization) සංකල්පය හැඳින්විය හැකි වේ. සරලව ගත් කළ අභ්‍යවකාශ ජනාවාසකරණය යන්නෙහි මූලික සංකල්පය වන්නේ පෘතුවියෙන් බැහැරව, ස්ථීර සහ ස්වතන්ත්‍ර ලෙස වාසය කළ හැකි පරිදි වාසස්ථාන පිහිටුවා ගැනීමයි. ලොව සුප්‍රකට භෞතික විද්‍යාඥයෙකු සහ අජටාකාශ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙපන් හෝකින් මහතා (Theoretical Physicist and Cosmologist Professor Stephan Hawking) මත පලකරන්නේ මිනිසාට පෘතුවියෙන් එපිටට තම ජීවය ව්‍යාප්ත කළ නොහැකි නම් තවත් වසර දහසක් තුල පෘතුවිය මිනිසාට ජීවත්විය නොහැකි ස්ථානයක් බවට පත්වන අතර ඔහු පවසන්නේ තනි ග්‍රහලොවක ජීවය පැවතීම අවධානම් කටයුත්තක් බවයි. මෙම ප්‍රකාශනයට උදාහරණයක් ලෙස ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වීම ගත හැක. ඔහු පවසන්නේ පෘතුවිය භංගුර වස්තුවක් වන අතර ඇස්ටරොයිඩ හෝ එවැනි වෙනත් අභ්‍යවකාශ වස්තුවක ඝට්ටනයකින් පහසුවෙන්ම පෘතුවිය විනාශ වී යාහැකි බවයි.


මීට අමතරව මිනිස් ගහණය පාලනය කිරීමට නොහැකි තරමටම වර්ධනය වූ පසු අභ්‍යන්තර ගැටුම්, එනම් යුධ කටයුතු සහ හදිසි අනතුරු මගින් මිනිසුන් විනාශ වී යාහැකි බවත් මෙම ගැටලූ වලට හොදම විසඳුමක් ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ පෘතුවියට පමණක් සීමාවී ඇති ජීවය අභ්‍යවකාශය දක්වා ව්‍යාප්ත කලයුතු බවයි.

නාසා ආයතනයේ විද්වත් නිලධාරියෙකු ලෙස කටයුතු කරන මයිකල් ග්‍රිෆින් මහතා (NASA Administrator - Michael Griffin) පවසන්නේ වර්තමානයේ සිදුකරනු ලබන මෙම පර්යේෂණයනගේ සහ ව්‍යාපෘතීන්ගේ අග්‍ර අරමුණ අභ්‍යවකාශ ජනාවාසකරණය බවයි. යම් දිනෙක මිනිසුන් සඳ ඇතුලත්ව බ්‍රහස්පතී, අගහරු ඇතුළු අනෙකුත් ග්‍රහලෝක දක්වා ජීවය වර්ධනය කරනු ඇතැයි ඔහු මත පලකරයි. මෙය හුදු මනස්ගාතයක් නොවන බවත් වර්තමාන තාක්ෂණික දැනුම ඔස්සේ එවැනි ඉලක්කයන් කරා මිනිසාට ගමන් කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
නාසා ආයතනය ප්‍රමුඛ මෙම පර්යේෂණයන්හි නියැලෙන විද්වතුන් ඉදිරිපත් කරන මෙහි අරමුණු කිහිපයක් ලෙස,
1. ජීවය විශ්වය පුරා ව්‍යාප්ත කිරීම.
2. මානව ජීවී විශේෂයේ පැවැත්ම තහවුරු කිරීම.
3. සූර්ය බලශක්තිය සහිත චන්ද්‍රිකා ඇස්ටරොයිඩ වැනි ආකාශ වස්තූන්හි සිදුකරන කැණීම් අභ්‍යවකාශ වස්තූන්ගෙන් සිදුකරන නිෂ්පාදන ආදීන් වාණිජකරනයට ලක් කරමින් වාසි ලබාගැනීම.
4. මිනිසුන් සහ කර්මාන්තශාලා අභ්‍යවකාශයට ඇතුලත් කිරීම මගින් පෘතුවිය ආරක්ෂා කරගැනීම.
හඳුනාගත හැකි වේ.

ඒ සමඟම මෙහිදී පැන නැගිය හැකි ප්‍රධාන ගැටලු කිහිපයක් ලෙස ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සාධක ප්‍රශස්ථ මට්ටමකින් ලබා ගැනීම, බල ශක්තිය ලබා ගැනීම, ගුරුත්ව බල රහිත බැවින් ඊට විසඳුම් සෙවීම හා අභ්‍යවකාශයේ පවතින අධිකතර විකිරණශීලීතාවයෙන් ආරක්ෂා වීම ආදීන් ගත හැකිය.

ජීවීන්ට තම ජීවය පවත්වාගැනීමට අවශ්‍ය මූලද්‍රව්‍ය C, H, O, N, P, Mg, K, S වැනි අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස සහ Cl, Fe, B, Mn, Zn, Cu, Mo, Ni ආදී අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස පවතින අතර මිහිතලය මතදී නම් ආහාරදාමයක මුලින්ම සිටින ශාක විසින් බොහෝවිට මෙම අවශ්‍යතාවය සපුරා දෙනු ලබයි. ප්‍රභාසංස්ලේෂණය මගින් ශාක C කාබන් තිර කරනු ලබන අතර බැක්ටීරියාවන්ගේ උපකාරයෙන් හෝ සංයෝගමය වශයෙන් පවතින හෝ එවැනි වෙනත් ආකාරයකින් හෝ අධි මාත්‍ර හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ශාක තුලට ඇතුළත් කර ගනී. ඉන්පසු සතුන් මගින් එය අධිග්‍රහනය කර ආහාරදාමයන් ඔස්සේ ගමන් කරනු ලබයි. එනම් මිනිසාද එම ජෛව පද්ධතියේ පුරුකක් බවට පත් වෙමින් තම අවශ්‍යතාවය සපුරාලනු ලබන අතර අභ්‍යවකාශය තුලදී ද මෙය යථාර්තයක් බවට පත් කිරීම මිනිසාගේ වෑයම බවට පත්වී තිබේ. මේ සඳහා ඇරිසෝනා ප්‍රාන්තයේ (Arizona) පිහිටි ඇරිසෝනා විශ්වවිද්‍යාලය (Arizona University) මගින් පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබන අතර මෙහි එක් ව්‍යාපෘතියක් ලෙස ‘Biosphere 2’ ව්‍යාපෘතිය හැඳින්විය හැක. මේ වන විට වසර 2ක් සඳහා මිනිසුන් 8 දෙනෙකුට ප්‍රමාණවත් වන තරම් කෘත්‍රිම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත.

මෙහිදී විශාල සතුන් ආදිය මෙයට ඇතුලත් කරන්නේ නම් මේ සියල්ලටම අවශ්‍ය තරම් වාතාශ්‍රය නිපදවීම තවමත් ගැටලුවක්ව පවතින අතර ඒ සඳහා ද පර්යේෂණ බොහොමයක් ක්‍රියාත්මක වෙමින් පවතී. අභ්‍යවකාශය තුල පෘතුවියේ මෙන් වායුගෝලයක් නොමැති වීම ජීවීන්ට අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය පවත්වාගැනීමට නොහැකි වීමටද හේතු වේ. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ පාරිසරික උෂ්ණත්වය ඉතා දැඩි විචලනයන්ට ලක් වන අතර මෙය ජීවීන්ගේ පැවත්මට සුදුසු නොවේ. මෙයද මිනිසාට මෙම අභ්‍යවකාශ ජනාවාසකරණ අභියෝගය ජයගැනීමට බාධාවක්ව තිබේ.

එමෙන්ම අභ්‍යවකාශය යනු විකිරණ බහුල කලාපයකි. කොස්මික් කිරණ සහ සූර්යයාගෙන් පැමිණෙන බොහෝ කිරණ ජීවීන්ට දැඩි බලපෑම් එල්ල කළහැකි ඒවා වේ. මීට විසදුමක් ලෙස විද්‍යාඥයන් විසින් විකිරණාවශෝෂක මතුපිටක් සහිත ආවරණ නිර්මාණය කෙරෙහි තම පර්යේෂණ මානයන් යොමුකරමින් පවතී.

මීට පෙර මෙම අභ්‍යවකාශ වටපිටාව තුල භාවිතා කරන ශක්ති ප්‍රභවය කුමක්ද යන්න නොයෙකුත් මතවාද පැවතුනත් සූර්යශක්තිය සහ තවත් ආකාශ වස්තූන් භාවිතාකර ශක්තිය නිපදවිය හැකි නොයෙකුත් ක්‍රමවේදයන් මේ වන විට සොයාගනිමින් පවතී. විද්වතුන්ගේ තොරතුරු අනුව ඔවුන් පවසන්නේ පෘතුවියේ මෙන් ඊට වඩා දසදහස් ගුණයකින් වැඩි සම්පත් ප්‍රමාණයක් අභ්‍යවකාශය තුල ගැබ්වී පවතින බවයි.

ඒ සමඟ වසර 71ක පමණ කෙටි ආයු අපේක්ෂාවක් සහිත මිනිසාට පවතින තවත් ගැටලූවක් නම් මෙම ග්‍රහලෝක අතර සිදුකරන ගමනාගමන ක්‍රියාවලියයි. මේ සදහා ආලෝකයේ වේගය හෝ එය අභිබවා යාහැකි යානා (Space Ships – FTL: Faster than Light Engines) නිර්මාණය කළ යුතුව තිබේ. මේ ආශ්‍රිත පර්යේෂණ කටයුතුද ක්‍රියාත්මක තත්වයේ පවතින අතර තවමත් ඒවා මූලික අවධි පසුකරමින් සිටී.

space colonization
image source:https://en.wikipedia.org/wiki/Space_colonization
මෙවැනි භෞතික ගැටලූ වලට මිනිසා විසඳුම් සෙවූවද උසස් හා අතිශය සංකීර්ණ මනසකින් හෙබි මිනිසාට ඇතිවිය හැකි මානසික ගැටලු වලට විසඳුම් තවමත් සොයාගෙන නොමැත. මෙවන් ඒකාකාරී සහ පීඩාකාරී බවකින් යුත් පරිසරයක් තුල මානව ජීවියාට සාර්ථක විය හැකිවේද යන්න තවමත් ගැටලුකාරී තත්වයක් මතු කරමින් තිබේ.

මෙකී ගැටලුන් ඇතුලත්ව තවත් දහසකුත් එකක් ගැටලු තවමත් මිනිසා ඉදිරියේ මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා පවතින නමුදු මිනිසා විසින් මෙම සියලූම ගැටලු වලට පිලිතුරු සපයමින් මෙම සන්ධිස්ථානය කරා ගමන් කරන බව විද්වතුන්ගේ ප්‍රබල මතය වේ. මීට හොඳම උදාහරණයක් ලෙස ලෝ ප්‍රකට විද්‍යාඥ ආතර් සී ක්ලාක්(Arthur C. Clarke) මහතා හදුනාගත හැකි අතර මෙම අධ්‍යයනයන් සඳහා ආලෝකයක් වූ මෑත කාලීන සොයාගැනීම ලෙස මිනිස් වාසයට සුදුසුයැයි සැක පලකෙරෙන ආලෝක වර්ෂ 39ක් එපිටින් පිහිටි TRAPPIST-1 සෞරග්‍රහ මණ්ඩලය හැදින්විය හැකි වේ.

ඒ අනුව මෙලෙසින් වසර මිලියන ගණනක් පෙරුම් පුරමින් සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණය ලෙස මිහිමත ජනිත වූ මෙම මිනිස් ජීවී විශේෂය ආරක්ෂා කිරීම ප්‍රධාන අරමුණ කොටගත් මෙම දැවැන්ත පර්යේෂණයන් හා ව්‍යාපෘතීන්ගේ සාර්ථක අවසානය, නව මානව ශිෂ්ටාචාරයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

ඉන්ද්‍රජිත් අත්තනායක.
විද්‍යා පීඨය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. 

(ප්‍රධාන වශයෙන් Stephan Hawking මහතාගේ අදහස් ඇසුරු කරගෙන සැකසූ ලිපියකි)